අපේ ජීවිත පෝෂණය කරන ධම්මානුපස්සනාව…

පිංවත, දුක ජය ගන්න නම් සැපය සතුටින් පිළිගන්න එපා. දුකත්, සැපත් යන දෙක කෙරෙහිම උපේක්ෂා සහගත වෙන්න. එතැනයි දුකේ සහ සැපයේ නිරෝධය තිබෙන්නේ. කවදාකවත්ම ඔබේ ගැටෙන සිතත් සමග ඔබ ගැටෙන්න එපා. ඔබේ සතුටු සිතත් සමග ඔබ ආස්වාදය ලබන්න එපා. ඔබ තුළ සකස්වෙන ඇලීම් සහ ගැටීම් සිතුවිලි සමග සාකච්ඡා කරන්න. ඔබ කොහොම ද සාකච්ඡා කරන්නේ? “සිත” ඵස්සය හේතුවෙන් සකස්වෙන ඔබ, ඇලීම් සහ ගැටීම් සොයාගෙන යන ස්වභාවය මම හොඳින්ම දන්නවා. ඵස්සය කෙරෙහි මා තුළ ඇති තෘෂ්ණාව මම හොඳින්ම අඳුරනවා. “සිත” කලබල නොවී අපි ඔහොම යමු, “සිත” ඔබ මට දමන ඇලීම් සහ ගැටීම් උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ග්‍රහණයට කවදාහරි මම ගන්නවා. පිංවත, ඔබේ ඇලෙන, ගැටෙන සිතත් සමග ඉහත ආකාරයට සංවාද කරන්න. එතැනදීම පිංවත් ඔබ තුළ සති සම්බොජ්ඣඬ්ඟයෙන් පෝෂණය වූ උතුම් ධම්මවිචය බොජ්ඣඬ්ඟයයි මෝදු වෙන්නේ. උතුම් ධම්මවිචය බොජ්ඣඬ්ඟයමයි උතුම් වීර්යය බොජ්ඣඬ්ඟය ප්‍රසූත කරන්නේ. වීර්යය බොජ්ඣඬ්ඟයේ දරු පැටියාගේ විශ්වසනීය මුහුණු පොඩ්ඩ දකිද්දී ප්‍රීතිය සහ පස්සද්ධියමයි ජීවිතය සංසිඳවන්නේ.

ඵස්සයේ තෘෂ්ණාවට වැට බැඳපු ජීවිතය මොනතරම් ලස්සන ද? අතීතයේ වැඩසිටිය උතුම් රහතන් වහන්සේ තම තෘෂ්ණාවේ නිරෝධය ගැන මොනතරම් නම් ලස්සන උදාන වාක්‍යය කියා තිබෙනවා ද? ඒ ලස්සන ජීවිත තුළ අනුශයකුදු තෘෂ්ණාවක් තිබිලා නැහැ. ඒ උතුම් ජීවිත වලට මරණය කියන අර්ථය අයිති නැහැ. නිවී යන ධර්මතාවයක් කෙසේ නම් මැරෙන්න ද? සති සම්බොජ්ඣඬ්ඟය මුල්කොටගෙන තමා සමග තමා යන මෙහෙයුමකටයි නිවීමේ මාර්ගය කියන්නේ. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ගමන නිවැරදිව ගියොත්, තමාත්, තම ගමනත්, මාර්ගයත් යන සියල්ලම උන්වහන්සේට ධම්මානුපස්සනාවක්මයි වෙන්නේ. පිංවත, ඔබ ධම්මානුපස්සනාව පුහුණු කරනවා ද? මොහොතක් ඔබ දෑස් පියාගෙන ඔබේ ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු කරන්න. ඒ ආශ්වාස ප්‍රාශ්වාසයෝ අනිත්‍ය වී යන හැටි නුවණින් දකින්න. ඔබ සිටින්නේ ධම්මානුපස්සනාව තුළයි. අතීතයට ඔබේ සිත මෙහෙයවලා අතීතයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්, උපේක්ෂා විඳීමක්ම අනිත්‍යයි කියලා දකින්න. ඔබ සිටින්නේ වේදනානුපස්සාව තුළින් පෝෂණය වූ ධම්මානුපස්සනාව තුළයි.

පිංවත් ඔබේ, පිංවන්ත මාතෘභූමිය, තෘෂ්ණාවේ සෝදාපාළුවට හසු වී, ජනතාවගේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් උත්සන්නව ඇති වර්තමානයේ, සමාජයේ සිදුවන සෑම ධර්මතාවයක්ම අවිද්‍යාව හේතුවෙන් සකස්වුණ තෘෂ්ණාවේ ඵලයන් හැටියට දකින්න අපි දක්ෂ නම්; ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම් හැටියට දකින්න අපි දක්ෂ නම්; සංස්කාරයෝ හේතුවෙන් සකස්වෙන දැනීම් ලෙස දකින්න අපි දක්ෂ නම්; අපි කවදාකවත් දුකේ කොටස්කරුවන් වෙන්නේ නැහැ. අපේ ජීවිත ධම්මානුපස්සනාව තුළින්මයි පෝෂණය වෙන්නේ. අපේම අතීත අකුසල් සංස්කාරයෝ අපේම මාතෘභූමිය අවලස්සන කරලා. කොයි දිශාවෙන් බැලුවත් ප්‍රශ්න මිස නිරවුල්භාවයක් දකින්න නැහැ. අකුසල් සංස්කාරයෝ මොනතරම් බලවත් ද? සියලු සංස්කාරයෝ අස්ථිර ලෝකයක, උතුම් ධම්මානුපස්සනාවමයි ඔබේ දුකේ නිරෝධය ඔබට ස්ථිර කොටදෙන්නේ. පිංවත, ධම්මානුපස්සනාව නිවනට කොතෙක් සමීප වුණත්, ඔබ ධම්මානුපස්සනාවට ආදරය කරන්න එපා. ආදරයත් ධම්මානුපස්සනාවෙන්ම දකින්න.

මේ සටහන තබන දැන් වෙලාව රාත්‍රී අටට පමණ ඇති. භික්ෂුවගේ ජීවිතයේ තවත් ලස්සන දවසක් ගෙවිලා යනවා. දවස ගෙවී ගියත් මේ ලස්සන දවස උදාකර ගන්න භික්ෂුව අතීතයේ මොනතරම් නම් කුසල් සංස්කාරයෝ වඩන්නට ඇති ද? ජීවිතය කියන්නේ විහිළුවක්. අතීතයේ වඩපු දෙය ගෙවී යනවා. අපි තව තවත් ගෙවී යන සංස්කාරයෝම රැස් කරනවා. පිංවත, සියලු සංස්කාරයෝ අස්ථිර ලෝකයක, හෙට දවස කියලා කියන්නේ මහමෙරක් වගේ දෙයක්. පිංවත් ඔබ මේ රාත්‍රියේ මොහොතක් හෙට දවස ගැන බලාපොරොත්තු, අපේක්ෂාවන් රහිතව ජීවත් වෙන්න. එවිට වර්තමානයත්, අතීතයත් පිළිබඳව දැනීම් ඔබ තුළින් තාවකාලිකව මැකී යාවි. දැන් ඔබට පුළුවන්, අවිද්‍යා පච්චයා සංඛාරා, පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් ඔබේ දැක්ම පිරිසිදුකොට ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ මාරයාය කියලා. අපි හැමෝම මාර ධර්මයන් පහක් ජීවිතය තුළ දරාගෙනයි ජීවත් වෙන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකය තුළ මේ මාර ධර්මයන් දරාගෙන අතිශය භයානක, අවදානම් සහගත ගමනක් අපි යන්නේ. යම් පිංවතෙක් කොක් හඬලා සිනාසෙද්දී භික්ෂුවට බියක් දැනෙනවා, මේ සිනහව තුළිනුත් කාමච්ඡන්දයන්ට අදාළව අකුසල් මූලයක් නේද, රැස්වෙන්නේ කියලා. ජීවමාන බුදුරජාණන් වහන්සේත් යම් අවස්ථාවල මද සිනහවක් පහළ කළා. ඒ මද සිනහවත් පෝෂණය වුණේ හේතුඵල ධර්මයන් දකින උතුම් ධම්මානුපස්සනාවෙන්මයි. පිංවත, ඔබ තුළ සකස්වෙන ප්‍රීතිය, පස්සද්ධිය කියන්නේ සති සම්බොජ්ඣඬ්ගයේ ඵලයක්. ඔබ තුළ සකස්වෙන සතුට කියලා කියන්නේ කාමච්ඡන්දයන්ගේ ඵලයක්. යම් පිංවතෙක් කියනවා නම්, මම හම්බ කරලා, කාලා බීලා සතුටෙන් ජීවත් වෙනවාය කියලා, ඒ සතුට අයිති වෙන්නේ කාමච්ඡන්දයන්ට. ඔබ දක්ෂ වෙන්න ඕනේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබලා කාමච්ඡන්දයන්ට අයිති සතුට, සප්ත බොජ්ඣඬ්ඟයන්ට අයිති ප්‍රීතියක්, පස්සද්ධියක් බවට පත්කොට ගන්න. ඔබ ලබන කාමච්ඡන්දයන්ට අයිති සතුට ප්‍රීතියක් පස්සද්ධියක් බවට පත්කොට ගන්න නම්, ඔබ චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි හොඳින් සිහිය පිහිටුවා ගන්න ඕනේ. එවිට ඔබට පුළුවන් ඔබේ සතුට ලෞකික ප්‍රඥාවෙන්, ශීලයෙන්, සමාධියෙන් පෝෂණය කොටගන්න. ලෞකික ප්‍රඥාවෙන්, ශීලයෙන් පෝෂණය වූ සමාධිය යම් තැනක ද, එතැන නොසැඟවී ප්‍රීතිය, පස්සද්ධිය උපදිනවා.

වර්තමාන මනුෂ්‍ය සමාජය තුළ ප්‍රීතිය, පස්සද්ධිය හරිම දුර්වලයි. අපි හැමෝම කැමති කාමච්ඡන්දයන්ගේ සතුටට. කාමච්ඡන්දයන්ගේ සතුට තුළ ව්‍යාපාදය, ථිනමිද්ධය, සිතේ විසිරීම, විචිකිච්චාව සැඟවිලා තිබෙනවා. නමුත් ප්‍රීතිය, පස්සද්ධිය ඔබට උපද්දවා දෙන්නේ සමාධිය, උපේක්ෂාවමයි. මේ උපේක්ෂා සහගත සිතට පුළුවන් චතුරාර්ය සත්‍යය අවබෝධය දක්වාම ඔබට උපකාර කරන්න. මේ උතුම් ධර්ම මාර්ගයේ සැබෑම කල්‍යාණ මිත්‍රයා වෙන්නේ, සමාධිය තුළින් විකසිත වෙන උපේක්ෂාවමයි.

පිංවත, කැඩෙන, බිඳෙන, විසිරෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකය, නොකැඩෙන, නොබිඳෙන, නොවිසිරෙන ලෝකයක් බවට පත්කිරීමට දහවල් සිහින දකින්න එපා. අද අපි හැමෝටම ඉතිරි වෙලා තිබෙන්නේ අධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ මාරයාගේ, හිස අතගා, අපේ ජීවිත තුළින් විදර්ශනාත්මක ධර්මයන් මතුකොට ගැනීම පමණක්මයි. පිංවතුන්ලා කිසිම කෙනෙක් සමග වාදයට, ආරවුලට, රණ්ඩුවට යන්න එපා. පිංවත් ඔබේ සිතේ පැටලෙන ආරවුල, මුලින්ම සති සම්බොජ්ඣඬ්ඟයේ පිහිටෙන් නිරවුල් කොටගන්න. මෙය සටහන් තබන භික්ෂුව, ගෞරවනීය භික්ෂු සමාජයේ අන්තිමයා. සියල්ලන්ටම පිටුපසින් භික්ෂුව වැඩ සිටින්නේ. ඒ නිසාම භික්ෂුවට, මා ඉදිරියෙන් සිටින ගෞරවනීය භික්ෂු සමාජයම හොඳින්ම පෙනෙනවා. මෙය සටහන් තබන භික්ෂුව යම් පමණකට හෝ නිවැරදි වුණේ මා ඉදිරියේ සිටින අනුනගේ වැරදි සහ නිවැරදිභාවයන් දැකලා, අනුනගේ වැරදි, ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න අපි කැමති වියයුතුය. එතැනයි නිවැරදිවීමේ දොරටුව තිබෙන්නේ. පිංවත් ඔබ, ඔබේ ඵස්සයේ ඇලීම් සහ ගැටීම් වලට විශ්‍රාම දුන්නොත් ජීවිතය මොනතරම් නම් නිරවුල් ද? ඒත් අපි අසිහියෙන් සොයාගෙන යන්නේ අවුලක්මයි. අවුලේ මුල් රූපය මම මයි, විඳීම මම මයි, සංඥා, සංස්කාර, විඤ්ඤාණය මම මයි යැයි දකින ආත්මීය දෘෂ්ටියමයි. මේ දෘෂ්ටිය පරාජය කරන්නේ, උතුම් සෝවාන්ඵල අවබෝධයමයි. පිංවත, එතෙක් ඔබට යමෙක් බැන්නොත් ඔබ බණින්න යන්න එපා. ඔබට ගැසුවොත් ඔබ පෙරළා ගහගන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දිනකට කස පහරවල් තුන්සියය බැගින් අවුරුදු තුන්සියයක් කස පහරවල් ලබලා හරි මේ තෘෂ්ණාවෙන් වියරු සංස්කාර ලෝකයේ ඇත්ත, ඇති සැටියෙන් දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබීම උදෙසා එපමණ කැපවීමක් කරන්න යැයි දේශනා කරද්දී, අපිට අනුන්ගේ විවේචනයක් ඉවසන්න බැරි නම් අපි තාමත් විදර්ශනා ලෝකයේ උපත ලබා නැති කලල රූපයන් නේ ද? පිංවත, ඔබේ ජීවිතයට ඔබ අසාධාරණයක් කරන්න එපා. ඔබේ ජීවිතයට ඉඩ දෙන්න මේ වියරු සංස්කාර ලෝකයෙන් මිදී යන්න.

භික්ෂුවගේ හිස, රැවුල හොඳටෝම වැවිලා. පරිසරයේ ශීතල වැඩි නිසා සතියකින් පමණ හිස, රැවුල කැපුවේ නැහැ. හිස, රැවුල අත්ලෙන් පිරිමදිද්දී හරිම ගොරෝසු බවක් දැනෙනවා. රූපයේ ආස්වාදය, ආදීනවය විසින් සිත්සේ සොරකම් කරලා. අවිද්‍යාවෙන් උපන් අතීත සංස්කාරයන් කිසිවක් දැන් භික්ෂුවට අයිති නැහැ. රූපයේ කොතැන බැලුවත් ආදීනවය විවෘතව බබළනවා. උතුම් පිරිනිවීම සඳහා කුසිනාරා නුවරට වඩින ගමනේ අවසාන භාගයේ දී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දෙනවා, ආනන්ද, මගේ කය දැන් දිරාගිය කරත්තයක් වගේය කියලා. පිංවත, අපි මේ වාද විවාද කරන්නේ, ගහ බැණගන්නේ මොනවා නම් දිනා ගන්න ද? මොනවා නම් අයිතිකොට ගන්න ද? පරදත්තරූපජීවී ප්‍රේත ලෝකයේ ගහණය බොහොම වේගයෙන් වැඩි වෙනවා. ප්‍රධාන ආරාමයක දන්පැන් පූජා කරපු ප්‍රධාන දායිකාව මිය ගිහිල්ලා පරදත්තරූපජීවී ප්‍රේත ලෝකයේ උපදිනවා. කිලිටි වූ සුදු සාරියකින් සැරසුණ මේ ප්‍රේතිය පසළොස්වක පොහොය දවසට ආරාමයේ සිල් පිරිස අතරට තවත් ප්‍රේතියන් සමග එනවා. ඒ සිල් සමාදන් වෙන්න නොවේ, පෙර මනුෂ්‍ය ජීවිතයේ පුරුද්දට, තමා තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් ආරාමයේ තමාට හිමි ලොකුකම අනිත් පිරිවර ප්‍රේතියන්ට පෙන්වන්න. පිංවතුනේ ආරාමයක ප්‍රධාන දායිකාවට මරණින් පසු වෙච්ච දෙය මෙහෙම නම්, අනේ අපිට විදර්ශනා ප්‍රඥාව හැර කිනම් පිහිටක් ද?

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

(උපුටා ගැනීම – 2022.01.23 වන දින දිවයින පුවත්පත)