රාත්‍රියේදී සියලූ වැඩ කටයුතු අවසන් වුව ද නිදි ඇඳේදී හෙට ගැන සැලසුම් කරනවා. ඒ කියන්නෙ අනාගත රූපස්කන්ධ තෘෂ්ණාවෙන් රත් කරනවා. හෙට උදෑසන විඳීම් සෙවීමේ බලාපොරොත්තුවෙන් ජීවිතය නමැති තුඹස දුම් දමනවා. පින්වත් ඔබ රාත්‍රියට සිහින දකින්නේ, උදෑසන අවදි වෙන්නේ රාත්‍රි තුඹසේ නොනිමී තිබූ දුම්රොටු වලින් රත්වෙලාය. ඒ නිසා ම පින්වත් ඔබේ ජීවිතය උදෑසන පටන් ගිනි ගන්නවා. ඒ කියන්නෙ රාත්‍රි සැලසුම් කළ දේවල් උදෑසන පටන් ක්‍රියාත්මක කරනවා.
භික්ෂුව දෑස් පියාගෙන දකිනවා, මගේ ගිහි ජීවිතයේදී මාගේ තුඹස නමැති ජීවිතය කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා නමැති ගිනි පුපුරු හේතුවෙන් දුම් දමපු ස්වභාවය. අතීතයේ සම්මා සතිය අහලකවත් නොතිබූ මාගේ ජීවිතය, මේ කසළ ගොඩෙන් නැඟි දුම මගේ කොටගෙනයි සිටියේ. අපි ජීවිතය කියල දකින්නේ ලෝකය කියල දකින්නේ, ජයග්‍රහණයක් කියල දකින්නේ කාමච්ඡන්දයක් මය. කාමච්ඡන්දයන් වැරදුණු තැනදී ව්‍යාපාද දුම ජීවිතය වෙලා ගන්නවා. විචිකිච්ඡාවෙන් විසිරුණු සිත, උද්ධච්ඡයන්ගෙන් ඔඩු දුවපු සිත, නැවත නැවත කාමච්ඡන්දයට අදාළ දර මයි ගින්නට එකතුකොට දෙන්නේ.
අද උදෑසන භික්ෂුව මුණගැසෙන්න පැමිණි මහත්මයෙක් ප්‍රකාශ කළා, “ස්වාමීන් වහන්ස, අපි අද අපේ සේවා ආයතනයේ වාර්ෂික විනෝද චාරිකාව යනවා”ය කියල. නැගෙනහිර පළාතේ තරුපහේ හෝටලයක දින දෙකක් විනෝද වෙන්නයි යන්න හදන්නේ. භික්ෂුව ඒ මහත්මයාට අවවාද කළේ, “මහත්තයෝ විනෝද වුණාට කමක් නැහැ. හැබැයි සතර සතිපට්ඨානය නම් අමතක කරන්න එපා”ය කියල. “අපි තරුපහේ හෝටලයක තාවකාලික විනෝදය උදෙසා සතර සතිපට්ඨානය අමතක කළොත්, ඊළඟ ජීවිතයේ විදර්ශනාත්මක අවබෝධය කොයිහැටිවුණත් සුන්දර තව්තිසාවේ මනහර නන්දන උයනේ දීර්ඝ දිව්‍ය සැප නම් අහිමි වෙන්න පුළුවන්” කියල.
තරුපහේ හෝටලයක පිහිනුම් තටාකයේ හැමෝම නාන ජලය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුණොත්, සුන්දර තව්තිසාවේ අනෝතත්ත විලේ සීතල වතුරේ සුන්දර ආශ්වාදය අහිමි වෙන්න පුළුවන්. අපි සැවොම තවමත් සැප සහ දුක් විඳීම සොයා යන්නේ, එම විඳීම් තුළ මම සිටිනවාය කියල දකින්නේ එම විඳීම් අනුන් නිසා මයි මට ලැබුණේ කියල දකින්නේ, තවමත් අපි තුළ රාගයන්, ද්වේශයන්, අවිද්‍යාවන් නිධන්ගතව තිබෙන නිසා මය. “අවිද්‍යාව හේතුවෙන් සැප, දුක්, උපේක්ෂා විඳීම් තුළ බැසගෙන ජීවත් වීම නිසාම ජරා, ව්‍යාධි, මරණ, දුක අපිව යටකොටගෙන සිටියදී අපි සොයන අපි රකින විනෝදය, සතුට, ධනය, බලය, අඹු දරුවන් තුළින් ගොඩනඟන අනාගත සිහින මාලිගා වලින් කුමන ඵලයක් ද” කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ගිහි සහ පැවිදි භේදයකින් තොරව ජරා, ව්‍යාධි, මරණ, දුක අපි සියල්ලෝම වේගයෙන් ලූහුබඳිනවා. මෙය සටහන් තබන භික්ෂුවටත් පසුගිය දවසක පින්වතෙක් අමතලා තිබුණා, “රාජගිරියේ අරියඥාන මහළු භික්ෂුව” කියල. ඉහත සුන්දර ධර්මයේ ඇමතීම තුළ භික්ෂුව අර්ථවත් කායානුපස්සනාවමයි, ජරා, ව්‍යාධි සැබෑ ධර්මයන්මයි මතුකොට දකින්නේ. නමුත් එම පින්වත් මහත්මයා මතුකොට ගන්නේ ද්වේශය පමණක් මය. යම් පින්වතෙක් අප්‍රමාදීව, සිහි නුවණින් අනුන්ගේ වැරදි නොසොයා, පින්වත් තමන්ගේ වැරදි දකිමින් තම සිතෙන්, කයෙන්, වචනයෙන් ධර්මයේ හැසිරෙයි ද, එම පින්වතා ඇලීම් සහ ගැටීම් නමැති කසළ ගොඩ විඳින්නෙක් නොව ඔහු ඇලීම්, ගැටීම් පිරිසිඳ දකින්නෙක් ම වනු ඇත. “පින්වත් ඔබ දෙමාපියන් රකින, අඹු දරුවන් රකින, රට, ජාතිය, ආගම රකින ගෞරවනීය පින්වතෙක් වීමට පුළුවන.
සැබැවින්ම ඔය ඉහත සියල්ල ම රැක්කත්, පින්වත් ඔබ ඇලීම් සහ ගැටීම් ඉදිරියේ උපේක්ෂාව මතුකොට ගැනීමට අදක්ෂ නම් ඔබ විසින් ඔබව නොරකින ලදැ”යි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පංචඋපාදානස්කන්ධ ලෝකය සංස්කාර හේතුවෙන් පටිච්චසමුප්පන්නව හති දමමින් දිව්වත්, භවය නමැති එකම තැන නැවතිලා තිබෙන්නේ කාම භවය, රූප භවය, අරූප භවය කවුරු කොහොම වර්ණනා කළත්, භවය යනු ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් මය.
භික්ෂුව පින්වත් ඔබට මේ සටහන් තබන්නේ භවයේ පැළපදියම් වීම උදෙසා නම් නොවේ. භවයට හේතු වන උපාදානයන්ගේ කලකිරීම උදෙසා මය. මීට වසර අටකට පෙරාතුව භික්ෂුව වර්තමානයේ වැඩ සිටින කුටියට වැඩම කරද්දී මේ කුටිය අවට පරිසරය මගේ කොටගෙන සැරිසැරූ තාරුණ්‍යයෙන් ඔදවැඩී සිටි මොනරාගේ
ලස්සන පිල්කළඹ දැන් ඔක්කොම හැලිලා පොල් මුඩ්ඩක් වගේ පිහාටු ටිකක් පමණක් මයි ඉතිරිවෙලා තිබෙන්නේ. භික්ෂුවට මතකයි අතීතයේ මේ තරුණ මොනරා තම ලස්සන පිල්කළඹ විහිදාගෙන සට සට හඬින් පිල්කළඹ ලාලිත්‍යයට ගස්සමින් පිල් කළඹින් නැගෙන සට සට හඬ රිද්මයට පාද තබමින් කුටිය ඉදිරිපිට වැලි ගොල්ලේ මහත් අභිමානයෙන් නටපු හැටි දැන් ඒ ආඩම්බරකම් ඔක්කෝම වයෝවෘද්ධ මොනරාගේ ජීවිතයෙන් පලා ගිහිල්ලා. මොනරා දන්නේ නැහැල මේ ජරා ව්‍යාධි ධර්මතාවට කියන්නෙ රූපයේ ආදීනවය කියල. දැන් මේ වයෝවෘද්ධ මොනරාට ඉතිරිවෙලා තිබෙන්නේ කැලයේ සුන්දරව රඟන අනෙක් තරුණ මොනරුන්ගේ අපූරු රංගනයන් දෙස ශෝකයෙන් බලා සිටීම පමණක්මය. තවත් ටික දවසකින් වයෝවෘද්ධ මොනරාගේ ආධ්‍යාත්මික සතරමහා ධාතුව බාහිර සතර මහා ධාතුවටම මුහුවෙලා යාවි. මොනරාගේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සමහර විට නැවත මොනර බිත්තරයකට ම බැස ගනීවි.
ඊයේ විනෝද චාරිකාව ගිය පින්වත් මහත්මයා භික්ෂුවට සුන්දර විදර්ශනාත්මක සප්තබොජ්ඣංගයන් මොනවට මතුකොට දෙන මේ රාත්‍රියේදී තරුපහේ හෝටලයේ විසිතුරු ශාලාවක් තුළ සුව පහසුව වාඩි වෙලා මිල අධික ආහාර වේලක, විදේශීය මත් වතුරක, සුන්දර නර්තනයක රස බලනවා ඇත. සුන්දර මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු අපිට වැරදුණොත් එම වරද නිවැරදි කොටගන්න නම් කල්ප ගණනාවකටවත් ලැබෙන්නේ නම් නැහැ. මේ වයෝවෘද්ධ මොනරා අතීතයේ වරද්ද ගත්ත කෙනෙක් මය. සමහර විට මේ වයෝවෘද්ධ මොනරා පෙර ජීවිතයේ සිල් පද දුර්වල කොට ගත්ත නර්තනයට ප්‍රිය කරපු මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්. මනුෂ්‍ය සමාජයේ මොන තරම් නම් සිටිනවාද සිල් පද දුර්වල කොටගෙන නටන ඇත්තෝ. රාත්‍රි සංගීත සංදර්ශන වල, රාත්‍රි සමාජශාලාවන් වල. පින්වත් ඔබ නටන්නේ මත් වතුරෙන් මත්ද්‍රව්‍ය වලින් මත් වෙලා නම්, කාමයේ වරදවා හැසිරෙමින් නම්, පින්වත් ඔබත් පටිච්චසමුප්පන්නව සුන්දර මොනරෙක් වෙලා උපදින්න පුළුවන්. හැබැයි ඉතින් ලස්සන පිල්කළඹක් ලබන්න ලස්සන දේවල් දන් දීලත් තිබෙන්න ඕනේ.
නර්තනයයි ශීලයයි අර්ථවත්ව මුහුවුණ තැනල ඔබ කැමැති නම් ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය දිව්‍ය තලයක මහේශාක්‍ය දෙවියන් නර්තනයෙන් පිනවන සුන්දර දිව්‍ය නාට්‍යාංගනාවක්, නර්තන ශිල්පියෙක් වෙන්න පුළුවන්. පින්වත් ඔබ නර්තනය ඉගෙන ගත්තාට කමක් නැහැ. ඔබගේ නර්තන ජීවිතය පංචශීලයෙන් ආරක්ෂා කොට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් පින්වත් ඔබේ ජීවිතය පංචශීලයෙන් පෝෂණය නොවී ඔබේ නර්තන ජීවිතය මෛත්‍රියෙන් පමණක් පෝෂණය වුණොත් එයත් ඔබට බලවත් අනතුරක්මය…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…