ශ්‍රේෂ්ඨතම උපන් දින තෑග්ග කළකිරීමය…!

ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය තෘෂ්ණාවෙන් වැඩුණාය කියලා කියන්නේ පිංවත් ඔබ යම් දවසක උතුම් රහත්ඵල අවබෝධය ලැබුවොත් ඔබ සතර මහා ධාතුවෙන් සැදුන අධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන්, අධ්‍යාත්මික රූපයට බැසගත්තා වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, අනිත්‍ය වූ ධර්මතාවන් බව අවබෝධකොටගන්නවා. ඒ නිසාම එම රහතන්වහන්සේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මන්ද එම රහතන්වහන්සේ තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩසිටින්නේ. ඒ නිසාම රහතන්වහන්සේ පිරිනිවීයන මොහොතේ තමා තුළින්ම විඤ්ඤාණය නිවීයනවා. නැවත පංචඋපාදානස්කන්ධ ලෝකයක් ඉපදීමක් නැහැ.

පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව තිබෙන තාක්කල් තෘෂ්ණාව හේතුවෙන්ම උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති කියන ධර්මතාවය තුළ සත්ත්වයා නැවත නැවත නාම රූප ධර්මයන් සකස්කොට ගන්නවා. තෘෂ්ණාව තිබෙන තාක්කල් අපි ගර්භාෂයක ඕපපාතිකව පාදිකුලයක, බිත්තරයක නැවත සලායතන ධර්මයන් සකස් කොට ගන්නවා. ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය තෘෂ්ණාවෙන් වැඩින කියලා දේශනා කරන්නේ ඉහත ධර්මතාවය නිසාමයි. පස්සය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ රහතන්වහන්සේගේ පංචස්කන්ධය හුදු අතීත සංස්කාරයන්ගේ රූකඩයක් පමණක්මයි. අපි රහතන්වහන්සේලාගේ කෙලෙස් ප‍්‍රහීනය කළ ධර්මානුකූල ජීවිත ගැන සටහන් තබමින් චරිතාපදානයක් කියවමින් සිටියාට පමණක් වැඩක් නැහැ. මමත් රහතන්වහන්සේ නමක් වෙනවාය කියන තෘෂ්ණාවෙන් තොර තෘෂ්ණාව ඔබ තුළ ඇතිකොටගන්න. තෘෂ්ණාවෙන් තොර තෘෂ්ණාවක්, පිංවත් ඔබ තුළ ඇතිකොටගන්නේ තෘෂ්ණාව ඇතිකොටගත් සිත ඊළඟ සිතෙන් අනිත්‍ය වශයෙන් දැකීමෙන්ය. එවිට තෘෂ්ණාව ඔබව විදර්ශනාවට යොමු කරනු ඇත.

මෙය සටහන් තබන භික්ෂුව අතීතයේ මමත් උතුම් අධිගමයන්ට පත්වෙනවාය කියලා තෘෂ්ණාවක් ඇතිකොටගත්තා නම් එම සිත භික්ෂුව දැක්කේ අනිත්‍ය වූ ධර්මතාවක් හැටියටමයි. මේ දැක්ම ඇතිකොට ගැනීමට භික්ෂුව පෙළඹවීමේ අතීතයේ වැඩසිටියා වූ සියලූ රහතන්වහන්සේ අනාගාමී සකෘදාගාමි, සෝවාන් ඵලයන් අවබෝධ කොටගත් සියලූම උත්තමයන්ගේ අවබෝධයන් අනිත්‍ය වී ගියාය කියන කාරණය ධම්මානුපස්සනාවෙන් දැකීම තුළින්මය. සතිය සිහිය තිබුණොත් පමණක්මයි ධර්මයට අදාළව ධර්මවිජය බොජ්ජංගය අපි තුළ ශක්තිමත් වෙන්නේ. සතිය සිහිය දුර්වල වුණ තැන අධර්මවිජය මිච්ඡා බොජ්ජංග ධර්මයන් අපිව මාර්ගඵල උම්මාදය වෙතට යොමු කරනවා.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා තමන් සිදුකරන ධර්මදානමය පිංකම් විදර්ශනාවෙන් දකින්නේ කොහොමද කියලා. ධර්මදානයක් තවත් කෙනකුට පූජා කිරීමෙන් එම පිංවතාට ලැබෙන්නේ ලෞකික ප‍්‍රඥාව හෙවත් සම්මා දිට්ඨියයි. සම්මා සංකප්පයත් ඒ වගේමයි දක්‍ෂයා ධර්මදානය තුළින් විදර්ශනාමය ප‍්‍රඥාව ජීවිතයට එකතුකොට ගන්නවා. ධර්ම දානය පූජා කරන ඔබට ලැබෙන්නේ ලෞකික ප‍්‍රඥාව සහ විදර්ශනාමය ප‍්‍රඥාවයි. දෙපාර්ශ්වයම ලබන්නාවූ ලෞකික ප‍්‍රඥාව සහ විදර්ශනාමය ප‍්‍රඥාව අනිත්‍ය වූ ධර්මතාවක්.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ආර්ය ප‍්‍රඥාව සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ ආර්ය ප‍්‍රඥාව එම උත්තමයන් පිරිනිවී යන මොහොතේ අනිත්‍ය වී ගියා. අපි කවදාක හරි ලබන සෝවාන් ඵල විදර්ශනා අවබෝධය අනිත්‍ය වෙලයි සකෘදාගාමී අවබෝධය ලබන්නේ. සකෘදාගාමී අවබෝධය අනිත්‍ය වෙලයි අනාගාමිඵල අවබෝධය ලබන්නේ. ඒ වගේමයි සද්ධානුසාරි ධම්මානුසාරි දෙදෙනා සතු ලෞකික ප‍්‍රඥාව, අසත්පුරුෂ ආශ‍්‍රය සහ පංචනිවරණ තීව්රභාවය නිසාම පිරිහී යන්න පුළුවන්. ධර්මදානයෙන් ලැබෙන ප‍්‍රඥාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය එමඟින් දැක්වෙනුයි. පිංවත් ඔබ සිදුකරන ධර්මදානය පිංකම් තුළින් විදර්ශනාව මතුකොට ගන්නේ. පිංවත් ඔබ ධර්මදානමය පිංකම් සිදුකොට අනුනගේ ප‍්‍රතිචාර පැසසුම් වර්ණනාවලට බැඳී ගියොත් අකුසල් මූලයන්ගේ පෝෂණයෙන් ඔබ තුළ ලෞකික ප‍්‍රඥාවට අදාළව යම් ගුණාත්මකභාවයක් ඇති වුවත් නෙක්කම්ම සංකප්පයේ දුර්වලභාවය නිසා ඔබ අනතුරු දිශාවට ගමන් කරන්න පුළුවන්.

අද දෙසැම්බර් මාසයේ 21 වැනිදා. අද භික්ෂුවගේ උපන් දිනය දවස. උදෑසන දුර බැහැර සිට පිංවතුන් පිරිසක් පැමිණියා භික්ෂුව මුණගැසෙන්න. භික්ෂුව එම පිංවතුන්ගෙන් මෙච්චර දුරක සිට ඇයි පැමිණියේ කියලා ඇසුවාම එම පිංවතුන් ප‍්‍රකාශ කළා ඔබවහන්සේගේ උපන් දිනය නිසා දානය පූජා කරන්න පැමිණියාය කියලා. භික්ෂුව එම පිංවතුන්ට ප‍්‍රකාශ කළේ මහත්තයෝ බුදුරජාණන්වහන්සේ දේශනා කොට තිබෙනවා ඉපදීම දුකක්ය කියලා. අද උදෑසන භික්ෂුව අවදිවුණ මොහොතේදීම භික්ෂුව සිතුවේ අද වැනි දවසක ඇයි මම ඉපදුනේ කියලා. ඉපදීම කෙරෙහි කලකිරීමක්මයි ඇතිකොටගන්නේ. අද භික්ෂුවගේ උපන් දිනය දවසේ පිංවත් ඔබ සියලූම දෙනාටම භික්ෂුව දෝතින්ම ධර්මානුකූල තෑග්ගක් දෙනවා. එම තෑග්ග තමයි පිංවත් ඔබ උපන් දිනය සමරන්න පුරුදු වුණොත් කවදාකවත් ඔබට උපත නිරෝධය කරන්න නම් හම්බවෙන්නෙ නැහැ කියන ධර්මානුකූල තෑග්ග.

පිංවත් ඔබේ උපන් දිනය දවසට ඉපදීම කෙරෙහි කලකිරීමක්ම ඇතිකොටගන්න. එය ඔබ ඔබෙන් ලබනා ශ්‍රේෂ්ඨ උපන් දින තෑග්ගක්. භික්ෂුවගේ ජීවිතයෙන් අදට අවුරුදු 56 ක් (2019 වර්ෂය) ගෙවී අවසන් වෙනවා. ගිහි ජීවිතයේදී කවදාකවත් මම උපන් දිනයක් වෙනුවෙන් කේක් ගෙඩියක් කපලා නැහැ. කාටත් හොරා පන්සලට, කතරගම කිරිවෙහෙරට ගියා පමණක්මයි. මගේ ජීවිතයේදී ඇයි ඔබ ඉපදුනේ කියලා මට හිතුන අවස්ථා ගොඩක් තිබුණා. මගේ අතීත පටිච්චසමුප්පන්න සංස්කාර සැප, දුක්, උපේක්‍ෂා, වේදනාවන් සකසුරුවමින් මා වෙත බෙදා දෙමින් ඊට අදාළ දැනීම් ඔස්සේ මාව හසුරවමින් පැවිදි ජීවිතය කරා රැගෙන පැමිණියා. මගේ අතීත සංස්කාර මාව ජීවිතය කොතැනකදිවත් පැටළෙන්න දුන්නේ නැහැ. ඔබ පැටළුනත් එම පැටළිලි ලිහාගන්න පුළුවන් ආකාරයටමයි සකස් වුණේ.

ජීවිතය කියන්නේ කුසල් අකුසල් අතර තරගයක් දෝ යැයි භික්ෂුවට සිතෙනවා. භික්ෂුවගේ ගිහි ජීවිතයේදී අකුසලයක් විපාකයට පැමිණෙන කොට බරපතළ බැඳීමකට ජීවිතය කොටුවෙන්න යනකොට ඒවායින් ගැලවී යෑමට දැනීම් සකස් කොට දුන්නේ කුසල් සංස්කාරයන්ගේ ශක්තියෙන්මයි. වර්තමානයේ අපි පින සහ කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වෙනකොට විපාකයට පැමිණෙන අකුසල් සංස්කාර යම් පමණකට හෝ බල රහිත කරනවා.

අපේ ජීවිත දවසින් දවස වයසට යනවා. ජීවිතය වයසට යන්නේ අපි ළඟ කුසල් අකුසල් දෙක ඉතිරි කරලා. අපි සිතනවා අපි ගොඩාක් දේවල් ඉතිරිකොට තිබෙනවාය කියලා අපි ඉතිරිකොට ගන්න අධ්‍යාත්මික, බාහිර රූප ගොඩ සැප, දුක්, උපේක්‍ෂා, විඳීම් ගොඩ රූප වේදනා හඳුනාගැනීම් ගොඩ. මේ ගොඩවල් තුනම අවසානයේ අපිට ඉතිරිකොට දෙන්නේ සංස්කාර ගොඩක් පමණක්මයි. ඒ කුසල් අකුසල් සංස්කාරයන් සකස්කොට දෙන දැනීම් ඔස්සේ ජීවිතය පටිච්චසමුප්පන්නව ක‍්‍රියාත්මකභාවයට පත්වෙනවා. සංස්කාර විසින් අටවපු උගුලක අපි සියල්ලෝම පැටලිලා සිටිනවා. අපි පැටලිලා සිටින සංස්කාරයන්ගේ උගුලෙන් මිදීමට නම් අපි අවිද්‍යාවට ධර්මානුකූලව අභියෝග කරන්නම වෙනවා.

මීළඟට ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා මේ කය මාන්නයෙන් වැඞී තිබෙන්නේ. එම නිසා මාන්නය උපයෝගී කොටගෙන මාන්නය නිරෝධය කරගන්නය කියලා. ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා පිංවත් ඔබට උතුම් රහත්ඵල අවබෝධ ලබන්නට අවශ්‍ය නම් ඔබ සිතන්න සාරිපුත්ත මහරහතන්වහන්සේත් උතුම් රහත්ඵලයට පත්වුණා. සුනීත, සෝපාක, චුල්ලපන්තක වැනි අය පවා උතුම් රහත්ඵලයට පත්වුණා. ඉන්ද්‍රාසිය, පටාචාරා, කිසාගෝතමී වැනි අයත් උතුම් රහත්ඵලයට පත්වුණා. ඒ උත්තමයන්ට පුළුවන් නම් මට බැරි ඇයි. මමත් උතුම් රහත්ඵලයට පත්වෙනවාය කියලා මාන්නයක් ඇතිකොටගන්න කියලා ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා.

ගිහි පිංවතුන්ලා සිතන්න ඕනේ විශාඛා උපාසිකාව අනේපිඬු සිටුතුමා, නකුල මාතා, නකුල පිතා, උතුම් සෝවාන්ඵල අවබෝධයට පත්වුණා. ඇයි මට බැරි මමත් උතුම් සෝවාන්ඵලයට පත්වෙනවාය කියලා මාන්නයක් ඇතිකොට ගන්න කියලා.

අධිගමයන් සාක්‍ෂාත්කොට ගැනීම උදෙසා මමත් අධිගමයන් සාක්‍ෂාත්කොට ගන්නවාය කියලා තමන් මාන්නයක් ඇතිකොට ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් ඔබ ඇතිකොටගන්නා වූ මාන්නය සහිත සිත ඊළඟ සිතින් චිත්තානුපස්සනාවෙන් දකින්න ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. මම උතුම් අධිගමයන් කෙරෙහි ඇතිකොට ගත් මාන්නය හේතුවෙන් සකස් වන සැප, වේදනාව ඊළඟ සිතෙන් වේදනානුපස්සනාවෙන් දකින්න ඔබ දක්‍ෂවෙන්න ඔබ මාන්නය ඇතිකොටගත් උතුම් සෝවාන්ඵල ආදී අධිගමයන් අනිත්‍ය වී යන ධර්මතාවන් බව දකිමින් උතුම් සෝවාන්ඵලයන් ධම්මානුපස්සනාවෙන් දකින්න ඔබ දක්‍ෂ වෙන්න ඕනේ.

එසේ නොවී ඔබ ඇතිකොටගන්නා වූ මාන්නයට බැඳී ගියොත් එම මාන්නය සතරසතිපට්ඨාන ධර්මයන් තුළ බහා නොබැලූවොත් අධිගමයන් කෙරෙහි මාන්නයේ ආශ්වාදයට කොටු වුණොත් පිංවත් ඔබ මාර්ගඵල උම්මාදයේ මාර්ගඵල වියරුවේ අහිංසක ගොදුරක් බවටයි පත්වෙන්නේ. මෙවැනි අහිංසක ගොදුරු බවට පත් වූ පිංවතුන් ඕනෑ තරම් සමාජයේ ජීවත්වෙනවා.

පිංවත් ඔබ මමත් සෝවාන්ඵල අවබෝධය ලබනවාය කියලා. එම උතුම් සෝවාන්ඵලය කෙරෙහි තෘෂ්ණාවක් ඇතිකොටගෙන විශාඛා උපාසිකාවට පුළුවන් නම් මටත් පුළුවන් යැයි මාන්නයක් ඇතිකොටගෙන කරුණාකර එම තෘෂ්ණාව, මාන්නය සහිත සිත සතරසතිපට්ඨාන ධර්මයන් තුළින් ආවරණය කොටගන්න.

පිංවත් ඔබ තුළ ඇතිකොටගත් තෘෂ්ණාව සහිත සිත ඔබ කොහොමද සතරසතිපට්ඨාන ධර්මයන් තුළින් දකින්නේ. මා තුළ තෘෂ්ණාව, මාන්නය ඇතිවුණේ රූපය ඇසුරු කොට ගෙනයි. රූපය නිත්‍ය ද අනිත්‍ය ද රූපය අනිත්‍යයි. කරුණාකර රූපය කායානුපස්සනාවෙන් දකින්න. දෙතිස්කුණපයත් සතරමහා ධාතුවත්, මරණානුස්සතියක් වශයෙන් දකින්න. පිංවත් ඔබ අධිගමයන් කෙරෙහි තෘෂ්ණාවක්, මාන්නයක් ඇතිකොටගනිද්දි ඔබ තුළ ඇති වුණේ සැප වේදනාවක් ද දුක් වේදනාවක් ද ඔබ තුළ ඇතිවුණේ සැප වේදනාවක් එම සැප වේදනාව නිත්‍ය ද අනිත්‍ය ද එම සැප වේදනාව අනිත්‍යයි, සැප වේදනාව වේදානුපස්සනාවෙන් දකින්න.

පිංවත් ඔබ ඇතිකොටගන්නා වූ තෘෂ්ණාව සහ මාන්නයට අදාළ සිත නිත්‍ය ද අනිත්‍ය ද එම සිත් අනිත්‍යයි, තෘෂ්ණාවට, මාන්නයට අදාළ සිත්වල අනිත්‍යභාවය දකිමින් චිත්තානුපස්සනාව මතුකොටගන්න මමත් අධිගමයකට පත්වෙනවාය කියලා. ඔබ තෘෂ්ණාව, මාන්නය ඇතිකොටගත් මොහොතේ ඔබ තුළ වැඩුණු සප්තබොජ්ජංග ධර්මයන් නිත්‍යද අනිත්‍යද, එම සප්තබොජ්ජංග ධර්මයන් අනිත්‍යයි. එම අනිත්‍යභාවය තුළින් ධම්මානුපස්සනාව මතුකොටගන්න. මේ උතුම් සතරසතිපට්ඨාන ධර්මයන් මතුකොට ගැනීමේ මාර්ගය උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය බව ද හොඳින් මතක තබාගන්න.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය මාන්නයෙන් වැඩුණාය කියලා දේශනා කරන්නේ පටිච්චසමුප්පන්නව සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය සකස් වෙන්නේ. මවකගේ සහ තාත්ත කෙනකුගේ එකතුවෙන් ජීව විද්‍යාත්මකව කලල රූපයක් සකස් වෙන්නේ උපාදාන පච්චයා භවය හේතුවෙන්. ඕපපාතිකව, බිත්තරයක, පාදිකුලයක උපතක් සකස් වෙන්නේ පංචඋපාදානස්කන්ධය කෙරෙහි තිබෙන මමත්වයේ දැඩිභාවයත්, උතුම් සෝවාන්ඵල අවබෝධයෙන් පසුව දැඩිභාවය නිරෝධය වූ මමත්වය හෙවත් මාන්නය නිසාමය. මමත්වය නිරෝධය කළා වූ රහතන්වහන්සේ මේ ජීවිතයේදී පිරිනිවී යන්නේ මාන්නයට හේතුවන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කළ නිසාමය.

මීළඟට ආනන්ද මහෝත්තමයන් වහන්සේ අදාළ භික්ෂුණියට දේශනා කරනවා. මේ කය ලිංගිකත්වයෙහි වැඩින. ලිංගිකත්වයේ නීරසභාවය, අනිත්‍යභාවය, විකෘතිභාවය දකිමින් ලිංගිකත්වය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ යුතුය කියලා. භික්ෂුව මොහොතක් දෑස් දෙක පියාගෙන දකිනවා අතීතයේ යම් දවසක මාගේ මව සහ පියාගේ ලිංගික ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් මවගේ ගර්භාෂයේ. සකස් වුණ සතරමහා ධාතුවෙන් සැදුණ කලල රූපය මේ කය ලිංගිකත්වයෙන් වැඩින කියලා ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරන්නේ ඉහත කාරණය නිසාමය.

උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ ගිහි පිංවතාටත් බුදුරජාණන්වහන්සේ පංචශීලයේ ආරක්‍ෂාව තුළ සිටිමින් විවාහ ජීවිතයේදී ලිංගිකත්වය කෙරෙහි නිදහස ලබාදෙනවා. නමුත් උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ උපසම්පදා භික්ෂුවක් ලිංගිකත්වය උදෙසා සිවුරු හැර යනවාය කියන කාරණය භික්ෂුව විශ්වාස කරන්නේ නැහැ. උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ උපසම්පදා භික්ෂුවක් යනු තෙරුවන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාවත්, උතුම් ප‍්‍රාතිමෝක්‍ෂ ශීලය, ආර්ය ශීලයත් වශයෙන් ජීවිතයට අවබෝධාත්මකව එකතු කොටගත් භික්ෂුවක්. එවැනි භික්ෂුවක් ලිංගිකත්වය උදෙසා සිවුර හැරයෑම සිදු නොවන ධර්මතාවක්මයි කියලා භික්ෂුව විශ්වාස කරනවා. වරක් උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් මෙය සටහන් තබන භික්ෂුව සමඟ දැඩිව ප‍්‍රකාශකොට සිටියා උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ උපසම්පදා භික්ෂුවක්, ලිංගිකත්වය උදෙසා සිවුරු හැර යන්න පුළුවන්ය කියලා. එහෙම වෙනවා නම් එම ස්වාමින් වහන්සේ ලබා තිබෙන සෝවාන් ඵලය විකෘතියක් බව පිංවත් ඔබ තේරුම්ගන්න ඕනේ. සෝවාන් ඵලයට පත් ගිහි පිංවතාගේ ආර්යශීලය බවට පත්වෙන්නේ ආජීව අට්ඨමක ශීලයයි. උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ උපසම්පදා භික්ෂුවකගේ ආර්ය ශීලය බවට පත්වෙන්නේ උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයයි.

භික්ෂුවට මුණගැසුන වැඩිහිටි සාමණේර ස්වාමින්වහන්සේ නමක් භික්ෂුවට හැෙඟව්වේ තමන් උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ බවයි. නමුත් උන්වහන්සේ කියනවා ප‍්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කිරීමේ යම් ගැටලූ නිසා තමන් උපසම්පදාවට පත්වෙන්නේ නැහැය කියලා. උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ වැඩිහිටි සාමණේර හිමිනමක් ප‍්‍රාතිමෝක්‍ෂ ශීලයට බියෙන් උපසම්පදා නොවනවාය කියන කාරණය ධර්මානුකූල නැහැ. මෙතැනදිත් සිදු වී තිබෙන්නේ සෝවාන්ඵලය කෙරෙහි ඇතිකොටගත් අධිමානයයි. මෙවැනි අනතුරු සිද්ධ වෙන්නේ අතීතයේ මම උතුම් සෝවාන්ඵලයට පත්වෙනවාය කියලා ඇතිකොටගත් තෘෂ්ණාව සහිත සිත සතරසතිපට්ඨාන ධර්මයන්ගෙන් ආවරණය නොකරගත් නිසාමය.

දෙසැම්බර් පාසල් නිවාඩු කාලය නිසා මේ දිනවල නිතරම වන්දනා ගමන්, විනෝද චාරිකා යන වාහනවල පිංවතුන්ලා සින්දු කියන හඬ, අත්පොලසන් හඬ යාන්තමට භික්ෂුව වැඩසිටින කුටියට ඇසෙනවා. වර්තමානයේ ගිහි පිංවතුන්ලා වන්දනා ගමනක්, විනෝද ගමන් දෙකම එකට යොදාගැනීම නිසා පූජනීය ස්ථාන වන්දනාකර ගැනීමෙන් ජීවිතයට එකතුකොට ගන්නා කුසල් ධර්මයන්, මත්වතුර බීලා, සින්දු කියලා, කාමච්ඡුන්දයන් වඩලා අකුසල් ධර්මයන් බවට පත්කොටගන්නවා. මෙවැනි එකිනෙකට නොගැලපෙන දෙමුහුන් ක‍්‍රියාවන් තුළින් අපේ තිබෙන ශ‍්‍රද්ධාවන් දුර්වලවෙන්න පුළුවන්. මේ අනතුරට වැඩිපුරම මුහුණ දෙන්නේ තරුණ සහ ළමා පිරිසයි. මෙවැනි අවස්ථාවන්හිදී වැඩිහිටි පිංවතුන්ලාත් හරිම අසරණයි. වැඩිහිටි තමන්ට පාලනය කරන්න බැරි කාමච්ඡුන්දයන්ගේ රැල්ලක් සමාජය තුළ ගලාගෙන යනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා පාලනය කරන්න බැරි දේවල් සිද්ධවෙන තැන ලෝකයයි කියලා. ලෝකය ඔබට පාලනය කරගන්න බැරි ලෝකය ඔබව පාලනය කරන නිසායි.

තෙරුවන් සරණයි …..!!!

පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමි.

පළකරන ලද්දේ :- දිවයින ඉරිදා සංග්‍රහය (21/04/2019)

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…