බුදුවරු පහළවන වෙනත් ලෝක තිබෙනවාද ස්වාමීන් වහන්ස?

නෑ. මෙහෙමයි දරුවෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍රගත ධර්මයන්ට අනුව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ දඹදිව කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඔතනින් එහාට අපි යා යුතු නැහැ. ඔතනින් එහාට ගියොත් අපි බරපතළ වූ දෘෂ්ටීන්වලට පැටලෙන්න ඉඩ තියෙනවා.

මොකද ඔය සමහර මහායානික ධර්මයන් ප්‍රකාශ කරනවා තවත් සක්වල වල අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙනවා කියලා. ඒ නිසාම ඒගොල්ලෝ කියනව සෑම කෙනෙක් ම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලාය කියලා.

දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සෑම කෙනෙක් ම නිවන් අවබෝධ කරගන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් ඵලයන්ට පත්වෙලානෙ. බුදුරජාණන් වහන්සේ පමණයි සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. නමුත් සමහර ඔය මහායානික ධර්මයන් කියනවා අපි සෑම කෙනෙක් ම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා කියල.

එතකොට කෙනෙක් ප්‍රශ්නයක් කරනවා එහෙම නම් මේ ඔක්කොම බුද්ධත්වයට පත්වෙලා නම් නිවන් අවබෝධ කරගන්නේ, කොහෙද එච්චර බුදුරජාණන් වහන්සේලා ඉන්නේ කියලා. එතකොට අරගොල්ලෝ කියනවා අනෙක් සක්වලවල් වල අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා.

ඉතින් ඒ නිසා ඔය කාරණය ගැන හිතන්න ගියොත්, ඔය පැත්ත පසුපස යන්න ගියොත් නැති දෘෂ්ඨීන් වලට අපි හිරවෙන්න වෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේව ප්‍රයෝජනයට ගන්න ඕනේ, බුදුදහම ප්‍රයොජනයට ගන්න ඕනේ අපේ නිවන් මාර්ගය තකා පමණයි. වෙන ලෝකවල බුදුරජාණන් වහන්සේලා ඉන්නවාද? නැද්ද? ඒව අපිට අදාළ වෙන්නේ නැහැ.

අපිට බුදුරජාණන් වහන්සේ නමක් ලැබිල තියෙනව අපේ පිනට. බුද්ධෝත්පාද කාලෙක අපි ඉපදිලා තියෙනවා. ඒ බුද්ධෝත්පාද කාලය තුළ අපි උතුම් බෞද්ධ ජීවිතයක් ලබලා තියෙනවා.

ඒ නිසා මේ ලෝකේ මනුෂ්‍යයෙක් ලබන්න තියෙන ශ්රේෂ්ඨම කාරණා ලැබුව තැනදී අපේ බුදුරජාණන් වහන්සේ මුල්කර ගෙන අපි නිවන් මාර්ගයට ගිහිල්ලා අපි මේක ඉවර කර ගන්නවා මිසක් ලෝකයේ බුදුරජාණන් වහන්සේලා හොයන්න යන කාරණය නම් එච්චර සුබදායක නැහැ.

ඒ නිසා නිරතුරුව ම අපි දක්ෂ වෙන්න ඕනේ එවැනි සිත් සකස් වෙනකොට ඒ සිත මාරයා හැටියට දැකලා අපිට ලැබුණු බුදුරජාණන් වහන්සේ, ඒ ධර්මය, ඒ සංඝරත්නය උපයෝගී කරගෙන මේ
ගමන නිමාකර ගැනීමේ ප්‍රශ්නය තමයි අපි ඉස්සරහ තියෙන්නේ. අරවට යන්න ගියොත් නොයෙක් විතර්ක සකස් වෙන්න තියෙනවා. මොකද සමහර ස්වාමීන් වහන්සේලා එවැනි ධර්ම දේශනා කරනවා. නේද? මම නම් ඔයිට වඩා එහාට යන්න කැමති නැහැ.

මම නම් කොයිම වෙලාවකවත් මට හිතක් සකස් වුණොත් වෙන සක්වලවල් වල බුදුරජාණන් වහන්සේලා ඉන්නවා කියලා මම ඒ හිත අනිත්‍යයි කියලා දකිනවා මිසක් ඉන් එහාට හිතන්න යන්නේ නැහැ. මොකද මට අදාළ නැහැ වෙන බුදුරජාණන් වහන්සේලා ගැන. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවමානව තියෙනවා.

තෙරුවන් සරණයි!!!

අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි

සිරස එෆ් එම් පන්සිල් මළුව වැඩසටහනකින් උපුටා ගත්තකි.

සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.