ධර්ම සාකච්ඡාවක් අවසානයේදී එක් මැදිවියේ මහත්තයෙක් ප්‍රකාශ කළේ, තමන්ගේ බිරිඳ හරියට කේන්ති ගන්නවා. තමන් කොපමණ අවවාද කළත් ඇය අහන්නේ නැහැ. බිරිඳ ධර්මයට කැමැති නැහැ. එයාට කේන්ති ගියහම හරියට යක්‍ෂණියක් වගේ කියලා. ඒ මහත්මයා අසනවා ‘මම මොකද හාමුදුරුවනේ කරන්නේ’ කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට ප්‍රකාශ කළේ ‘ඔබම කියනවා, ඔබගේ බිරිඳ යක්‍ෂණියක් වගේය කියලා. බිරිඳ ඔබට ඔය බල කරන්නේ ඔබටත් යක්‍ෂයෙක් වෙන්න කියලයි. ඇය යක්‍ෂණියක් වුවදෙන්, ඔබ යක්‍ෂයෙක් වෙන්න එපා. ඔබ ඇය ඉදිරියේ මනුෂ්‍යයෙක්, දෙවියෙක් වෙන්න. පිංවත් ඔබට ගැටෙන්න මෙතන කිසිම දෙයක් වෙලා නැහැ.
ඔබ මේ දකින්නේ ධර්මයයි. බිරිඳක් ගත්තානම් ඔබ ඒ ගත්තේ දුකක්. සැමියෙක් තෝරාගත්තා නම් ඔබ ඒ ගත්තේත් දුකක්. බිරින්දෑවරු වෙනුවෙන් ඔබ සංසාරයේ හෙළා ඇති කඳුළු, රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩිය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඔබේ බිරිඳ ඔබට ඔය බල කරන්නේ එම කඳුළු සාගරයට තව තවත් කඳුළු, රුධිරය එකතු කරන්නටය කියලා. ඔබ මෙතැනදි දක්‍ෂ වෙන්න ඕනේ උතුම් සද්ධර්මය ප්‍රයෝජනයට අරගෙන මේ කඳුළු සාගරය උපරිම ආත්මභව හතකට සීමාකර ගන්න. නැවත බිරිඳ ඔබට බැන්නොත් ඔබ ඒ බැනුම් නිහඬව ඉවසන්න. බිරිඳ ඔබට පහරක් ගැසුවහොත් දෙවැනි පහරත් ගසන්න හිස නමන්න. පිංවත් ඔබ සිතන්න එපා ඔබ ඒ හිසනමන්නේ තමාගේ බිරිඳට කියලා. ඔබ ඒ හිස නමන්නේ උතුම් සද්ධර්මයටයි. ඔබේ අකීකරු බිරිඳ තුළිනුත්, අකීකරු ස්‌වාමියා තුළිනුත් ඔබ අධිෂ්ඨානයක් ඇතිකර ගන්න මම මේ භව ගමනේ ලබන අවසාන බිරිඳයි, අවසාන ස්‌වාමිපුරුෂයායි කියලා’
දුක ඇති කරන දේ කෙරෙහි අවබෝධයෙන් කළකිරීම ඇතිකර ගන්න. අකීකරු බිරිඳව, ස්‌වාමිපුරුෂයාව කමටහනක් කොටගෙන නැවත ‘බිරිඳ’ ‘ස්‌වාමිපුරුෂයා’ කියන දුකෙන් මිදෙන්න.
මාස 3කට විතර පසුව ආයෙමත් අර මහත්මයා භික්‍ෂුව මුණගැසිලා කියනවා ‘හාමුදුරුවනේ දැන් මගේ බිරිඳ හොඳයි. කේන්ති ගන්නේ නෑ’ කියලා.
තෙරුවන් සරණයි!!!
අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි
මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළින් උපුටා ගත්තකි.
සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.