නික්ලේෂී වෙසක් අසිරියේ සතුට ඔබෙන් සහ මගෙන් උදුරා ගත්තේ කවුද?

සුන්දර සාමකාමී වෙසක් මාසයේ පින්වත් ඔබ හැමෝම කථා කරන්නේ ශීල ව්‍යාපාරයන් ගැන. භක්ති ගීත, තොරණ, දන්සල්, වෙසක් සැරසිලි ගැන. නමුත් මෙවර උදාවුණ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී අපි හැමෝගෙන් ම මේ උතුම් දේවල් උදුරාගෙන තිබෙනවා.

කවුද මේ නික්ලේෂී වෙසක් අසිරියේ සතුට ඔබෙන් සහ මගෙන් උදුරා ගත්තේ? දෙවියෙක්ද? යක්ෂයෙක්ද? බ්‍රහ්මයෙක්ද? එසේත් නැත්නම් අපිම පටිච්චසමුප්පන්නව සිදු කළ අතීත අකුසල් සංස්කාරයන් විසින්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ නැමැති පංච උපාදානස්කන්ධ ලෝකය සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියා හේතුවෙන් නිරතුරුව ම කැඩෙමින්, බිදෙමින්, විසිරෙමින් ගමන් කරනවාය කියලා. ගෙවීගිය සිංහල අලුත් අවුරුද්දේ පින්වත් ඔබ ඇතිකර ගත් යහපත් බලාපොරොත්තු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවට ඔප්පු කරමින් වෙසක් මාසය වෙනකොට එම බලාපොරොත්තු කැඩී, බිඳී විසිරී ගියා.

මෙය සටහන් තබන භික්ෂුවට නම් සිතෙන්නේ භික්‍ෂුවගේ ජිවිතය තුළ උදාවුණ ආශ්වාදයේ හොරා පොලිස් සෙල්ලමෙන් මිදුණ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයෙන් සකස්වෙන සංස්කාර වියරුව ඒහිපස්සිකව මතුකොට පෙන්වූ වෙසක් මංගල්‍යයක් මෙවර විනාශය තුළින් අපිට දකින්නට ලැබුණාය කියලා.

අප විසින්ම සකස්කොට ගත් හේතුඵල ධර්මයන් විසින් සංස්කාරයන්ගේ ආශ්වාදයන්ගෙන් අපිව මොහොතක් දුරස්කරලා සංස්කාරයන්ගේ වියරු ආදීනවය අපේ ජීවිත ඉදිරියේ සමාජගත කොට තිබෙනවා. ආදීනවයන්ගේ වියරුභාවය ඉදිරියේ අපට ඉතිරිවී තිබෙන්නේ බියෙන් තැති ගැනීම නොවේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නැමැති උත්තම පුරුෂයා ලෝකයට පහළ වෙන්නේ බිය වෙනුවට අපිට අභය දෙන්නයි. සමාජගතවී ඇති ජරා, ව්‍යාධි, මරණ, දුක හමුවේ දුකට සැබෑම හේතුව මතුකොට ගන්න.

අකුසලයේ සන්දිට්ඨික ගුණය ඒහිපස්සිකව දකින මේ සුන්දර වෙසක් සතියේ වෙසක් පුර පසළොස්වක සද ආකාශයේ ප්‍රභාෂ්වරව ආලෝකමත් වේවි. නමුත් පින්වත් ඔබලාගේ ජීවිත චතුරාර්ය සත්‍යය ධර්මයන් ගේ අර්ථයන්ගෙන් ආවරණය නොවන්නේ නම් ඒ ප්‍රභාෂ්වර වෙසක් සද එළියට ඔබේ ජීවිත ආලෝකමත් කරන්නට බැහැ.

පින්වත් ඔබේත් මගේත් උතුම් ශාස්තෲන් වහන්සේ මේ නිමේෂයේදීත් ජීවමානව වැඩ සිටිනවා. ඒ ජීවමාන ශාස්තෲන් වහන්සේයි උතුම් ශ්‍රී සද්ධර්මය. උතුම් ජීවිතය. ශාස්තෲන් වහන්සේයි උතුම් ශ්‍රී සද්ධර්මය. උතුම් විනය ධර්මයත්. මේ උතුම් ධර්ම විනයේ ඉලක්කගත අර්ථය වන චතුරාර්ය සත්‍යය මේ මොහොතේ රටේ ජනතාව අත්දකින ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක තුළින් මතුකොට ගන්න. දුකේ ඒහිපස්සික ගුණය තුළින් දුකට සැබෑම හේතුව වන තෘෂ්ණාවේ වියරුව මතුකොට දකින්න. මේ සමාජගත දුක තුනීවීමට නම් තමා තුළින් ම තෘෂ්ණාව සියුම් කළ යුතු බව තේරුම් ගන්න. තෘෂ්ණාව සියුම් කරන එකම මාර්ගය වන වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ජීවිතයට එකතු කොට ගන්න.

(මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශනා කරන අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් 2019 වර්ෂයේදී තබන ලද සටහනකින් උපුටා ගෙන සංස්කරණය කරන ලදී).