ප්‍රශ්නය : –
යමෙක් තමාට චෝදනාවක් කරන විටදී, තමාට දොස් කියන විටදී, අපහාස කරන විටදී, ඉබේ හට ගන්නා දුක් වේදනාව පිසදා ගන්නට අමාරු ස්වභාවයක් ඇති වෙනවා. එයින් මිදීමට බොහෝ වේලාවක් ගත වෙනවා. ඉන් මිදෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස…?
පිළිතුර : –
ඒක මිදෙන්න නම් දරුවෝ තමන් කවදා හරි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න ඕනේ. ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට. ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට ආපු කෙනා ජීවිතය ධර්මානුකූලවයි ගළපා ගන්නේ. ඔබලා කිසිම කෙනෙකුට ඔබලාට නොලැබෙන්න තියෙන දෙයක් ලැබිලත් නැහැ. ලැබෙන්න තියෙන දෙයක් නොලැබිලත් නැහැ. ඔබලාට ලැබුණේ ඔබලා කර ගත්තා වූ දේයි. එතකොට මේ ඔබලා කරගත්තා වූ දේ නම් ඔබලාට ලැබුණදේට ඔබලා ගැටිල වැඩක් නැහැ. මේ මොහොතේ ඔබ කඳුළක් හෙළනව නම් දරුවෝ ඔබ ඒ කඳුළ හෙළන්නේ ඔබ මේ සංසාරෙ කාට හරි කඳුළක් දීල තියෙන හින්දයි. ඔබ මේ මොහොතේ හිනාවෙනවා නම් ඔබ හිනාවෙන්නේ සංසාරේ කාවහරි හිනස්සලා තියෙනවා. හේතුඵල ධර්මයක්. එහෙමනම් ඔබ කඳුළක් එන වෙලාවෙ කඳුළට ගැටෙනවා නම්, සිනහවක් එන වෙලාවෙ සිනහවට ඇලෙනවා නම් ඒකෙ තේරුමක් නැහැ. ඒ දෙකම ඔබ කරගත්තා වූ දෙයක්මයි.
ඔබේ බිරිඳ ඔබට අකීකරු නම් එය ධර්මානුකූලව ගළපාගන්නේ කොහොමද..? මම ගිය ජීවිතයේ මගේ බිරිඳට අකීකරු වෙලා ඉන්න ඇති. ඔබේ දරුවා ඔබට අකීකරු නම් ඔබ හිතනවා මං පුංචි කාලේ මගේ තාත්තාට අකීකරු වෙලා ඉන්න ඇති. හේතුඵල ධර්මයන් අනුව ගළපනවා. එතකොට මෙහෙම ගළපද්දී මෙයා දකිනවා මම මේ විඳින්නා වූ මානසික පීඩාව මම විසින් කර ගත්තා වූ දෙයක් කියලා. කවුරුත් කරපු දෙයක් නෙමේ. මම විසින් කර ගත්තා වූ දේට මම ගැටිලා වැඩක් නැහැ. මම විසින්ම කරගත්තා වූ දේට මම ඇලිලා වැඩක් නැහැ. මම මෙතන ඉන්නේ මම කරගත්තා වූ දේ නිසා. ඔබලා ඔතැන ඉන්නේ ඔබලා කරගත්තා වූ දේ නිසා. ඒ නිසා ධර්මානුකූලව ජීවිතය ගළපනකොට එයා ගැටෙන්නේ නැහැ. එයා ඉස්සරහට ඇවිල්ලා කව්රුහරි බණිනකොට එයා හිතන්නේ අනේ මමත් කාටහරි බැණලා ඇති. කවුරුහරි චෝදනා කරනකොට එයා හිතන්නේ අනේ කාටහරි මමත් චෝදනා කරලා ඇති. අන්න හේතුඵල ධර්මයන් අනුව ගළපලා එයා අයින් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයා කියලා. ආයෙමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත කියන්නේ, පංචුපාදානස්කන්ධය කියන්නේ මාරයා කියලා. එහෙමනම් අපි දැනගන්නවා අපේ ඉස්සරහට එන මොන රූපයත් මාරයා හැටියට දකින්න. එක ස්වාමීන් වහන්සේ නමක් ගෙදරකට ආවා ටිකට් පොතක් විකුණන්න. රු. 25/- ටිකට් එකක්. මේ ළමා නිවාසයකට ආධාර පිණිස. එතකොට ඒ ගෙදර මහත්තයා මොකද කරල තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේට බැණල එළවගෙන. මේවා විනයට අදාළ නැහැ කියලා. ඇත්තටම මුදල් පරිහරණය කරන්න බැහැ ස්වාමීන් වහන්සේ කෙනෙකුට, උපසම්පදා භික්ෂුවකට. ඒක තමයි විනය නීතිය. නමුත්, අර මහත්මයා ස්වාමීන් වහන්සේට බැනල එළවගෙන, එතැනින් නැවතුණේ නැහැ. මටත් ඇවිල්ලා දවසක් කිව්වා. දකින දකින කෙනාට මේක කියනවා. දැන් මේ මොකක්ද මෙයා කර ගන්නේ අකුසලයක්.
නමුත්, අර ස්වාමීන් වහන්සේ ගෙදරට ආපු වෙලාවේ හාමුදුරුවනේ, මට නම් ටිකට් එකක් ගන්න බැහැ. කරුණාකරලා යන්න කිව්ව නම් ප්‍රශ්නය ඉවරයි නේද..? නැත්නම් මගේ ළඟ තියෙන්නෙ රුපියල් 10 නම් මේ රුපියල් 10 ආධාරයට තියාගන්න කියල දුන්න නම් ප්‍රශ්නය ඉවරයි නේද..? මුදල් නෑ කියල කිව්ව නම් ප්‍රශ්නය ඉවරයි නේද..? ඇයි ප්‍රශ්නයක් මතුකර ගත්තෙ..? රූපය මාරයා විදිහට දැක්කේ නැහැ. ඒ ආවේ මාරයා කියලා දැක්කේ නැහැ. ඒ නිසා එයා අකුසලයක් කරා ගියා. දැන් මට මදුරුවෙක් වහලා මෙතන කනවා. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය මාරයා කියලා. නමුත්, මම මේ මදුරුවා මාරයා හැටියට දකින්නේ නැහැ. මම මදුරුවාට ගහන මොහොතේම මම අකුසලයක් කර ගත්තා. මම මේ මදුරුවා මාරයා විදිහට දැක්ක නම් මේ ආවේ මට අකුසලයක් කර ගන්න කියලා දැක්ක නම් මම මේ මදුරුවාව එළෙව්ව නම් අකුසලයක් සිදු වෙනවද..? නැහැ..
එහෙමනම් තමන්ට අනුන් නිසා හිත් වේදනාවක් ඇති වෙනවා නම් හැම වෙලාවෙම ඒ රූපය මාරයා විදිහට දකින්න. ඒ රූපය ඔබ ඔබේ කර ගන්න එපා. එක තරුණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්ස, මට හරිම දුකයි. නිතරම මට ඇඬෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා තරුණය, ඔබේ ගමේ ඥාති කෙනෙක් මැරෙනවා, ඔබ ඒ මරණයට ගිහිල්ලා මොකද කරන්නේ කියලා. ස්වාමීන් වහන්ස මම ඉකි ගස ගසා අඬනවා කියනවා. හොඳයි ඒ ගමේම තවත් කෙනෙක් මැරෙනවා. නමුත් එයා ඔබේ ඥාතියෙක් / හිතවතෙක් නෙමේ. ඔබ ඒ මරණයට ගිහිල්ලා මොකද කරන්නේ. නැහැ. මට ඒකට ගියාට ඇඬන්නේ නැහැ කියනවා. ඔබේ ඥාතියෙක් ලෙඩ වෙනවා. ඒ ඥාතියා බලන්න ගියහම මොකද සිද්ධ වෙන්නේ. මම අඬනවා කියනවා. ඥාතියෙක්, යාළුවෙක් නොවන කෙනෙක් ලෙඩ වෙනවා. ඔබ එයා බලන්න ගියොත් මොකද වෙන්නේ. නෑ. මට ඇඬෙන්නේ නෑ…
එහෙමනම් ඔබ දැන ගන්න යමෙක් කෙරෙහි ද තෘෂ්ණාවෙන් බැඳුණේ, තෘෂ්ණාවෙන් බැඳුණ තරමටයි දුක සකස් වෙන්නේ කියලා. ඒ නිසා ඔබ කියනවා නම් අනුන් නිසා දුක ඔබට වැඩි වෙනවා කියලා ඒ අනුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ කෙරෙහි ඔබ සකස් කර ගත්තා වූ තෘෂ්ණාවයි…!
උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු.!