“මම බණ කියන්නේ පුතේ..මේක නිවැරදි කරන්න නෙවෙයි. දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්නයි..”

“බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මගේ මුවින් වචනයක් පිට වෙනවා නම් ඒ වචනය ස්වභාව ධර්මයට, ජීවිතය දමලා ලැබුවා වූ දැක්මක් තුලින් කියන්නාවූ ධර්මයක්මයි. ඒ නිසා මට ඒ ගැන සැකයක් නෑ. නමුත් තව කෙනෙකුට සැකයක් තියෙන්න පුළුවන්. ඒ නිසයි ගිහි පිංවතුන්ලා, සමහර පැවිදි පිංවතුන්ලා අප්‍රමාණව මාව විවේචනය කරන්නේ…”

“මම නැවතිලා ඉන්නේ…!!! ඒ නැවතිලා ඉන්න මම දකිනවා මම නිසා කල්ප ගානක් භවය දික් කරගන්නාවූ අහිංසක පිංතුන්ලා”.. මොකද උන්වහන්සේලා තවමත් ධර්මය., තර්ක විතර්ක, මතවාද තුලින්මයි “ධර්මය” දකින්න කැමති. ඒක එයාලගේ අතීත මිත්‍යා දෘෂ්ටික පුරුද්දක්. ඒකට අපි ගැටෙන්න යන්න ඕනේ නෑ… යන්න, යන්න ශ්‍රද්ධාව දුර්වල වන සමාජයක්මයි එන්නේ. මතවාද, දෘෂ්ටි, ගැටුම් පිරුන විකෘති සමාජයක් ඉස්සරහට එන්නේ. ඒ නිසා මේ සමාජය නිරතුරුවම අපි කමටහනක් කරගන්න ඕනේ. දශමයක් වත් නිවැරදි කරන්න යන්න එපා.

මම බණ කියන්නේ පුතේ.., මේක නිවැරදි කරන්න නෙවෙයි. දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්නයි…! ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනෙක් කවදාවත් ලෝකය නිවැරදි කරන්න යන්නේ නෑ. ඔවුන් දන්නවා “බුදුරජාණන්වහන්සේටත් නිවැරදි කරන්න බැරි වුන ලෝකය මට නිවැරදි කරන්න බෑ” කියලා… ඒක ශ්‍රද්ධාවේ අර්ථයක්.

ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕන තමන් අහන බණ පදයක් තුළින්, තමන් කියවන බණ පදයක් තුළින් නිරතුරුව, ඒ බණ පදය නුවණින් මෙනෙහි කරලා මේ වැරදි කරන ලෝකය, විකෘතියක් කරා යන ලෝකය තුලින් මම ගැලවිලා යන්නෙ කවදද, කියන තැන සකස් කරගන්න.

භික්‍ෂුව මොහොතක්‌ ඇස්‌දෙක පියාගෙන කල්පනා කළා. අදක්‍ෂවූ ලෝකයාට ලෝකය තව කොතෙක්‌ දුරවෙයිද කියලා. අනාගතයේදී බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනක්‌, මුළු පෘථීවියම අළු දූවිලි බවට පත්වෙන කල්ප විනාශ සියදහස්‌ ගණනක්‌ පසුකොට ලෝකය ගමන් කරාවී. මනුෂ්‍යයා නොදැනුවත්භාවය නිසාම, මොන තරම් දීර්ඝ කටුක දුකක්‌ කරාද මේ ගමන් කරන්නේ. අවිද්‍යාවෙන් අන්ධවූ මිනිස්‌ සිත ‘රසයි, රසයි’ කිය කියා ‘සැපයි, සැපයි’ කිය කියා අතදිගහැර නිර්ලෝභීව සංස්‌කාරයන් සකස්‌කොට දෙනවා, ඔබව මේ දීර්ඝ, කටුක දුකේ කොටස්‌කරුවෙක්‌ බවට පත්කරන්න.

ලෝකයට, ලෝකයාට කැමති සේ, සිත් සේ අනාගත දුක කරා ගලාගෙන යැමට ඉඩදෙන්න. ඔබ මේ කටුක යථාර්ථය නුවනින් හඳුනාගනිමින් දුවන ලෝකය තුළ, නැවතුන කෙනෙක්‌ බවට පත්වෙන්න. නැවතුන තැනදී පිංවත් ඔබට විවේකීව, විවෘතව ලෝකය දකින්න ලැබේවී. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයකට පසුව මුණගැසෙන, සම්මා සම්බුද්ධ ශාසනයකදී දුවන මිනිසුන් අතරින් නවතින මිනිසුන් අතළොස්‌ස අතරට පිංවත් ඔබත් එකතුවෙන්න…!!!

තෙරුවන් සරණයි…!!!

(පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනාවක් ඇසුරින් උපුටා ගන්නා ලදී)

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…