‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක්‌ වේවිද’

එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා ‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක්‌ වේවිද’ කියලා. ඒ වෙලාවේ එම පිංවතාට භික්‍ෂුව දුන් පිළිතුර වුයේ ‘මහත්තයෝ මගධ රාජ්‍යයේ රජකම් කරපු බිම්බිසාර රජතුමා සෝවාන් ඵලය අවබෝධ කරගත් රජකෙනෙක්‌. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වුණාය කියලා, මගධ රාජ්‍යය අනතුරට පත්වුණේ නැහැ. මගධ රාජ්‍යය තවදුරටත් රැකුණා මිසක්‌. විශාඛා උපාසිකාව සෝවාන් ඵලයට පත්වෙන්නේ ළමා වයසේදී. එහෙම ළමා කාලයේදී සෝවාන් ඵලයට පත්වුනාය කියලා විශාඛාවගේ සිටුසම්පත් අහිමි වුණේ නැහැ. ඒවා තවදුරටත් වැඩුණා මිසක්‌. එම නිසා මිථ්‍යාමතවලට එළැඹෙන්න එපා. අපේ මෝහ භරිත අදහස්‌ වලට වගකියන්න උතුම් ධර්මය බැඳිල නැහැ.

කාලය වේගයෙන් ගෙවිලා යනවා. කාලය ගෙවීයන වේගයෙන්ම සංස්‌කාරත් ගෙවීයනවා. සංස්‌කාර ගෙවීයන නිමේෂයේදීම අලුතින් සංස්‌කාරයන් අපි රැස්‌කරගන්නවා. ගෙවීයැමත් සමගම හටගැනීමත් සිද්ධ වෙනවා. මෙන්න මේ ගමනයි, අපි කෙටි කරගන්න ඕන. පිංවත් ඔබ රට ජාතිය, ආගම අතහරින්න අවශ්‍ය නැහැ. බිම්බිසාර රජතුමා රට, ජාතිය, ආගම අතහැරියේ නැහැ. ඒවා වෙනස්‌ වෙන බව දකිමින් ඒවා ආරක්‍ෂා කළා. උතුම් ධර්මය තුළින් නොවෙනස්‌ වන දෙයක්‌ නැති බවට ලැබූ අවබෝධයෙන් වෙනස්‌වන දේවල් කෙරෙහි අසීමිත ආශාවක්‌ ඇතිකරගන්නේ නැහැ. අපි හිතනවා, අපි අතහැරීම පුරුදු කළොත් ලෝකය හිස්‌වෙයි කියලා. පිංවත් ඔබ අතහැරීම පුරුදු කළාය කියල ලෝකය හිස්‌වෙන්නේ අඩුවෙන්නේ නැහැ. ඔබ අතහරින දෙය අල්ලාගැනීමට මුළු ලෝකයම බලා සිටිනවා. භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී භික්‍ෂුව අවබෝධාත්මක කලකිරීම තුළ යම් දෙයක්‌ අතහැරියාද, ඒවා සෑම දෙයක්‌ම ලෝකයා කැමැත්තෙන් තරගකාරීව අල්ලාගත්තා. හිස්‌වීමක්‌ නැහැ. තව තව පිරීයැමක්‌ මිසක්‌. එම නිසා රට, ජාතිය, ආගම රකින්න ඉපදුන අය රට, ජාතිය, ආගම ආරක්‍ෂා කරාවි. මේ ජීවිතයේදී සතර අපායෙන් මිදීම උදෙසා ඉපදුණු අය ධර්මාවබෝධය දෙසට ගමන් කරාවි. පෙරකී පිංවතුන්ලා විසින් රකින රට, ජාතිය, ආගම තුළ ප්‍රයෝජනයක්‌ ගැනීමටත් පිරිසක්‌ සිටිය යුතුයි. අපි ඒ ඵලප්‍රයෝජන අරගනිමු. එවිට එය රට, ජාතිය, රකින පිංවතුන්ලාටද මහත්ඵල මහානිශාංස පිංකමක්‌ වනු ඇත.