ශීලය කියන්නේ බොහෝම සුන්දර අර්ථයක් ශීලය ජීවිතයට එකතුවුණ තැනදි ජීවිතය සැහැල්ලු වෙනවා. ජීවිතය සරල වෙනවා. ශීලයයි මනුෂ්‍යයා තුළ ඉන්ද්‍රිය සංවරය ඇතිකරල දෙන්නේ. මේ ඉන්ද්‍රිය සංවරයයි මනුෂ්‍යයා තුළ තම යුතුකම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒවා නිවැරැදිව ඉටුකිරීම සම්බන්ධයෙන් සතිය සිහිය ඇති කරදෙන්නේ. ශීලයෙන් දුර්වලවෙන ප්‍රමාණයට සමාජයේ ජීවත්වන පිංවතුන්ලාගේ සතිය සිහිය දුර්වලවෙලා යනවා. මෙම අනතුරේ පැතිකඩක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා.
පංචශීලයෙන් පටන්ගෙන උතුම් ප්‍රාතිමෝක්‌ෂ ශීලය දක්‌වා ශීලයේ සුන්දර අර්ථයන් ජීවිතයට එකතු කර ගැනීමට අදාළව බුදුරජාණන් වහන්සේ පිංවතුන්ලාට ධර්මය දේශනාකර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව ශිල්පද සමාදන් වෙන්න සමාදන් වූ ශීලය ආරක්‍ෂා කර ගන්න, ආරක්‍ෂා කරගත් ශීලය ආවර්ජනය කරන්න. ආවර්ජනය කළා වූ ශීලය විදර්ශනා නුවණින් දකිමින් උතුම් ශීලයේ අර්ථය තුළින් ප්‍රඥාව මතුකරගන්නය කියල. නමුත් වර්තමාන සමාජයේ බහුතරයක් පිංවතුන් ශීලය ප්‍රඥාව උදෙසා මෙහෙය වීම පසෙක තිබියදී ශීලය මමත්වයේ දැඩිභාවය උදෙසා යොමුකර ගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා. ශීලය සැපය උදෙසා යහපත උදෙසා ජීවිතයට එකතුකර ගත යුතු අර්ථයක් කියන තැනින් බැහැර වී ශීලය සමාජය තුළ අනුන්ව රවට්‌ටන තවත් මෝස්‌තරයක් බවට පත්වීමේ අනතුරක් සමාජය තුළ පෙනෙන්නට තිබෙනවා. භික්‍ෂුව මෙසේ සඳහන් කළේ ප්‍රසිද්ධියේ ශිල්පද සමාදන් වෙන බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ ශිල්පද දුර්වල කරගන්නා නිසයි. ශීලය හාස්‍යයක් වුණ සමාජයක සම්මා දිට්‌ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් දුර්වලවෙලා යනවා. එහි ප්‍රතිඵලය වන්නේ බෞද්ධ ලේබලය යටතේ අබෞද්ධ සමාජයක් බිහිවීමයි. මේ අනතුර වර්තමානයේ සමාජය තුළ ක්‍රමානුකූලව සිදුවෙමින් පවතිනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශිල්පද පහේ ආරක්ෂාව තුළ ජීවත්වන පිංවතා සෑමවිටම පෞරුෂත්වයෙන් යුත් පිංවතෙක්‌ය කියල. පෞරුෂත්වය කියන වචනය වර්තමාන සමාජය තුළ වැරදි විදිහට විග්‍රහ වෙනවා. වර්තමාන සමාජයේ පෞරුෂත්වය කියන්නේ යම් පුද්ගලයෙකුගේ ශරීරයේ උස මහත කඩවසම් භාවයයි. එහෙම හඳුන්වන කඩවසම් භාවයකුත්, පෞරුෂත්වයෙකුත් ලෝකය තුළ තිබෙනවා තමයි නමුත් ඒ පෞරුෂත්වය ධර්මයේ පෞරුෂත්වය නොවෙයි. ධර්මානුකූල පෞරුෂත්වයෙන් යුත් භික්‍ෂුවක්‌ය කියල කියන්නේ යම් භික්‍ෂුවක් උතුම් පැවිදි භාවයට පත්වීමට පෙරාතුව මම බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය කැපකරමි. බුදුරජාණන් වහන්සේ මතුකර පෙන්වූ චතුරාර්ය සත්‍ය ධර්මය ජීවිතයට එකතුකර ගනිමියි චිත්තයක් ඇතිකරගෙන උතුම් පැවිදි උපසම්පදා ලබාගත්ත ද ඉහත උතුම් අරමුණ උදෙසා කුමන මාරබලවේග පැමිණිය ද ජීවිත පරිත්‍යාගයෙන් යුතුව තම වන්දනීය අරමුණු කරා ගමන් කරන්නාවූ භික්‍ෂුවටයි පෞරුෂත්වයෙන් යුත් භික්‍ෂුවක් කියල කියන්නේ.
යම් භික්‍ෂුවක් උතුම් ආර්ය ශීලය උදෙසා ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය ඥාන දර්ශන ආර්ය විමුක්‌තිය උදෙසා වීර්ය වඩනවා නම් එම භික්‍ෂුවයි පෞරුෂත්වයෙන් යුතු භික්‍ෂුව කියල ධර්මයේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වරක් වර්ණනා කරනවා අඩි හතරක්‌වත් උස නොමැති පෙනුමෙන් දුර්වල ලකුන්ඨකභද්දිය ස්‌වාමීන් වහන්සේ මගේ ශාසනය තුළ වැඩ සිටින ආර්ය ඥාන දර්ශනයෙන් පරිපූර්ණ වූ පෞරුෂයෙන් යුත් භික්‍ෂුවක්‌ය කියල. ගිහි කල කසළ ශෝධකයෙක් වශයෙන් රැකියාව කළ සුනීත ස්‌වාමීන් වහන්සේ උතුම් සංඝ සමාජයේ පෞරුෂයෙන් යුත් භික්‍ෂුවක්. භික්‍ෂුන් වහන්සේලා වශයෙන් අපි දක්‍ෂ විය යුතුයි. අතීතයේ යම් දවසක අපි යම් උතුම් අරමුණක් සාක්‌ෂාත් කර ගනිමියි පැවිදි භාවයට පත්වුණා ද එම උතුම් අරමුණ තුළ වර්තමානයේ ජීවත්වෙනවාද කියන කාරණය නිරතුරුවම ආවර්ජනය කර බැලීමට. වැරදි ඇතොත් සැබෑ අරමුණ කෙරෙහි සතිය සිහිය වහ වහා ඇතිකර ගැනීමට එවිටයි අපි සංඝ සමාජයේ පෞරුෂත්වයෙන් යුත් භික්‍ෂුවක් වීමේ සුදුසුකම ලබන්නේ.