සිංහල අලුත් අවුරුදු නොනගතය, ධර්මානුකූලව….

සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සියලු වැඩ අතහැර නොනගතයෙනුයි පටන් ගන්නේ. සියලුම කාර්යයන්ගෙන් මිදී තෙරුවන්ගේ ආශිර්වාදය ලබා, බෝධි පූජා, බෝධි වන්දනා, පිරිත් සජ්ඡායනා, බණ භාවනා තුළින් අලුත් අවුරුද්දේ උදාවට සැරසෙන්න පිංවත් ඔබට මාර්ගය කියලා දෙන්නේ පින වැඩෙන, කුසලය වැඩෙන, දුක තුනීවන මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඔබව ශක්‌තිමත්කොට, නව අවුරුදු උදාවට යොමුකිරීමටමය. ‘නොනගතය’ කියන අර්ථය සෑම අලුත් අවුරුදු උදාවකටම පෙර පිංවත් ඔබට ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව මතක්‌කොට දෙනවා. සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔබ ගතකරන නොනගත කාලය, ගමේ විහාරස්‌ථානය මුල්කොට, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන ආකාරයට ගතකිරීමෙන් ලබාදෙන ආදර්ශය, මුළු අවුරුද්ද පුරාවටම, ඔබේ ජීවිතයේ මුල්තැන ලැබිය යුත්තේ සද්ධර්මයේ අර්ථයන්ට කියන පණිවුඩය ඔබට ලබාදෙනවා. නොනගතය කාලයට විහාරස්‌ථානයට යන ඔබ බෝමළුවේ වාඩිවෙලා, ඔබට මේ උතුම් සිංහල බෞද්ධ ජීවිතය ලබාදුන් සම්මා දිට්‌ඨියට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට හදවතින්ම වන්දනාව පුදකරන්න. සිංහල බෞද්ධ ජාතියේ උපන් ඔබ, ආර්ය ජාතියේ උපදිනවාය කියන අධිශ්ඨානය ඇතිකරගන්න.

සිංහල අවුරුද්ද සමග බැඳී පවතින නැකත් චාරිත්‍ර පිංවත් ඔබ ප්‍රතික්‍ෂේප කරන්න යන්න එපා. නැකත කියන කාරණය තුළින්, අප්‍රමාදීභාවය කියන කාරණාව මතුකොටගන්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න. සද්ධර්මයට අනුව ජොතිෂ්‍යය කියන්නේ චිරස්‌තීන ධර්මයක්‌ බව ඇත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සමාජයත් සමග බැඳී පවතින ධර්මතාවයන්, වෙනස්‌ කරන්න යන්න එපාය කියලා. නැකතට අවුරුදු උදාව ඔබට කියලා දෙන්නේ, ලැබුවාවූ අවුරුද්ද පුරාවට, ඔබ කරන සෑම ක්‍රියාවක්‌ම අප්‍රමාදීව, නියමිත වේලාවට, නියමිත කාලයට කරන්න කියන පණිවුඩයයි. ධර්මානුකූලව උදාවුණු අලුත් අවුරුද්දේ ලෞකික අපේක්‍ෂාවන් සාර්ථකකොට ගන්නත්, ආයුෂය, වර්ණය, සැපය, බලය අත්‍යවශ්‍ය වෙනවා. යහපත් අවුරුද්දක්‌ සඳහා ආයුෂ, වර්ණය, සැපය, බලයේ අවශ්‍යතාවය, නැකතට ආහාර අනුභවය තුළින් මතුකොට දෙනවා. පවුලේ සමගිය උදෙසා කණ්‌ඩායමක්‌ වශයෙන් ආහාර ගැනීමත්, සිතෙන සිතෙන, දකින දකින වෙලාවට ආහාර ගැනීමකින් තොරව, සුදුසු නිවැරදි වේලාවට පමණක්‌ ආහාර ගන්නය කියන පණිවුඩය, වැඩිපුර ආහාර ගැනීම නිසාම රෝගීව සිටින වර්තමාන සමාජයට හොඳ ආදර්ශයක්‌ වෙනවා. ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙන තුරුම කුසගින්නේ සිටීම නිසාම, අනුන්ගේ කුසගින්නේ වේදනාව පිංවත් ඔබ අත්දැකීමෙන්ම දැනගැනීම නිසා, නැකතට ආහාර අනුභවය පිංවත් ඔබේ දන්දීමේ ශක්‌තියද වැඩි කරනවා.

සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා කියන සතර පිරිසේම එකතුවයි. ශාසනයේ සැබෑම අර්ථය කියන, භික්‍ෂු භික්‍ෂුණී කියන කණ්‌ඩායම් දෙක පෝෂණය වෙන්න නම් අනිවර්යයෙන්ම උපාසක උපාසිකා කියන කණ්‌ඩායම් දෙකට ශක්‌තිමත් ආර්ථිකයක්‌ තිබෙන්නට අවශ්‍යයි. උපාසක, උපාසිකා කියන අය ආර්ථිකයෙන් පිරිහීගියොත් භික්‍ෂු, භික්‍ෂුණි කියන කණ්‌ඩායම් දෙක සිව්පසය හීනවීම හේතුවෙන් අභියෝගයන්ට ලක්‌වෙනවා. ඒ වගේමයි කාමයන් තුළ ජීවත්වෙන ගිහි පිංවතුන්ලාගේ ආර්ථික ශක්‌තිය පිරිහීගියොත් ධර්ම මාර්ගයට විවේකීව යොමුවීමටත්, දන්දීම පිංකම් කිරීම වැනි කටයුතු වලටත් බාධා සිද්ධවෙනවා.

මේ හේතූන් නිසා සිංහල අවුරුද්දේ නැකතට ගනුදෙනු කිරීම තුළින්, එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හෙවත් බොරුවෙන් තොරව කෙරෙන ගනුදෙනු කිරීම, සම්මා ආජීවයන්ට අදාළව යහපත් ආර්ථිකයක්‌ ගොඩනගාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පිංවත් ඔබට පණිවුඩයක්‌ ලබාදෙනවා. සිංහල අලුත්අවුරුද්දේ නැකතට හිසතෙල්ගෑම සහ ස්‌නානය, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ‘නිරෝගීබව ජීවිතයේ පරමලාභයයි’ කියන ධර්මතාවයේ අර්ථය පිළිබඳව වසර ආරම්භයේදීම පිංවත් ඔබට පණිවුඩයක්‌ ලබාදෙනවා. සිංහල අලුත් අවුරුද්දේ වැඩිහිටියන්ට ගරුකිරීම, වන්දනාකිරීම, සිදුවූ වැරදි ඇතොත් කමාකරගැනීම සම්මාදිට්‌ඨියේම උතුම් අර්ථයක්‌ වෙනවා. දැන් පිංවත් ඔබට තේරුම්යනවා ඇති, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ලක්‌ම කාමයන් සමග ජීවත්වෙන ගිහි පිංවතුන්ලාට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශක්‌තිමත් කොටගැනීම උදෙසාම, ගිහි ජනතාවගේ ලෞකික අධ්‍යාත්මික දියුණුව උදෙසාම ඇතිකළ ධර්මතාවයක්‌ය කියලා.

පිංවත් ඔබ, ඔබ නැකතට ආහාර ගන්න අවස්‌ථාවේදී ‘මම මේ වසරේදී පමණ දැන නියමිත වේලාවේදී පමණක්‌ ආහාර ගන්නවා’ය කියන චිත්තයක්‌ ඇතිකොටගතහොත්, නැකතට ගනුදෙනු කරන වේලාවට ‘මම මේ වසරේ හොර බොරු වංචාවෙන් තොරව, සම්මා ආජීවයට යටත්ව ගනුදෙනු සිදුකරනවා’ය කියන චිත්තය ඇතිකොටගතහොත්, මට යමෙක්‌ උපකාර කළහොත් පෙරළා ඔහුට උපකාර කරනවාය කියන චිත්තයක්‌ ඇතිකරගතහොත් එම චිත්තය ඇතිකරගත් මොහොතේම ඔබ තුළ තෙරුවන් කෙරෙහි සද්ධාව, සම්මා දිට්‌ඨිය ඇතිවෙලා මේ මොහොතේ ඔබ ශීලයෙන් පරිපූර්ණයි. අකුසල් මූලයන් බැහැරවෙලා, කළාවූ කුසල් තව තව ශක්‌තිමත් කරගැනීමේ සම්මා ව්‍යායාමයකයි ඔබ නිරත වෙන්නේ. අකුසලය බැහැරකොට, කුසලය තුළ සම්මා සතිය සකස්‌වෙලා, පංචනීවරණ බැහැරව, සමාධිමත්ව නිවැරදිව සිතන්න දක්‍ෂභාවය ඔබට ලැබිලා, සිංහල අලුත් අවුරුද්දේ ඔබ ඇතිකරගන්නා එක යහපත් චිත්තයක මුළු ආර්ය අෂ්ඨාංගික මාර්ගයම පෝෂණය වෙනවා. එමනිසා පිංවත් ඔබ සිංහල බෞද්ධයා යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම අර්ථය බව හඳුනාගෙන, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන ආකාරයටම සිංහල අවුරුද්ද ජීවිතයට එකතුකොටගැනීමට දක්‍ෂවෙන්න.

සිංහල බෞද්ධ ජාතිය ලෝකයේ ප්‍රෞඩ ජාතියක්‌. ආඩම්බර වෙන්න කාරණයක්‌ නොවෙයි. සම්මා දිට්‌ඨිය තුළින් කර්මය කර්මඵලය විශ්වාසය ඇති පිංවතා දන්නවා තමා මෙවන් ප්‍රෞඩ ජාතියක උපත ලැබුවේ හේතුඵල ධර්මයක්‌ නිසාමය කියලා. ඔහු එම ප්‍රෞඩ ජාතියේ උප්පත්තිය ලැබීම උපයෝගීකරගන්නේ තමාගේත් ජාතියේත් විනාශය සඳහා නොව තව තවත් සම්මා දිට්‌ඨියේ අර්ථයන් වැඩෙන දිශාවටමය.

සිංහල බෞද්ධයෙක්‌ හැටියට ඉපැදුණු පිංවත් ඔබගේ උපතත් මංගල්‍යයක්‌මයි. මොකද පිංවත් ඔබ දුර්ලභ සම්මා දිට්‌ඨිය දෝතින් දරාගෙනයි උපත ලබලා තිබෙන්නේ. උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොටගෙන ජීවත්වෙන ඔබේ ජීවිතයත් මංගල්‍යයක්‌මයි. උපතත් මංගල්‍යයක්‌ නම්, ජීවත්වීමත් මංගල්‍යයක්‌ නම්, අනිවාර්යෙන්ම ධර්මයේ අර්ථයෙන් ජීවිතය පෝෂණයකොටගත් සිංහල බෞද්ධයාගේ මරණයත් මංගල්‍යයක්‌ම වෙනවා. එය පිරිනිවීමක්‌ වෙන්න පුළුවන්. භව ගමන කෙටිකොටගත් මාර්ගඵලලාභී මරණයක්‌ වෙන්නත් පුළුවන්. සශ්‍රික කාම ලෝකයක්‌ වෙන්නත් පුළුවන්. එය සිංහල බෞද්ධකමේ සැබෑම අර්ථයක්‌ වෙනවා.

පිංවත් ඔබ යමක්‌ රකින්න නම්, යමක්‌ ආරක්‍ෂාකොටගන්න නම් මුලින්ම එහි වටිනාකම දකින්න ඕනේ. පෙර කී සටන්කාමී ස්‌වභාවයෙන් යුතු කණ්‌ඩායම් හැරුණු විට, මේ මුළු ලෝකයේම ජීවත්වෙන ජනතාව තුළ මෙන්ම අන්‍යආගමික පිංවතුන් තුළ, මේ මොහොතේ තිබෙන්නාවූ යම් තරමක හෝ ගුණාත්මකභාවය, සදාචාරාත්මක ස්‌වභාවය, සිල්වත්භාවය ඇතිවී තිබෙන්නේ සිංහල බෞද්ධ ජාතිය නිසාමයි. සද්ධර්මයේ උතුම් අර්ථයන්ගෙන් පෝෂිත සිංහල බෞද්ධ ජන සමාජය ලෝකයට මතුකොට පෙන්වන දානය, ශීලය, සමාධිය, මෛත්‍රිය වැනි උතුම් ධර්මතාවයන් හමුවේ අන්‍ය ආගම්ද තම ආගම්වල ගුණාත්මකභාවයන් වැඩිකර ගනිමින් සිටියි. බුද්ධාගමේ ගුණාත්මක අර්ථයන්ට සාපේක්‍ෂව අන්‍යආගම්වල ගුණාත්මකභාවය වැඩිකර නොගතහොත් එම රටවල බුද්ධිමත් ජනතාව ඉදිරියේ එම ආගම් ප්‍රශ්නකිරීම්වලට ලක්‌වනු ඇත. මේ හේතුව නිසාම, වර්තමානයේ අන්‍යආගම්ද දානයට, ශීලයට, සමාධියට, මෛත්‍රියට අදාල ධර්මයන් තම ආගම්වල ගුණාත්මකභාවය වැඩිකරගැනීම සඳහා උපයෝගීකරගෙන ඇත. මේ සියල්ල ලෝකය තුළ සිදුවන්නේ උතුම් සද්ධර්මයේ අර්ථයන් තුළින් ලෝකයට මතුවී එන සත්‍යතාවයන් නිසාමය. නමුත් යම් දවසක ලෝකයට බුද්ධාගම ආරක්‍ෂකොටදෙන මේ සිංහල බෞද්ධ ජාතිය, සැබෑ සිංහල බෞද්ධ අර්ථයන්ගෙන් බැහැරව ගියොත්, සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ද විනාශවී යනු ඇත. එවිට ලෝකයේ අන්‍යආගම්වලට තරග කිරීමට ගුණාත්ම තරගකරුවෙක්‌ නැති නිසා ඔවුනගේ ආගම්වල ගුණාත්මකභාවයද අතහැර දමනු ඇත.

මෙම පරිසරය බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, මනුෂ්‍යයා තුළ මෘග සංඥාව මතුවීමේ ආරම්භයද වනු ඇත. පිංවත් ඔබ මේ මොහොතේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර රකිමින් ආරක්‍ෂාකොටගෙන ජීවත්වන සිංහල බෞද්ධ ජාතිය වර්තමානයේ සමස්‌ත ලෝකයේම ජනතාව තුළ මානසික සංහිඳීමක්‌ ඇතිකොට දී තිබෙන බව නුවනින් දකින්න. ලෝකය තුළ තුන්වැනි ලෝක යුද්ධයක්‌ තවමත් පමාවී තිබෙන්නේ මේ උතුම් සිංහල බෞද්ධ ජාතිය ලෝකයට දායකකර දී ඇති උතුම් සද්ධර්මයේ අර්ථයන් නිසාම බව නුවනින් දකින්න දක්‍ෂවෙන්න. සම්මා දිට්‌ඨියට පත් සශ්‍රික දිව්‍යතලවල ජීවත්වන සක්‍ර දෙවියන් ඇතුළු දිව්‍ය බලමුළු නිතිපතා වන්දනා කරන, දිව්‍යතලවලින් චුතවන දෙවියන් දිව්‍යංගනාවන් නැවත ඉපදීමට ප්‍රාර්ථනා කරන, දිව්‍යතලවල දිව්‍ය බලමුළුවලට අලුතින් සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් ඕපපාතිකව බිහිකොටදෙන මනුෂ්‍යයාට භව නිරෝධයට, භවයේ සැපයන්ට පාර පෙන්වාදෙන මේ උතුම් සිංහල බෞද්ධ ජාතියේ වටිනාකම ඔබ තේරුම්ගත යුතුයි. සිංහල ජාතික ඇඳුම් පළඳින කොයි කවුරුත් තමන් නියෝජනය කරන සිංහල බෞද්ධ ජාතියේ වටිනාකම තේරුම්ගත යුතුය.

ලෝක ධාතුවේ මුළු දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ප්‍රජාව තුළම කුසලයේ සැපය, මානසික සංසිඳීම ආරක්‍ෂාකොටදෙන සිංහල බෞද්ධ ජාතියේ වටිනාකම මේ සිංහල අලුත් අවුරුද්දේ තේරුම්ගතහොත් එය මුළු ලෝක ධාතුවේම සත්ව ප්‍රජාවට යහපතක්‌ම වනු ඇත. එහෙත් ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්ගෙන් ජීවිතය පදම්කොටගත් සමාජයට එය දුර්ලභම කාරණයක්‌ වනු ඇත..!!!

තෙරුවන් සරණයි…!!!

අති පුජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…