සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයක් වන, ළිඳ සමඟ ගනුදෙනු කිරීම ධර්මානුකූලද?

ඔබතුමිය මගෙන් ප්‍රශ්න කළේ සිංහල අවුරුද්දට ළිඳත් එක්ක ගනුදෙනු කිරීමේ අර්ථය මොකක්ද කියන කාරණය. නමුත් දරුවෝ මේ ළිඳත් එක්ක ගනුදෙනු කරනවා කියන කාරණය ධර්මයට එකඟ කාරණයක් නම් නෙවෙයි. නමුත් ඉතින් අපිට ඒක ධර්මානුකූලව ගළප ගන්න අවශ්‍ය නම් ඒක මෙහෙම ගළප ගන්න පුළුවන්.

මොකද ළිඳ කියන කාරණය තමයි නිරතුරුවම අපිව පිරිසිදු භාවයට පත් කරන්නෙ. අපිව නිරතුරුව ම කායිකව පිරිසිදු භාවයට පත්කරන්නෙ ළිඳේ තියෙන ජලය නැත්නම් ළිඳ කියන කාරණයයි. ඒ කායික පිරිසිදු භාවය නිසයි අපි මානසික පිරිසිදු භාවයට අවශ්‍ය කාරණා සකස් කර ගන්නේ. ළිඳ කියන කාරණයත් එක්ක ගනුදෙනු කිරීමෙන් සමහරවිට අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් අපිට වඩා පිරිසිදු දෙයක් සමග, පිරිසිදු කෙනෙක් සමග ගනුදෙනු කරනවාය කියන කාරණය.

එතෙන්දි කුමකින් පිරිසිදු කෙනාත් එක්කද අපි ගනුදෙනු කළ යුත්තේ? ශීලයෙන් පිරිසිදු කෙනෙක් එක්කයි අපි ගනුදෙනු කළ යුත්තේ. කුසලයෙන් පිරිසිදු කෙනෙක් එක්කයි අපි ගනුදෙනු කළ යුත්තේ. එතකොට එතැන ළිඳත් එක්ක ගනුදෙනු කරනවා කියන කාරණයේදී ධර්මය පැත්තෙන් අපිට ගළපා ගැනීමට ඉඩකඩක් තියෙනවා නම් ඔතැනින් තමයි මම හිතන්නේ ගළපගන්න පුළුවන් වෙන්නෙ. ළිඳ නිරතුරුව ම අපේ පිරිසිදු භාවයට උපකාර කරන ධර්මතාවයක්. ඒ කියන්නේ අපිට වඩා ළිඳ පිරිසිදුයි. වතුර පිරිසිදුයි.

ඒ නිසා අපිට වඩා පිරිසිදු කෙනෙක්, ශීලයෙන් එහෙම නැත්නම් කුසලයෙන් පිරිසිදු කෙනෙක් සමග අපි ගනුදෙනු කරනවා ය කියන අර්ථය මෙතැනින් ගන්න පුළුවන්.

අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

(සිරස එෆ් එම් පන්සිල් මළුව වැඩ සටහනකින් උපුටා ගැනීමකි)