ප්‍රශ්නය:
අපේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ වඩමින් ජීවත් වන්නා වූ ඒ ප්‍රතිපදාව පිළිබඳව අපට පැහැදිලි කරදෙන්න ස්වාමීන් වහන්ස.
පිළිතුර:
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය වඩමින් ජීවත් වෙන්නේ. මගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයන් මුවහත් කරමින්, ශක්තිමත් කරමින් විදර්ශනාත්මකව මං ජීවත් වෙන්නේ තේරුණාද? මම දන්නේ නැහැ මගේ අතීත අකුසල් කොයි ආකාරයෙන් වෙන්න තියෙනව ද කියලා.
දැන් ඔබ ආපු වෙලාවේ මට මතක් කළා අර විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට අනතුරක් සිද්ධ වුණා කියලා තේරුණාද? ඉතින් පුතේ ඔබ හිතන්න මං මෙතන ධර්ම දේශනාවක් කරනවා තේරුණාද? ඕනෑම ප්‍රශ්නයකට නෝනා ධර්මානුකූළ පිළිතුරකුත්, අධර්මානුකූළ පිළිතුරක් කියලා දෙකක් තියෙනවා තේරුණාද? අධර්මානුකූළ පිළිතුර නිරතුරුව අපිව අරන් යන්නේ ලෝකය දිසාවට, දුක දිසාවට, ඇවිලෙන දිසාවට තේරුණාද? ධර්මානුකූල පිළිතුර නිරතුරුවම අපිව ලෝකයෙන්, මේ දුකෙන් මිදෙන දිසාවටයි අපි අරන් යන්නේ.
ඔබ හිතන්න මං මෙතන මේ ඔබට බණ කියනවා. ඔබට බණ කියද්දි, පුතේ කවුරුන් හෝ ඔය උඩ ඉඳගෙන, උඩ තට්ටුවේ ඉඳගෙන මෙතෙන්ට ටයර් එකක් දානවා මගේ ඔලුවට තේරුණාද? ද්වේශ සිතින් දාන්නේ, වෛර සිතින් දාන්නේ තේරුණාද? දාලා මම මරණීය තුවාල ලබනවා තේරුණාද? මෙතනදීම මරණීය තුවාල ලබනවා. ඔබ මොකද කරන්නේ? ඔබ ධර්මානුකූළව හිතනව ද ඒක? නැත්නම් අධර්මානුකූළවද හිතන්නේ? ධර්මානුකූළව හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. ධර්මානුකූළව හිතපු නිසයි රාහුල කුමාරයා ලෝකයෙන් ගැලවිලා ගියේ. අධර්මානුකූළව හිතන ලෝකය තුළ ධර්මානුකූළව හිතපු නිසයි අර මහා කරදර ප්‍රශ්න ගොඩකට මැදිවෙච්ච පටාචාරාව, කිසාගෝතමිය, ඉසිදාසිය, උත්පලවණ්ණා වැනි ඒ උතුම් කාන්තාවෝ ලෝකයෙන් ගැලවිලා ගියේ තේරුණාද?
නමුත් අපි තාම අපි ඉදිරියේ අකුසල් විපාකයට එනකොට අපි ඒ විපාකයන් ධර්මානුකූළව හිතන්නේ නැහැ. අධර්මානුකූළවම හිතනවා. අධර්මානුකූළව හිතලා ගිනි ගන්නා ලෝකයට තව තව සංස්කාර අපි දානවා, දර දානවා තව තව ගිනි ගන්න. මේ විඤ්ඤාණය ඇවිලි ඇවිලී පටිච්චසමුප්පන්නව ගමන් කරනවා, පටිච්චසමුප්පන්නව.
එහෙනම් මම මෙතන ධර්මය දේශනා කරද්දි, කවුරුන් හෝ මගේ ශරීරයට ටයර් එකක් නැත්නම් වෙන යම් දෙයක් පෙරළලා මාව මාරාන්තික තුවාල ලැබුණොත් නෝනා ඒකට ආයිමත් මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ තේරුණාද? හේතුඵල ධර්මයක්. මොකක්ද හේතුඵල ධර්මය? සංසාරයේ මම මේ වගේම බණ කියන ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඒ විදියේ විනාශයක් කරලා තියෙනවා. තේරුණාද? ඇත්ත කථාව තේරුණාද? ඒක මට වුණත්, ඔබට වුණත්, මේ මහත්තයාට වුණත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට වුණත්, පාසල් ශිෂ්‍යයෙකුට වුණත් ධර්මානුකූළ විග්‍රහය එතනයි තේරුණාද, ධර්මානුකූළ.
අපි 1971 ඉඳන් මේ දක්වා කාලය තුළ බලන්න. කොයිසා විනාශකාරී, විෂම, අකීකරු සිද්ධීන් අපේ සමාජයේ සිද්ධ වෙලා තියෙනව ද කියලා නෝනා. 89 කලබල කාලය ගන්න, 71 කලබල කාලය ගන්න, අර කොටි ත්‍රස්තවාදය තිබුණ කාලය ගන්න. මොනසා බලවත් භීෂණයන්, මොනසා බලවත් විකෘතීන් සමාජගතවෙලා තිබ්බද කියලා බලන්න තේරුණාද?
එහෙමනම් නෝනා එවැනි විකෘතීන්, එවැනි භීෂණ කාලවල්වල අපි කරගත්තා වූ අකුසල් තියෙනවා. සමාජය කරගත්තා වූ අකුසල් තියෙනවා තේරුණාද? ඒවා පටිච්චසමුප්පන්නව විපාකයට එනවා තේරුණාද? එහෙම දෙයකින් නැහැයි කියලා අපිට කියන්න බැහැ තේරුණාද? ඒ නිසා මේ මොහොතේ ඔවැනි අනතුරකින් මාව මරණීය තුවාල ලැබුවොත් නෝනා අනේ ඒක කාගෙහරි වැරුද්දක් තමයි. නමුත් එහි මුල් වරදකරු පටිච්චසමුප්පන්නව මං කළා වූ අකුසල්. සත්ත්වයා කර්මය දායාද කොට උපදියි. සත්ත්වයා කර්මය මගේ කොට උපදියි. සත්ත්වයා කර්මය සෙවණැල්ල කොටගෙන උපදියි.
එහෙනම් නෝනා අපේ කඳුළු වලට කවුරුත් වගකිවයුතු නැහැ. අපේ දුකට කවුරුත් වගකිවයුතු නැහැ. එහි වගකිවයුත්තා පටිච්චසමුප්පන්නව තමන්මයි තේරුණාද? මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් පමණයි අපිට නෝනා මේ භව ගමනේ නැවත මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අනතුරු වලින් මිදෙන දිසාවට අපිට ගමන් කරන්න පුළුවන්.
එහෙම නැතුව මට මරණීය තුවාල සිද්ධ වෙද්දි, මම තව කෙනෙකුට චෝදනා කරනවා නම්, තව කෙනෙකුට වෛර කරනවා නම්, තව කෙනෙකුට පීඩා කරනවා නම්, තව කෙනෙක්ගෙන් පලිගන්න යනවා නම්, මං දැන් අද උදේ නෝනා බස් එකේ ආවේ 5.30 ට නැග්ගේ. 5.30 ට තිස්සමහාරාම බස් එකේ නැග්ගේ. නැගලා දෙබරවැව හරියට එනකොට තුන්දෙනෙක් නැග්ගා. කලබලයෙන් වගේ බස් එකට නැග්ගා. නැගලා එක්කෙනෙක් මගේ සීට් එකට එහා පැත්තෙන් වාඩිවුණා. ඒ වාඩිවෙච්ච මනුස්සයා නිකන් අසිහියෙන් වගේ තේරුණාද? හොඳ හැඩිදැඩි මනුස්සයෝ. අසිහියෙන් වගේ කියනවා, ඊයේ රෑ මගේ මල්ලිව කැපුවා. මල්ලි දැන් හම්බන්තොට අලුත් රෝහලේ. මං යන්නේ මල්ලිව බලන්න. ඒ බලන්න යන්නේ කැපුව කෙනා කවුද කියලා අහලා අදම කපන්නයි කියලා. හයියෙන් කියනවා නෝනා තේරුණාද? දැන් බලන්න ඉතින් මේ උදේ පාන්දර 6.10 බස් එකේ මං නැග්ගේ. මම හම්බන්තොට රෝහලට යන්නේ මල්ලිව බලන්න නෙමේ, මල්ලිගෙන් කැපුවේ කවුද කියලා අහලා අදම කපන්න කියලා. නෝනා මොකක්ද මේ වෙන්නේ තේරුණාද? එතකොට මල්ලි කැපුවේ කුමක් නිසා ද?
සත්ත්වයා කර්මය දායාද කොට උපදියි. සත්ත්වයා කර්මය මගේ කොටගෙන උපදියි. සත්ත්වයා කර්මය සෙවණැල්ල කොටගෙන උපදියි. සත්ත්වයා කර්මය එසේ කොටගෙන ඉපදෙද්දි නෝනා ඒ මහත්තයා දැන් මොකක්ද කරන්නේ? තමන්ගේ මල්ලිගේ කර්මය විපාක දෙද්දි, මල්ලිට අමතරව දැන් තමනුත් අකුසල් කරගන්න නෙමේ ද යන්නේ. ඕක තමයි ලෝකය කියන්නේ නෝනා. ඒකයි ලෝකය ඇවිළෙනවා කියන්නේ. මේ ඇස ඇවිළෙනවා, කන ඇවිළෙනවා, නාසය ඇවිළෙනවා, දිව ඇවිළෙනවා, මනස ඇවිළෙනවා. ඒ නිසා මේක නිවා ගන්න.
බුදුරජාණන් වහන්සේ ඇවිළෙන ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඇවිළෙන ලෝකය තුළ තව තව පටිච්චසමුප්පන්න ලෝකය අවුළගන්න කියන කාරණය නෙමේ. මේක මේ චතුරාර්ය සත්‍යයේ විසිරුවන්න. චතුරාර්ය සත්‍යය තුළ විසිරුවලා දකින්න. ලෝකයේ කොතනකවත් වරදක් නැහැ. මං මෙතන ඉන්නේ, ඔබ ඔතන ඉන්නේ, මේ මහත්තයා මෙතන ඉන්නේ හේතුවක් නිසාමයි. හේතුවක් නිසාමයි. අහේතුවකින් නම් නෙමේ. ඒ නිසා හේතුවකින් තොරව සිද්ධ වෙන දෙයක් ලෝකය තුළ නැහැ. ඒ නිසා
අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ආස්වාදය, ආස්වාදය හැටියටත්, සළායතනයන්ගේ මේ සළායතනයන්ගේ ආදීනවය, ආදීනවය හැටියටත්, නිස්සරණය, නිස්සරණය හැටියටත් දැකලා පින්වතුනි, මේ පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරන මාර්ගයට යන්න. ඒ උදෙසා මේ ජීවිතයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ, චතුරාර්ය සත්‍යය තුළ විසිරුවන්න. චතුරාර්ය සත්‍යය තුළ විසිරුවන්න.
දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 2,600 කට ඉස්සෙල්ලා උතුම් ධර්මය දේශනා කළා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේලා, මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේලා, මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේලා අර සුන්දර පටාචාරාවලා, කිසාගෝතමියලා, උත්පලවණ්ණා උත්තමාවියෝ ඉන් පස්සේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේලා අද අපිත් තාමත් බණ කියනවා තේරුණාද? තාමත් අපිට ධර්මය ඇහෙනවා. තාමත් ධර්ම මාර්ගය තුළ අපි ගමන් කරනවා. නමුත් නෝනා තාමත් මේසා බණ ඇහුවත්, මේසා ධර්මය ඇහුවත් අපි ඉදිරියට මේ පංච උපාදානස්කන්ධ ලෝකය ගිනි ගනිද්දි, අපි ඒ ගින්න නිවන දිසාවට නම් තාම යන්නේ නැහැ තේරුණාද? අකුසලය, අකුසලය උදෙසාම යොමු කරනවා. අකුසලය, අකුසලය උදෙසාම යොමු කරනවා. අකුසලය, අකුසලය උදෙසා යොමු කරලා මීටත් වඩා වියරු ලෝකයකට අපි ඉදිරියට යනවා. ලෝකය වියරුවක්. ලෝකය වියරුවක්. ඇයි ලෝකය වියරු වෙන්නේ?
ලෝකය ඉපදුනේ අවිද්‍යාවෙන්. ලෝකය පෝෂණය වෙන්නේ තෘෂ්ණාවෙන්. ඒ නිසා ලෝකය වියරුවක්. ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වුණත්, ඔබට ලෝකයෙන් සාධාරණයක් ලැබුණත්, ඒ සාධාරණයත් සංස්කාරයක්මයි. ඒ සාධාරණයත් කුසල් සංස්කාරයක ඵලයක්මයි.
ඔබට මීට අවුරුදු 2,600 කට පෙරාතුව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව මුණගැහුණා නම්, ඒක කුසල් සංස්කාරයක ඵලයක්, ඒ සංස්කාරයත් අනිත්‍ය වෙලා ගියා. ඔබට මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ ජීවමානව මුණගැහුණා නම්, එය කුසල් සංස්කාරයක ඵලයක්, ඒ කුසල් සංස්කාරයත් අනිත්‍ය වෙලා ගියා.
ඔබට මේ මොහොතේ මේ කථා කරන ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා නම්, එයත් කුසල් සංස්කාරයක්, ඒ කුසල් සංස්කාරයත් අනිත්‍ය වෙලා ගියා. එහෙනම් ඒ කුසල් සංස්කාරය අයිති කාට ද? අවිද්‍යාවටයි, වෙන කාටවත් නෙමේ කුසල් සංස්කාරය අයිති වුණේ. ඒ කුසල් සංස්කාරයත් අයිති අවිද්‍යාවටයි.
එහෙනම් ඔබට මේ මොහොතේ මාව මුණගැහුණා නම්, ඔබට අතීතයේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ මුණගැහුණා නම්, ඔබට අතීතයේ බුදුරජාණන් වහන්සේ මුණගැහුණා නම්, ඒකටත් හේතුව අවිද්‍යාවමයි. අවිද්‍යාවමයි. ඒ නිසා මේ අවිද්‍යාවෙන් ගොඩනැගුණා වූ ලෝකය විශ්වාස කරන්න එපා. චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සකස් වුණා වූ මේ ලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශ්වාස කරන්න එපා. මොකද මේක තෘෂ්ණාවෙන්මයි පෝෂණය වෙන්නේ. තෘෂ්ණාවෙන් පෝෂණය වෙමින් තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණං, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් ගිනි ගන්නා වූ, අවුළන්නා වූ පටිච්චසමුප්පන්න ලෝකය කරා ඔබ අරන් යනවා තේරුණාද?
ඒ නිසා නෝනා කථා කරලා විසඳන්න පුළුවන් ලෝකයක් නැහැ. කථා කරලා නිවැරදි කරන්න ලෝකයක් නැහැ. කථා කරලා යහපතක් බලාපොරොත්තු වෙන්න ලෝකයක් නැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද, ඔබ, ඔබ ඇසුරු කරන සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මුගලන් මහෝත්තමයාණන් වහන්සේලාගෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ මේ වැඩිහිටි ස්ථවිර නායක ස්වාමීන් වහන්සේලාගෙන් පිළිසරණ බලාපොරොත්තු වෙන්න එපා. එකම පිළිසරණයි ආනන්ද, ශ්‍රී සද්ධර්මයේ පිළිසරණට යන්න තේරුණාද? ශ්‍රී සද්ධර්මයේ පිළිසරණට යන්න.
මේ මොහොතේ ලෝකය තුළ යම් විෂමතාවයක්, රෝගීභාවයක්, වසංගතභාවයක් ගොඩනැගිලා තියෙනවා නම්, එකම පිළිසරණයි, පිළිසරණවල් දෙකක් හොයන්න එපා. භික්ෂුවක් හැටියට මම ජීවත් වෙන්නේ ඒ පිළිසරණ තුළයි. ඒ සද්ධර්මයේ පිළිසරණෙන් තොර, එක දශමයක පිළිසරණක් අපි භික්ෂූන් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ එක ධර්මයක් කෙරෙහි විශ්වාසය තබන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් ශ්‍රී සද්ධර්මය.
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ මේ මොහොතේ ඇවිළෙන ඔබේ ජීවිතය, මේ මොහොතේ පංච නීවරණ තුළින් ඔද්දල් වෙලා තියෙන ඔබේ ජීවිතය, මේ මොහොතේ රෝග භයෙන්, මරණ භයෙන් පීඩිත වෙලා තියෙන ඔබේ ජීවිතය විසිරුවන්න චතුරාර්ය සත්‍යය තුළ. විසිරුවන්න මෙන්න දුක, වෙන දෙයක් නෙමේ. මේ අත්විඳින්නේ දුක.
මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන්වීම, පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීමේ දුක. රූපය නිත්‍ය වශයෙන් ගත්තා. මම සදාකාලිකයි. මම සදාකාලිකව නිරෝගියි. මේ ඇස සදාකාලිකව නිරෝගියි. මේ කණ, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස සදාකාලිකව නිරෝගියි. නිත්‍ය වශයෙන් ගත්තා.
මේ ලබන්නා වූ සැප වේදනාවන් වෙනස් වෙන්නේ නැහැ. හැමදාමත් මං නිරෝගියි කියන සැප වේදනාව වෙනස් වෙන්නේ නැහැ. මේ ලබන හඳුනාගැනීම්, මම නිරෝගියි කියන හඳුනාගැනීම් වෙනස් වෙන්නේ නැහැ. මේ විපාක දෙන සැප සංස්කාරයන් වෙනස් වෙන්නේ නෑ. මේ අත්විඳින්නා වූ සුන්දර දැනීම් වෙනස් වෙන්නේ නෑ. අන්න පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගත්තා. දුක සකස් වුණා.
රූප වෙනස් වෙනකොට, වේදනාව වෙනස් වෙනකොට, හඳුනාගැනීම් වෙනස් වෙනකොට, සංස්කාර වෙනස් වෙනකොට, විඤ්ඤාණය වෙනස් වෙනකොට අන්න දුක සකස් වුණා. විසිරුවන්න දුක කියන්නේ ඔතනයි. ඔබ යම් පීඩනයකින් දුක් විඳිනවා නම්, ඕකට තමයි දුක්ඛ සත්‍යය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පරම සුන්දර පළවෙනි සත්‍යය.
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන සුන්දර පළවෙනි සත්‍යය ඔබට අද ලෝකය පුරා දකින්න පුළුවන්. ඔබ ඇවිල්ලා කිව්වා දැන් මාසයක්ද, මාස එකහමාරක්ද දරුවන්ට නිවාඩු දුන්නා කියලා. මේ දරුවා ඇවිල්ලා කිව්වා දහම් පාසලුත් නිවාඩු දුන්නා කියලා. පින්වතුනි මේ සුන්දර දුක්ඛ සත්‍යයයි අපි දකින්නේ. මේ සුන්දර දුක්ඛ සත්‍යයයි. අර මහත්තයා කිව්වා උදේ පාන්දර මං පාසලට ගිහිල්ලා මගේ දරුවෝ දෙන්නා එක්කන් ආවා කියලා. මොකක්ද මේ දකින්නේ? සුන්දර දුක්ඛ සත්‍යය. නමුත් ඔබ ඒ සුන්දර දුක්ඛ සත්‍යය, දුක්ඛ සත්‍යය හැටියට දැක්ක ද? දැක්කේ නෑ. දුක්ඛ සත්‍යය ඔබ පංච නීවරණයක් කරලයි ගත්තේ. පංච නීවරණයක්. සුන්දර දුක්ඛ සත්‍යය ඔබ පංච නීවරණයක් කරද්දි, පින්වතුනි කවදානම් ඔබ දුකෙන් මිදෙන්න ද? කවදානම් ඔබ දුකෙන් මිදෙන්න ද?
අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පටිච්චසමුප්පන්නව පහළ වුණ ලෝකයක්. ඒ පහළ වුණ ලෝකයේත් අපිට තාම දුකෙන් මිදෙන්න බැරිවුණේ දුක අපි දුකක් හැටියට දැක්කේ නෑ. දුක, දුකට හේතුවෙන තවත් පංච නීවරණයක් කොටමයි අපි ගත්තේ.
ඒ නිසා මේ මොහොතේ සතිය, සිහිය ඇතිකර ගන්න. සද්ධර්මය කෙරෙහි සතිය, සිහිය ඇතිකර ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය කෙරෙහි සතිය, සිහිය ඇතිකර ගන්න. කුසලය, අකුසලය කෙරෙහි සතිය, සිහිය ඇතිකර ගන්න. සම්මා දිට්ඨිය කෙරෙහි සතිය, සිහිය ඇතිකර ගන්න. සතිය, සිහිය ඇතිකරගෙන දුක්ඛ සත්‍යය දුක හැටියට දකින්න, සුන්දර ධර්මයක්. සුන්දර ධර්මයක්.
ලෝකය ගිනි ගන්නවා. ලෝකය ගිනි ගන්න එක වළක්වන්න බැහැ. ඇස නිරතුරුව ගිනි ගන්නවා. කණ නිරතුරුව ගිනි ගන්නවා. නාසය නිරතුරුව ගිනි ගන්නවා. මේ ගිනි ගන්නා වූ ලෝකය, පංච උපාදානස්කන්ධ ලෝකය නවත්වන්න බුදුරජාණන් වහන්සේටත් බැහැ අනුන්ගේ. ඒ නිසා ලෝකය ගිනි ගන්නවා. ඒක වළක්වන්න බෑ. කුසලය සහ අකුසලය විසින් ලෝකය ගිනි ගන්වනවා. අවිද්‍යාව විසින් ලෝකය ගිනි ගන්වනවා. ඒ නිසා ගිනි ගන්නා වූ ලෝකය නිවන්න ඔබට බැහැ. ඒ ගිනි ගන්නා වූ ලෝකය, ගිනි ගන්නා බව අවබෝධ කරගෙන ඔබ නිවෙන්න. ඔබට නිවෙන්නයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කළේ. ඒ චතුරාර්ය සත්‍යයේදි ඔබ දුක්ඛ සත්‍යයයි මේ දකින්නේ.