ස්වාමීන් වහන්ස, ඔබ වහන්නසේ සඳහන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමේදී අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය නැමැති දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුය කියලා. ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද?
සම්මා දිට්ඨියට පිවිසීමට නිවැරදි දොරටුවක් තිබෙනවා. එම දොරටුව තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ දොරටුවෙනුයි සම්මා දිට්ඨියට අවතීර්ණ වෙන්නේ. මෙතන දී කල්‍යාණ මිත්‍රයා කියන්නේ සංසාර භය, සංසාර ගැඹුර කියලා දෙන පින්වතායි. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ධර්ම දේශකයා, ධර්ම කථිකයා කියලා කියන්නේ සංසාර බිය කියලා දෙන පින්වතාය කියලා. යම් පින්වතෙක් ඔබට අනුශාසනා කරනවා නම්, මෛත්‍රී බුදුරජාණන්වහන්සේ දැක නිවන් අවබෝධකොට ගන්න කියලා, එම පින්වතා මිත්‍රයෙක් වෙන්න පුළුවන්, නමුත් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. යම් පින්වතෙක් ඔබට මේ ජීවිතයේ දී උතුම් අධිගමයන් සාක්ෂාත් කොට ගන්න බැහැය කියනවා නම්, ඔහු මිත්‍රයෙක් වෙන්න පූළුවන්. නමුත් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මේ ලෝකයේ දූර්ලභ දෙයක් කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔබට ලැබුණත්, ඒ හේතුවෙන් සද්ධර්මය ශ්‍රවණය කළත්, එම ශ්‍රවණය කළා වු ධර්මය ඔබ නුවණින් මෙනෙහි කිරීමට අදක්ෂ නම්, එතනදී ඔබ දූර්වලයෙක් බවටයි පත්වන්නේ. ලෝකයේ සිටින ලොකුම අවාසනාවන්තයා බවට ඔබ පත්වෙනවා. මොකද දූර්ලභ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා, උතුම් සද්ධර්මය ශ්‍රවණය කරලා, නුවණින් මෙනෙහි කිරීමට ඇති අදක්ෂභාවය නිසාම, ඔබ සම්මා දිට්ඨියට පිවිසීමේ දොරටුවෙන් ඈතට යනවා. මේ නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය ඔබ තුළ සකස්වෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ව-කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් නිසාමයි.
දැන් පින්වත් ඔබට හොඳින් පැහැදිලියි ධර්ම මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමේ ප්‍රධාන දොරටුව සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨියට පිවිසෙන නිවැරදි දොරටුව කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය සහ නුවණින් මෙනෙහි කිරීමයි, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා.
– පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ
අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ විසින් උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව කරන ලද ධර්ම සාකච්ඡාවක් ඇසුරින් දීපිකා බමුණුආරච්චි මහත්මිය විසින් සකස් කරන ලද ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි..