පිංවත් මහත්මයෙක් භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා ‘ස්‌වාමීන් වහන්ස, සතිය සිහිය කියන්නේ කුමක්‌ද..?’ කියලා. පිංවත් ඔබ ආසනයක වාඩිවෙලා, බුදුගුණ භාවනාව මෙනෙහි කරමින් සිටිනවාය කියලා හිතන්න. මොහොතකින් ඔබේ සිත බාහිර අරමුණක් කරා ඇදී යනවා. ඔබ ඇස්‌දෙක පියාගෙන සිටියත්, ඔබේ සිත දැන් තිබෙන්නේ වෙනත් රූපයක් ඔස්‌සේ ඇදී ගිහින්. දැන් ඔබ සිටින්නේ ඇතිකොටගත් සැබෑ අරමුණ කෙරෙහි අසිහියෙන්. තමා අසිහියෙන් සිටින බව දැනගෙන, ඔබ නැවතත් බුදුගුණ භාවනාව සඳහා සිත යොමුකරනවා. භාවනාව කෙරෙහි යොමුකර ගන්නාවූ සිත නැවැත නැවත එම අරමුණ කෙරෙහි තැන්පත් කරගන්නවා. දැන් ඔබ තුළ සතියත්, සිහියත් දෙකම තිබෙනවා.
තවත් පිංවත් මහත්මයෙක් භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා ‘ස්‌වාමීන් වහන්ස ධර්මය, අධර්මය කියන්නේ කුමක්‌ද..?’ කියලා. පිංවත් ඔබ අනිත්‍ය දෙය අනිත්‍යය වශයෙන් දකිනවා නම්, දුක දෙය දුක වශයෙන් දකිනවා නම්, අසුබ දෙය අසුබ වශයෙන් දකිනවා නම්, අනාත්ම දෙය අනාත්ම වශයෙන් දකිනවා නම් එය ධර්මය වෙනවා. පිංවත් ඔබ අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන්, දුක දෙය සැපයක් වශයෙන්, අසුබ දෙය සුබ වශයෙන්, අනාත්ම දෙය ආත්මීය වශයෙන් දකිනවා නම් එය අධර්මය වෙනවා.
යම් පිංවතෙක් භික්‍ෂුවගෙන් ඇසුවහොත් සිංහල බෞද්ධයා කියන්නේ කවරෙක්‌ද කියලා, භික්‍ෂුව මෙහෙම පිළිතුරක් තමයි දෙන්නේ. සැබෑම සිංහල බෞද්ධයා කියන්නේ අන්‍ය ජාතීන්, අන්‍ය ආගමික පිංවතුන්, කායිකව මානසිකව පීඩාවට පත්කරමින් කටයුතු කරන ජාතිවාදියෙක් නොවේ. ඒ වගේමයි ‘සිංහල ජාතිය, බෞද්ධකම තිබුණාය කියලා බඩපිරෙනවද..?’ කියමින් ජාතිය, බෞද්ධකම දෙවැනි තැනට දමා, ධනය බලය පසුපස හඹායන ජාති ද්‍රෝහියෙක්‌ද නොවේ. සැබෑම සිංහල බෞද්ධයා යනු, සම්මා දිට්‌ඨියෙන් පරිපූර්ණවූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන පිංවතායි. තමනුත් සම්මා දිට්‌ඨියෙන් භවගමනේ ආරක්‍ෂාවී, මෙලොව පරලොව සැපයන් සාක්‍ෂාත්කොටගෙන අනුනට මෙලොව, පරලොව සැපයන් ආරක්‍ෂාකරදීමට අවශ්‍ය උපකාරක ධර්මයන් සලසන පිංවතායි.
සිංහල අලුත් අවුරුද්දක් ළඟ ළඟම පැමිණෙන මොහොතේ පිංවත් ඔබට සතිය සිහිය ගැනත්, ධර්මය අධර්මය ගැනත්, සැබෑම සිංහල බෞද්ධයා යන අර්ථය ගැනත් සටහනක් තැබුවේ, සතියෙන් සිහියෙන් තොරව, අධර්මය පසුපස යමින්, සිංහල බෞද්ධකමේ අර්ථයන් මුවහත් කිරීමට අසාර්ථක උත්සහයක යෙදෙන සමාජය ගැන කරුණාවෙන්මයි..!
තෙරුවන් සරණයි…!!!
අති පුජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…