සතිය තුළත් තෘෂ්ණාව සැඟවිලා තියෙනවා.

උතුම් සමාධිය තුළදිත්, සමාධියෙන් බැහැරවත් තමන්ට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම විනිවිද දකින්න. ඒ හැකියාව ඔබ තුළින්ම ඔබ මතුකරගත යුතුයි. පිංවත්, ශීලයෙන් පරිපුර්ණ ඔබ තුළ විදර්ශණාව වැඩෙන්නෙ නැහැ කියන්නේ රූපය විනිවිද දැකීමේ ශක්‌තිය හීනයි කියන කාරණයයි. පිංවත් ඔබට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම මළකඳක්‌ කර දකින්න. කුණුවෙන මළසිරුරක්‌ සේ දකින්න. ඇටසැකිල්ලක්‌ කර දකින්න. කිසිදු රූපයක්‌ විනිවිද දැකීමෙන් තොරව මතුව යන්න දෙන්න එපා. මෙවැනි අවස්‌ථාවක ඔබේ සිත මන්දගාමී වෙනවා. එවිට ඔබ, ඔබේ රූපය මළකඳක්‌, ඇටසැකිල්ලක්‌ කොට දකින්න. ඉහත මන්දගාමී ස්‌වභාවයට ඔබ රැවටෙන්න එපා.

විදර්ශනාව වැඩෙනවිට හේතුඵළ ධර්මයන් නිසාම සකස්‌වෙන සප්තබොජ්ඣංග ධර්මයන් ගැන අපි අවධාණයෙන් සිටිය යුතුයි. මොකද සප්තබොජ්ඣංග ධර්මයන්ට අපි සමහරවිටක අවබෝධය යැයි රැවටෙනවා. ප්‍රිතීය, පස්‌සද්ධිය, සමාධිය, උපේක්‍ෂාව කියන ධර්මතාවයන් විදර්ශකයාට මර උගුලක්‌ වෙන අවස්‌ථා තිබෙනවා. එම නිසාම සප්තබොජ්ඣංග ධර්මයන් වන සති, ධම්මවිජය, වීර්යයා, ප්‍රිතීය, පස්‌සද්ධිය, සමාධි, උපේක්‍ෂා කියන ධර්මතාවයන් අනිත්‍ය භාවයෙන් දකින්න අපි දක්‍ෂවෙන්න ඕන. අපි, මේ ගමන යද්දී කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්‌ඨාන ධර්මයන් අනිත්‍යයයි කියල අවබෝධ කරගන්න ඕන. සතර සතිපට්‌ඨාන ධර්මයන් වැඩීම නිසා ඔබ තුළ සකස්‌වෙන ඒ සප්තබොජ්ඣංග ධර්මයන්ද අනිත්‍යයයි කියළ අවබෝධකරගන්න ඕන.

සතරසතිපට්‌ඨාන ධර්මයනුත් සප්තබොජ්ඣංග ධර්මයනුත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී ඔබ අවසානයේ අවබෝධකර ඇත්තේ පංච උපාදානස්‌කන්ධය අනිත්‍යයි කියන ධර්මයතාවයයි. සතිය තුළින්ම ධර්මයේ අර්ථය වන අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයට සප්තබොජ්ඣංග ධර්මයන් විනිවිද දකින්න. සතියෙන් අනිත්‍යභාවය දකිමිනුයි අපි සතිය තුළ පිහිටන්න ඕනේ. මොකද, සතිය තුළින් තෘෂ්ණාව සැඟවිලා තිබෙනවා. තෘෂ්ණාවෙන් තොර සම්මා සතියයි අපිට වැදගත් වෙන්නේ. සතියේත් අනිත්‍යභාවය විනිවිද දැක සම්මා සතිය ඇතිකරගන්න. ලෝකයා ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩිමින් ඉදිරියට යනවිට පිංවත් ඔබ නවතින්න. ඔබ නවතින්නේ විදර්ශණා නුවනින් ලෝකය දකිමින්. විදර්ශණා නුවනට පුළුවන් ලෝකය ඔබ අභියස නවත්වන්න.

වර්තමානයේ ලොකු ප්‍රවනතාවයක්‌ තිබෙනවා. සප්තබොජ්ඣංග ධර්මයන් අවබෝධයක්‌ කරගෙන සප්තබොජ්ඣංග ධර්මයන් වඩවා ගැනීම තමයි භාවනාවෙන් එකම බලාපොරොත්තුව වෙන්නේ. හුඟදෙනෙක්‌ සප්තබොජ්ඣංග ධර්මයන් තුළින් පමණක්‌ තෘප්තිමත්වෙනවා. වෙනස්‌වන දෙයක්‌ කෙරෙහි අපි බැඳී ගියොත් එතන දුකමයි සකස්‌ වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සප්තබොජ්ඣංග ධර්මයන් හුඟාක්‌ වර්ණනා කරනවා. නමුත් උතුම් නිවන් අවබෝධය වළක්‌වන අවසාන මාරධර්මය බවට පත්වෙන්නේ සප්තබොජ්ඣංග ධර්මයන්මයි. නමුත් මේ සප්තබොජ්ඣංග ධර්මයන්මයි ධර්මයේ උතුම් ශක්‌තිය අප තුළට කාන්දුකරවන්නේ. ධර්මයේ වෙනස්‌වන ප්‍රතිභාවයන් අප තුළට ලබාදෙන්නේ. සප්තබොජ්ඣංග ධර්මයන් හොඳින් වැඩෙනවිට ඇතිවන සංසිදීමට, නිවන යැයි රුවටුන පිංවතුන්ලා භික්‍ෂුවට මුණගැසී තිබෙනවා. සප්තබොජ්ඣංග ධර්ම තුළින් ඒ අයගේ කෙලෙස්‌ යටපත්කොටයි තිබෙන්නේ. මුලින් උපුටලා දමලා නැහැ. තමන් තුළ කෙලෙස්‌ ධර්මයන් මතුවීමට ඉඩනොදී සප්තබොජ්ඣංග ධර්මයන් තුළම ඒ පිංවතුන් වාසය කරනවා. අවසාන මාර බන්ධනය විදර්ශණා නුවනින් දකින්න දක්‍ෂනැහැ.

මේ උතුම් නිවන් මාර්ගයේදී සතරසතිපට්‌ඨාණ ධර්මයන් අනිත්‍යයි කියලා දකිනවා වගේම සප්තබොජ්ඣංග ධර්මයන් අනිත්‍යයයි කියලා දකිනවා වගේම නිවන කියන කාරණයත් අනිත්‍යයි කියල දකින්න විදර්ශකයා දක්‍ෂවෙන්න ඕනේ. නිවනට බැඳී ගියොත් අපි එතැනදීත් පංචඋපාදනස්‌කන්ධයට බැඳී ගියා වෙනවා. සියුම් ගමනක්‌, කලබලයකින් තොරව ඔබට යන්න තිබෙන්නේ. නිවන් මාර්ගයේදී එක්‌ සන්ධිස්‌ථානයක්‌ එනවා තෙරුවන් කෙරෙහි අචල විශ්වාසයෙන් ජීවිතය මරණයට දැමිය යුතු අවස්‌ථාවක්‌. ජීවිතය මරණයට දැම්මාය කියන්නේ පංචඋපාදානස්‌කන්ධය අතහැරුනාය කියන කාරණයයි. රූපය කෙරෙහි වේදනාව, සංඥාව, චේතනාව, විඤ්ඤාණය කෙරෙහි තෘෂ්ණාව අතහැරුනාය කියන කාරණයයි. ජීවිතය මරණයට දමලයි අපි කවදහරි ඉපදීමත් මරණයත් දෙකම අවසන් කරගත යුත්තේ.

තෙරුවන් සරණයි …!!!

~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~