ශීලය ගැනම හිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරුපවුලට යන කලදසාව මොකක් ද?

එක පිංවත් පවුලක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවා ‘හාමුදුරුවනේ අපි ශීලය ගැනම සිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරු පවුලට සහ කලදසාව, ඒ ගොල්ලන්ගේ අනාගතය අඳුරු වෙනවා නේද කියලා. බලන්න ඒ මහත්මයා ධර්මය මොනතරම් වැරදි අන්තයකින් ද අල්ලාගෙන ඉන්නෙ කියළා. තමන් ජීවත්වීමට නොදන්නාකමින් ඇතිවන ආදීනව ධර්මයේ ගිණුමට බැරකරනවා. ශ්‍රද්ධාව අඩුකම, විචිකිච්චාවෙන් සිතුවිලි. පිරිලා, පංචනීවරණයන්ගෙන් සිත වැඩිලා. ඒ මහත්මයා ශීලය ගැන අනිත්‍යය ගැන කතා කළත්, අවම වශයෙන් ශීලය තුළවත් ඔහු නැතිය කියන එක ඉහත කාරණයන්ගෙන් පැහැදිලි වෙනවා. සෑම පවුලකටම ආදායමක්‌ වියදමක්‌ කියන කාරණයක්‌ තිබෙනවා. කොතෙක්‌ ආදායම් ලැබුවත් වියදම ඊට වැඩිනම් ජීවන ප්‍රශ්න ඇතිවීම අනිවාර්යයි. මෙය ධර්මයේ වරදක්‌, ශීලයේ, අනිත්‍ය සංඥාවේ වරදක්‌ නොවේ. එම මහත්මයා ලැබීමේ තරමට වියදම් කිරීමට නොදන්නා කමේ වරදයි. නමුත් අශ්‍රද්ධාව නිසා එම වරද පටවන්නේත් ධර්මයට. මුළින්ම පිංවත් ඔබ අවංක වෙන්න, ධර්මයෙන් තොරව ජීවත් වෙමින් ඔබ විඳින දුක නුවනින් දකින්න. දුක දකින කෙනායි සැප ඇති මාර්ගයට අවතීර්ණ වෙන්නේ. දුකය කියමින් ධර්මයට ඔබ ද්වේශ කළොත්, සැක කළොත් ඔබට අහිමිවන්නේ සැබෑම සැපයයි.

අවංකව ධර්ම මාර්ගයේ ගමන් කරන කිසිම කෙනෙකුට ‘මට වැරදුනාය’ කියල කියන්න තැනක්‌ නැහැ. අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් යම් තැනකදී වැරදුනොත් එය හේතුඵල ධර්මයන්ට අනුව ජයග්‍රාහීව ජීවිතයට ගලපාගන්නවා. මෙය තමයි ශ්‍රද්ධාව නැමති පරම ධනයේ ලක්‍ෂණය. මෙන්න මේ ධනයේ හිමිකාරීත්වය මුලින්ම ඔබට ලබාගැනීම සඳහාමයි මේ සටහන තැබුවේ. මේ ධනයේ හිමිකාරීත්වය මුලින්ම ඔබ අයිතිකරගන්න. එවිට රුපියල්, ශත ඔබේ ජීවිතයේ දෙවැනි තැනට වැටේවි. ශ්‍රද්ධාව ඇති පුද්ගලයාට ජීවිතය කියන කාරණයේදීත් මරණය කියන කාරණයේදීත් ජයග්‍රාහී අවසානයක්‌මයි ලැබෙන්නේ. එම නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දුක ගැන කථාකරන දහමක්‌ නොව දුක අභිබවා සැප අයිතිකරගන්නා දහමක්‌. අවශ්‍යනම් දුකත් සැපත් දෙකින්ම මිදීයන දහමක්‌.