ප්‍රශ්නය :-
ඉතින් ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සෝවාන් වෙන්න, සෝවාන් ඵලයට පත් වෙන්න කාරණා, හතරක් සම්පූර්ණ කරගන්න කියලා. සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, කළ්‍යාණ මිත්‍ර සේවනය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට මේ සද්ධම්ම ශ්‍රවණය කියන එක අපි ඉස්සෙල්ලාම කියනවා සුනාථ කියලා. බුදුරජාණන් වහන්සේ හොඳට අහන්න කියනවා. ඊට පස්සේ ධාරේථ කියනවා. ඒ කියන්නේ හොඳට දරන්න කියනවා. ඊටපස්සේ කියනවා චරාථ කියලා. ඒ කියන්නේ හොඳට හැසිරෙන්න කියලා. එතකොට අපි මේ සුනාථ කියන කාරණය දැන ගන්නේ නැතිව අපට ධාරේථ කියන කාරණයට එන්න බෑ, නේද ස්වාමීන් වහන්ස..?
(සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.)
පිළිතුර:
මෙහෙමනේ ස්වාමීන් වහන්ස ඕක වුණේ. මම පැවිදි වෙන්නේ අවුරුදු හතලිස් හතරේදිනේ. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා අවුරුදු පහේම හාමුදුරුවරු විසිතුන් නමක් ඉන්න ගමේ මහ පන්සලේ දායක සභාවේ සභාපති. මගේ ජීවිතයේ මම තරම් බණ අහල නෑ වෙන කෙනෙක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස ඕව පරිපූර්ණ කරලා ආවේ. නමුත් සූත්‍ර කියවලා තිබ්බේ නැහැ. මම ආශ්‍රය කළේ පන්සල් ස්වාමීන් වහන්සේලා. එතකොට පන්සල් ස්වාමීන් වහන්සේලා නිසා මම විනය කියන කාරණය එච්චර දැනගෙන හිටියෙත් නැහැ. ඒකයි මම කිවුවේ මම ඒ ගිහි ජීවිතය තුළ ස්වාමීන් වහන්ස, මම පැවිදි වෙලා කරන්න තියෙන සියල්ලම මම ගිහි ජීවිතය තුළ කළා. මගේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේව මුළු අවුරුද්දක් මම දවසක් ඇර දවසක් නාවල තියෙනවා. සිවුරු හෝදලා, පිරිකර හෝදලා ගිහියෙක් හැටියට. ඒ කියන්නේ ඒ සා දේවල් කරලා ඒ සියල්ල ලැබුවා ස්වාමීන් වහන්ස. මම අතහැරීම කියන කාරණය මම වචනේ කියන්නේ ස්වාමීන් වහන්ස අත්හරින්න නම් යමක් අපට තියෙන්න ඕන. එහෙනම් මම ඒවා අහලා තියෙනවා. සද්ධර්මය ශ්‍රවණය කරලා තියෙනවා. නුවණින් මෙනෙහි කරලා තියෙනවා. ඔබ වහන්සේ කියපු සියල්ලම මා තුළ තිබ්බා. තිබ්බ නිසයි අත්හැරීම කියන වචනය මම පාවිච්චි කරන්නේ, ස්වාමීන් වහන්ස. ඒවා තිබ්බේ නැත්නම් මට අත්හැරීම කියන කාරණය පාවිච්චි කරන්න බෑ ස්වාමීන් වහන්ස. එතනයි ඒ වාසිය තිබ්බේ.
ඔබ වහන්සේ කියන දේ මම පිළිගන්නවා. කිසි සැකයක් නෑ. නමුත් ස්වාමීන් වහන්ස මම තනියම බණ කියලා තියෙනවා. මම සමහරදාට රෑට ගෙදර කවුරුත් නැතිව තනි වෙද්දී මම පැයක් විතර තනියම බණ කියනවා. මම පානදුරේ අරියධම්ම, කොළොන්නාවේ සුමංගල ආදී ස්වාමීන් වහන්සේලාගේ පින්කම් වලට අප්‍රමාණ මම ගිහිල්ලා තියෙනවා. ඕව කරලා කරලා කරලා අවසානේ කරන්න දෙයක් නැති වෙච්ච තැනයි, දැන් මේ තමයි සුදුසු වෙලාව කියලා මම එළියට ආවේ. පැවිදි වෙන්න කියලා මම ගියේ මට අවුරුදු විසිහතරෙදි ස්වාමීන් වහන්ස. ඔය තපෝවනයේ නායක ස්වාමීන් වහන්සේ ළඟ. අද ඉන්න නායක ස්වාමීන් වහන්සේ. උන් වහන්සේ ළඟ මම දවස් දහයක් දසසිල් වෙලා හිටියා. නමුත් දවස් දහයක් දසසිල් වෙලා ඉද්දී මට තේරුණා මම පැවිද්දට තාම සුදුසු නෑ කියලා. මොකද ඒ තරම් රාග සිත්, ඒ තරම් ද්වේෂ සිත් මා තුළ තිබ්බා. ලෝභ කම විතරයි නැතිවුණේ. රාගය, ද්වේෂය මගේ තිබ්බ තරම් ස්වාමීන් වහන්ස, මම හිතන්නේ නෑ මෙතන ඉන් කාගේ තුළවත් තියෙන්න ඇති කියල. මම ඒ රාගය, ද්වේෂය භාවනාවෙන් යටපත් කරන්න බෑ කියලා මම එදා දැන ගත්තා ස්වාමීන් වහන්ස. ඒ නිසා දවස් දහයක් දසසිල් වෙලා ඉඳලා එළියට ඇවිල්ලා අත් විඳිමින්, අත්දකිමින් මයි මම අවබෝධය කියන කාරණය සකස් කර ගත්තේ ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ හැමදේකම අත් දැක්කා. මට ආහාරයක් රසයක් ආව නම් ඒක කාල මයි ස්වාමීන් වහන්ස මම ඒක සුදුසු නෑ, මේක අනිත්‍යයි කියලා දැක්කේ. ඒ නිදහස මට තිබ්බ, ගිහි කෙනෙක් හැටියට.
නමුත් මම එදා අවුරුදු විසිහතරේදි පැවිදි වුණා නම් මට ඒ නිදහස එතන නෑ ස්වාමීන් වහන්ස. එහෙනම් මම අද අසාර්ථක භික්ෂුවක්. ඒ නිසා මම මෙතනදී බුද්ධිමත් වුණා. මොකක්දෝ ශක්තියක් මේක තේරුම් ගන්න ඉවක් මට කොතනක හෝ මට තිබ්බ ස්වාමීන් වහන්ස. ඒ නිසා ඒ කර ගත්තා වූ දේ තුළ අනිවාර්යයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරමින්, අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා. ඒ පන්සල් ආශ්‍රය කරලා සමාජ සේවය ඔය හැම දෙයක්ම අත් දැැකීම් තුළින් තමයි මම මේ ජීවිතය පෝෂණය කරගත්තේ. ඒ නිසා ඒ තිබ්බ දේයි ස්වාමීන් වහන්ස අත්හැරීම කියලා මම කියන්නේ හැම වෙලාවෙම. නොතිබ්බ දෙයකට අතහරිනවා කියන වචනේ අපට පාවිච්චි කරන්න බැහැ. ඒ කියන්නේ දැනුම තිබ්බ නිසයි අත හැරියේ. දැනුම අත හැරියා කියලා මට දැනුම නැති වුණේ නැහැ ස්වාමීන් වහන්ස. දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවයි මම අත හැරියේ. දැනුම තියෙනවා මා තුළ. දැනුම තියෙනවා. එදා තිබ්බ දැනුම තියෙනවා, අදත් ඒත් දැනුම කෙරෙහි තෘෂ්ණාව නැහැ. නමුත් මම කියනවා දැනුම අත හරින්න ඕන කියලා. දැනුම අත හැරිච්ච තැනයි ප්‍රඥාව සකස් වෙන්නේ කියලා. දැනුම අත හරිනවා කියන්නේ දැනුම මකලා දානවා නෙවෙයි. දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අත හැරෙන්න ඕන ස්වාමීන් වහන්ස. තෘෂ්ණාව අත හැරෙන කොට දැනුම මා තුළ තියෙනවා. දැනුමෙන් තොරව කවදාක්වත් ප්‍රඥාවක් ලබන්න බැහැ. දැනුම අත්‍යවශ්‍යයි. දැනුම මයි ප්‍රඥාව කරා අපිව අරන් යන්නේ. නමුත් දැනුම උපාදානය කරගන්න තාක් කල් ප්‍රඥාව කියන කාරණය අපි තුළට එන්නේ නෑ ස්වාමීන් වහන්ස. දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි මිදෙන්න ඕන. එහෙනම් දැනුම තිබ්බා. තිබ්බාට දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අපි අත හැරියේ ස්වාමීන් වහන්ස. අත හැරිච්ව තැනයි ස්වාමීන් වහන්ස ප්‍රඥාව කියන කාරණය අප තුළින් මෝදු වුණේ.
අතුරු ප්‍රශ්නය:
එතකොට අර කාරණයක් කියවුණා අත් විඳිමින් අත් දකිමින් කියලා. අපි කියමු දැන් භික්ෂුවක් ඉන්නවා, තරුණ භික්ෂුවක්. ඒ භික්ෂුවට රාග හිතක් ඇති වෙනවා. එතකොට එයා කොහොමද ඒ අත්විඳිමින් අත් දකින්නේ.?
පිළිතුර:
නෑ නෑ. මේ භික්ෂුවකට නෙවෙයි මම කිවුවේ ස්වාමීන් වහන්ස.මගේ ගිහිකාලේ ගැනයි මම කිවුවේ. සමාවෙන්න. ඒක භික්ෂූන් වහන්සේ කෙනෙකුට ආදේශ කරන්න බැහැ. මට ඒ උපක්‍රම ශීලි භාවයක් කොහොම හරි මතු වුණා. භික්ෂුවකට ඒක ආදේශ කරන්න බැහැ ස්වාමීන් වහන්ස.
අතුරු ප්‍රශ්නය:
ඒ වගේ වෙලාවකදී අපි භික්ෂුවක් වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ප්‍රායෝගිකත්වයට යොදා ගන්නේ කොහොමද..?
පිළිතුර:
එහෙම ස්වාමීන් වහන්ස අපට මේ ජීවිතයේ අපි කරන්නා වූ පින් කුසල් තුළින් විතරක් අපට මේ මාර්ගය මතුකර ගන්න බැහැ ස්වාමීන් වහන්ස. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මගේ ජීවිතයේ මම යම් තැනක් මතු කර ගත්ත නම් පුංචි හරි, ඒ මතු කර ගත්තේ ස්වාමීන් වහන්ස, මේ ජීවිතයේ කළා වූ පින්කම් තුළින් විතරක් නෙවෙයි. අපේ සංසාරේ ස්වාමීන් වහන්ස, අප්‍රමාණ විපාක නොදුන් කුසල් තියෙනවා ස්වාමීන් වහන්ස. අපි සමහර සම්බුද්ධ ශාසනවල අවුරුදු විසිදාහක්, තිස්දාහක්, හතලිස්දාහක්, හැටදාහක් ආයුෂ විඳලා තියෙනවා. අපි හිතමු අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා හිටිය කියලා. පරමායුෂ අවුරුදු විසිදාහයි. ඒ අවුරුදු විසිදාහම පින්කම් කළා. නමුත් සෝවාන් ඵලයට පත් වුණේ නෑ. නමුත් ‘උපාදාන පච්චයා භවෝ’ කියන ධර්මතාවය යටතේ ස්වාමීන් වහන්ස මැරෙන වෙලාවේ අපට සකස් වුණේ ද්වේෂ සහගත සිතක් නම් අපි ගිහිල්ලා සතර අපායට වැටෙනවා. වැටුණහම අවුරුදු විසිදාහක් කළා වූ කුසල් වලට විපාක දෙන්න ක්‍රමයක් නෑ ස්වාමීන් වහන්ස. ඒවගේ විපාක නොදුන් කුසල් සහ විපාක නොදුන් අකුසල් අප්‍රමාණව සංසාරයේ තියෙනවා ස්වාමීන් වහන්ස. මේක මතුකරලා දෙන්නේ ශ්‍රද්ධාව විසින්. ශ්‍රද්ධාවෙන් තොරව මේක මතු කර ගන්න බෑ ස්වාමීන් වහන්ස.
එතකොට මේ විපාක නොදුන් කුසල් අපි මතු කර ගන්නෙ ස්වාමීන් වහන්ස, මේ ජීවිතයේ කරන්නා වූ කුසල් තුළින්. මේ ජීවිතයේ කරන්නා වූ පින තුළින්. අපි පන්සල් වලට ගිහිල්ලා, පන්සල් ඇසුරු කරගෙන, සමාජය ඇසුරු කරගෙන, පින්කම් කරද්දී, සමාජ සේවය කරද්දී, ස්වාමීන් වහන්ස, අපට හිතා ගන්න බැරි විදිහට අතීත කුසල් මතුවෙලා ආව ස්වාමීන් වහන්ස. එදා මේක දැනගෙන හිටියේ නෑ, දැන් නුවණින් මෙනෙහි කරන කොටයි දකින්නේ මොකක්ද මේ වුණේ කියන කාරණය. එතනදී අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපි දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්ස, අපේ සැඟවුණා වූ අතීත කුසල්, විපාක නොදුන්නා වූ අතීත කුසල් මතු කරල ගන්න. අපි සංසාරයේ පැවිදි උපසම්පදාවන් ලබල, අප්‍රමාණ අවුරුදු දහ දහස් ගණන් විසිදහස් ගණන් සම්බුද්ධ ශාසනවල ඉඳල තියෙනවා ස්වාමීන් වහන්ස. නමුත් අපි සෝවාන් ඵලයට පත් වුණේ නෑ. අවසානේ සකස් වුණ චුති සිත නිසා අපි සතර අපායන්ට වැටිල තියෙනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන නුවණින් මේ අතීත සංස්කාර මතුකරල ගන්න. එතකොට පැවිදි ස්වාමීන් වහන්සේලා පැවිදි පක්ෂය හැටියට අපිට ස්වාමීන් වහන්ස, පින්කම් කරන්න පුළුවන් කමක් නෑ ගිහි අය එක්ක එක්කහු වෙලා. ගිහි අයත් එක්ක එක්කහු වෙලා පින්කම් කරන්න ගියොත් එහෙම අපි ශීලයෙන් දුර්වල භාවයට පත් වෙනවා. එහෙනම් පැවිදි කෙනා පින මතු කරල ගන්නේ වත තුළින් මයි ස්වාමීන් වහන්ස. වත තුළින් මයි අපි මේක මතුකරලා ගන්න ඕන. අත් විඳිමින් අත් දකිමින් කියන කාරණයේ වත තමයි පැවිදි ස්වාමීන් වහන්සේලාට මේක මතුකරලා ගන්න තියෙන තැන.
වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කිරීම, වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වන්දනා කිරීම, වැසිකිළි, කැසිකිළි, දාන ශාලා, ශුද්ධ පවිත්‍ර කිරීම, පඩික්කම් සේදීම, මළු අතුපතු ගෑම, සිවුරු පඬු කිරීම, පාත්‍ර කලු කිරීම, සංඝයා උදෙසා කළ යුතු යුතුකම් ඉටුකිරීම. මේවා තුළින් තමයි අපි අතීත කුසල් මතු කර ගන්න ඕන ස්වාමීන් වහන්ස. මෙතන තමයි අපට තියෙන්නේ. අපට රාග සිතක් මතු වෙන කොට අපි වත තුළයි ශක්තිමත් වෙන්න ඕනෑ. වත තුළ ශක්තිමත් වෙලා එතන තියෙන්නා වූ අවස්ථාව අපි මෙතනට ලබලා දෙන්න ඕන. ඒ නිසා පැවිදි පක්ෂයට අතීතයේ කුසල් මතුකර ගන්න තියෙන එකම මාර්ගය තමයි ස්වාමීන් වහන්ස වත. වතෙන් තොරව කවදාක්වත් අපට මේ ගමන යන්න බෑ. අපි දක්ෂ නැත්නම් අපි කැමති නැත්නම් කවදාක්වත් පඩික්කමක් හෝදන්න, අපි විදර්ශනාව ගැන කතා කරන්න ඉක්මන් විය යුතු නෑ ස්වාමීන් වහන්ස. අපට බැරි නම් දාන ශාලාව අතුගාන්න, අපට බැරි නම් මිදුලක් අතුගාන්න ස්වාමීන් වහන්ස, අපි විදර්ශනාව ගැන කතා කරන්න ඉක්මන් විය යුතු නෑ. මොකද එතන තමයි මුල. එතන තමයි අංක එක ස්වාමීන් වහන්ස. ඒ තුළින් අපට පුළුවන් පැවිදි පක්ෂයට අප්‍රමාණ කුසල් ශක්තිය මතු කරලා ගන්න, ස්වාමීන් වහන්ස. එතනින් තමයි අපි මේක මතු කරලා ගන්න ඕන. අපේ ජීවිතයේ. මගේ ජීවිතයේ මම එහෙමයි මතු කරලා ගත්තේ. පැවිදි ජීවිතයේ මුල් කාලයේදී, ආරණ්‍යයක හිටියොත් මම තෝර ගන්නේ පඩික්කම් හේදීම මයි. කවුරු හිටියත් මම තමයි වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ පඩික්කම් හේදුවේ. වැසිකිළි හෝදන්න මම පුදුමාකර ආසාවක් තිබ්බේ. ඒ නිසා ඒවා තුළින්ම තමයි අපි නිහතමානිකම කියන දේ ඇතිකර ගත්තේ ස්වාමීන් වහන්ස.
එහෙනම් නිකම් ආපු ගමනක් නෙවෙයි. එහෙනම් වත කියන කාරණය අත්‍යවශ්‍ය ස්වාමීන් වහන්ස, මේ නිවන් මාර්ගය තුළ ශක්තිමත්ව ඉස්සරහට යන්න. වතෙන් දුර්වල වුණොත් අපට කවදාක්වත් නිවන් මාර්ගය ගැන ඉස්සරහට හිතන්න බෑ. අපි භාවනා කරනවා, අපි විදර්ශනා වඩනවා කියලා අපි වතෙන් දුර්වල වෙනව නම් කවදාක්වත් එයාට ඒ ගමන යන්න බෑ. මොකද එයා විදර්ශනාව තුළ ඉන්නවා නම් වතෙන් කවදාක්වත් දුර්වල වෙන්නේ නෑ. මොකද ඒක එක මාර්ගයක් මයි…!!!
(මෙම සාකච්ඡාව අවසන් වන තුරු සියළුම ප්‍රශ්න විමසන ලද්දේ සාකච්ඡාවට සහභාගී වූ පින්වත් ස්වාමීන් වහන්සේලා විසිනි.)
තෙරුවන් සරණයි…!!!
උපුටා ගැනීම – මහ රහතුන් වැඩිමග ඔස්සේ,
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ
ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණවර්ධන මහත්මිය විසින් සම්පාදනය කරන ලද මෙම දහම් පොත කොටස් වශයෙන් මෙම පිටුව ඔස්සේ, ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමු..!