පරිසරය ඝෝෂාකාරී වෙන්න වෙන්න තමන්ගේ සිතේ නිහඬභාවය හොදින් දැනෙනවා, පෙනෙනවා. පුපුරන රතිඤ්ඤා හඬින් දෙදරුම්කන පරිසරය, නිහඬ සිතින් අත්දකිද්දි අවිද්‍යාවේ ඝෝෂාවත්, විද්‍යාවේ නිහඬතාවයත් සක්‌සුදක් සේ පැහැදිලි වෙනවා. අර්ථවත් වෙනවා. එවිට දුකක්, සැපක් නොවේ සිතට දැනෙන්නේ. අවදානමෙන් මිදුණාවූ නිදහසේ සුවයයි. මෙවන් අසිරිමත් මාර්ගයක් පිංවත් ඔබේ ඇස්‌පනාපිට තිබියදී ශිලයේ, සමාධියේ, ප්‍රඥාවේ උතුම් නිහඬතාවයේ අර්ථය රතිඤ්ඤාවේ හඬින් විනාශකොට දමනවා.
පිංවත් ඔබ කල්පනා කරන්න වසර සුබ වෙන්න කියලා. ඔබ කොතෙක් රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා තිබෙනවාද? දවසින් දවස ක්‍රෝධය, වෛරය, දුෂ්ශීලභාවය මහා වේගයකිනුයි සමාජයේ ඉහළ යන්නේ. රතිඤ්ඤා පිපුරුම්හඬේ දෝංකාරය යම් සේ වේගවත්ද දුෂ්ශීලභාවයේ වර්ධනයත් සමාජය තුළ වේගවත් වෙලා. ශ්‍රාවකයා ශාස්‌තෘන්වහන්සේ හඳුනන්නේ නැහැ. ගෝලයා ගුරුවරයා හඳුනන්නේ නැහැ. දරුවන් දෙමාපියන් හඳුනන්නේ නැහැ. පාලකයා ඇත්ත යුක්‌තිය හඳුනන්නේ නැහැ. පිරිහිමේ දෙසටමයි සමාජය ගමන් කරන්නේ. ඒ කියන්නේ කොතෙක් රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා නැහැ. කොහොමද වසර සුබවෙන්නෙ මනුෂ්‍යයා විසින් මොනතරම් අකුසල් කන්දරාවක් සිදුකරගෙනද? මොනතරම් සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුකරගෙනද? වසරක් උදාවෙන්නේ.
රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්, ගල්, මනුශ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය.ඒ ලෝකය තුළ ඔබ නිවැරුදි කරුවෙක් බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොනතරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද?මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විදින්නාවු පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්‌වෙන්නාවූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටුපඬුරක් සේ ලෝකයාට ලැබෙනවා. ගස්‌වල වැඩසිටින රුක් දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස් මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස් වෙනවා. මේ ද්වේශයත් නව වසරක් උදාවෙද්දී ඔබ ලබන අසුබ පලිදැරීමක්‌මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක් නම් සිටිනවාද? මරබයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය,වෛරය සකස් වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ පඬුරක්‌මයි. රතිඤ්ඤා කරලක් පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්‌සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස් මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්‌වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ නොසතුටු පඬුරක්‌මය. ගස්‌වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම් කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන්සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත්තුළ සකස්‌වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ අසතුටු පඬුරක්‌මය.
ඉහත කොටස් අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්‌වන්නාවූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක් උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක් ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ චේතනාවක් ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක් සේ නොව, අසුබ වියරු අඳෝනාවක් සේ වායු ගෝලයට එකතුවනවා නියතය. බියෙන්, වෛරී ෙච්තනාවන් සකස් කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතුවූ රතිඤ්ඤා පත්තුකළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්‌කොට ගැනීමේ ස්‌වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්‌වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැඟව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යාසහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා, දුක කරා රැගෙන යනවාද කියලා.
රතිඤ්ඤා පත්තුකිරීමෙන් සතුනට මරණීය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් ෙච්තනාවක් සකස්‌වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක් සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස් කරගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුරගමනකට වැටෙන්න ඉඩ තිබෙනවාද.
අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාන හිමි.
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.