භික්ෂුව වැඩ සිටින වනවාසී පරිසරයේ කොවුලෙකුගේ මිහිරි නාදයක් නොඇසුණ, එහෙත් ආරණ්‍යයට පිවිසෙන මහපාර අද්දර එරබදු මල් ගසේ ලස්සනට මල් පීදුන තවත් සිංහල අලුත් අවුරුද්දක් ගෙවී ගියා. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද පිංවත් ඔබ සැමට නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ සහ ධර්මයේ අර්ථයන් වැඩේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කළත්, සමාජය දෙසින් ඇසෙන්නේ නම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ට අදාළ කථා ප්‍රවෘත්තීන්මයි. සිංහල බෞද්ධයාගේ ආරක්ෂකයා වන, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිම අනුවණින් කනපිට පෙරලත්දි, අපි සප්ත බොජ්ඣඬ්ඟයන් එපා කියලා සිය කැමැත්තෙන්ම පංච නීවරණයන්ම තුරුල් කොට ගනිත්දි මේ උතුම් සිංහලකම, බෞද්ධකම මේ තරමින්වත් අපේ සමාජයේ ආරක්ෂා වී තිබීම ගැන අපි අතිශය සතුටු වෙන්න ඕනේ. ඒත් ඒ සතුට අපි තව කොතෙක් කලක් නම් අත්විඳින්න ද?
බලයට කෑදර පක්ෂ සහ විපක්ෂ පිංවත් මනුෂ්‍යයෝ පංච උපාදානස්කන්ධය කෙරෙහි අසීමිත තෘෂ්ණාවෙන් සමාජය පංච නීවරණයන්ගේම ගොදුරක් බවට පත්කරලයි තිබෙන්නේ. අපි හැමෝගේම පංච උපාදානස්කන්ධ ලෝකයන් තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. අපි හැමෝගේම ඵස්සය ඇලීම් සහ ගැටීම් වලින් විසිරිලා. එක පිරිසක් බඩු මිල වැඩියි කියලා කෑ ගසනවා. තව පිරිසක් පොල්තෙල් වලට වස කලවන් කළාය කියලා කෑ ගසනවා. තවත් පිරිසක් කැලෑ කපනවාය කියලා කෑ ගසනවා. තවත් පිරිසක් පවතින රජය ගෙදර යවන්න කෑ ගසනවා. කාගෙවත් මුවින් බණ පදයක්, මෛත්‍රී චිත්තයක්, තෙරුවන්ගේ ගුණයක් නම් පිටවෙන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියලා මේ කවුරුවත්ම දන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කෙරෙහි තෘෂ්ණාවෙන් තව තවත් දුකම වැඩිකර ගන්නවා.
මේ දුක කොතනකින් නවතී ද? මුදල් ගැනම, බලය ගැනම සිතලා, බඩගෝස්තරය ගැනම සිතලා සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් තොරව සැපය පසුපස හඹා ගිහිල්ලා අවසානයේ අපි කොතනින් නවතී ද? මේ අපි අධි වේගයෙන්, අසිහියෙන්, විසිරුණු සිතින් හඹා යන්නේ සිංහල බෞද්ධකමේ ආරක්ෂකයා වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙලහීන කොට දමන දිශාවකට නේද? අපේ සමාජය තුළ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කොතෙක් නම් දුර්වල ද කියලා කියනවා නම් වර්තමානයේ පාරිභෝගික භාණ්ඩ මිල වැඩිවෙන වේගයට වඩා අතිශය වැඩි වේගයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ මිලත් වැඩිවෙලා. පැයක ධර්ම දේශනාවක් ඉලක්කම් පහක මිලකට, මිල කරන සමාජයක අපි ජීවත් වෙන්නේ. අනාගතයේ අසද්ධාව වර්ධනය කොටගත් පිංවත් ජනතාව, සද්ධර්මයේ මිල වැඩියි කියලත් මහපාරේ උද්ඝෝෂණය කරන්න පුළුවන්. පිංවත් මාතෘ භූමිය ගමන් කරන දිශාව හරිම අනතුරුදායකයි. අධර්මයේ මිල අඩුවෙත්දි, ධර්මයේ මිල වැඩි වෙනවා. සම්මා දිට්ඨියට අදාළ පූර්වාදර්ශයන්, කර්මය කර්මඵල විශ්වාසයට අදාළ පරමාදර්ශයන් වළපල්ලට ගිය සමාජයක පවතින රජයත් ප්‍රශ්න වලට අධර්මයෙන්ම පිළිතුරු සොයන සමාජයක හෙට දවස කුමක් වෙයි ද?
රට තුළ බලය උදෙසා, බඩගෝස්තරය උදෙසා අපි අපිම කුලල් කාගනිත්දි, අසත්පුරුෂ ජාත්‍යන්තරයම එකතු වෙලා මේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කොට දමන්න, රටේ ඒකීයභාවය කෑලි කඩා දමන්න, මොන සා වියරු ප්‍රයත්නයකද යෙදෙන්නේ. අපි, අපේ උතුම් මාතෘ භූමියට අසත්පුරුෂ වෙත්දි, එහි අකුසල් විපාකයන් නිසාම, ජාත්‍යන්තරයත් අපිට අසත්පුරුෂ වෙලා. නැවතීමක්, නිමාවක් නොපෙනෙන විනාශයක් කරා අපි ගමන් කරනවා. මේ උතුම් මාතෘ භූමියේ ජාතීන් අතර සමගිය විනාශකොට දමන්න ජාත්‍යන්තරය කෝටි ගණන් මුදල් වියදම් කරත්දි, අභූත බොරු චෝදනාවන්ගෙන් ලෝකයා නොමග යවත්දි, තවත් පැත්තකින් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය දුර්වලකොට දමන්න, සද්ධර්මයේ නාමයෙන් මිථ්‍යා දෘෂ්ටීන් සමාජගත කරන්න කෝටි ගණනින් සල්ලි විසි කරනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන් උතුම් පැවිදිභාවයට පත් වූ සමහර ස්වාමීන් වහන්සේලාත් මේ විසි කරන මුදල්වල අහිංසක ගොදුරු බවට පත්වෙලා ධර්ම විනය විකෘති කරනවා. පන්සල්, ආරණ්‍යය හෝටල් කරනවා. සියතින් සකසා පූජාකොට ගතයුතු දානය බුෆේ කරනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ චීවරය මිච්ඡා ආජීවයන් වසා ගන්නා තවත් ඇඳුමක් බවට පත්කොට ගන්නවා.
භික්ෂුව, මේ උඩ බලාගෙන කෙළ ගසනවා නොවේ. උඩ බලාගෙන කෙළ ගසන්න එපාය කියලා, නිහතමානීව සමාව, අවසර යදිමින් සිහිපත් කරනවා පමණක්මයි. සංඝ සමාජයේ අපි වරද්දා ගත්තොත්, හැමෝටම වරදිනවා. දෙවියන්, බඹුන් වඳින පින් කෙත, සංඝ සමාජයේ අපියි මේ පින් කෙත. අපි මුඩු බිමක් බවට පත්වෙන්න නොදී සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන් අපි ආරක්ෂාකොට ගන්න ඕනේ. අපිත් තෘෂ්ණාව මුලට ගත්තොත්, මාතෘ භූමිය ඉදිරියට දුකම පැමිණේවි. සංඝ සමාජයේ අපි තෘෂ්ණාව මුලට ගත්තොත්, අපිට සිවුපසය පූජා කරන ගිහි පිංවතුන්ලාට අපි කෙසේ නම් ලෞකික සැපය ලබා දෙන්න ද?
ඇලීම් සහ ගැටීම් දෝරෙ ගලාගෙන යන ගිහි සමාජයක, සංඝ සමාජයේ අපිත් උපේක්ෂාවෙන් බැහැර වෙලා ලෝකය දකින්න පුරුදු වෙලා තිබෙනවා. කලබලකාරීවීම අපිට සුදුසු නැහැ. ඉක්මන්කාරීවීම අපිට සුදුසු නැහැ. සංඝ සමාජයේ අපි ඇස් ඇති පුරුෂයෙක් විය යුතුයි. අපි පුරුදු වෙලා තිබෙන්නේ මස් ඇසෙන් ලෝකය දකින්න. මස් ඇසෙන් ලෝකය දැක්කොත්, අපි සියල්ලම දකින්නේ මතුපිටින්, යමක් විනිවිද දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝ සමාජයේ අපිට ඇස් ඇති පුරුෂයෙක් වෙන්න කියලා. කවුද මේ ඇස් ඇති පුරුෂයා කියන්නේ? ඇස් ඇති පුරුෂයෙක් කියලා කියන්නේ, පංච නීවරණයන්ගෙන් තොර සම්මා සමාධිමත් සිතක් ඇතිකොටගත් පුරුෂයාටයි. මේ ඇස් ඇති පුරුෂයා ලෝකය මතුපිටින් දකින්නේ නැහැ. ඔහු ලෝකය විනිවිද දකින්නෙක්. සත්තකින්ම සංඝ සමාජයේ උතුම් අපි ලෝකය විනිවිද දකිනවා ද? ලෝකය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ පංච උපාදානස්කන්ධ ලෝකයටයි.
සංඝ සමාජයේ අපි තුළ උතුම් සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය දුර්වල වෙත්දි, සමස්ත සමාජයේම කුසල් සංස්කාරයෝ දුර්වල වෙලා යනවා. එවිට ශක්තිමත් වෙන අකුසල් සංස්කාරයන් ගිහි පැවිදි අපි හැමෝටම දැනීම් සකස්කොට දෙන්නේ තව තවත් අකුසල් වැඩෙන දිශාවටමයි. එවිට අපි ඇසෙන් රූප දැක, මනස අසංවර කර ගන්නවා. කනෙන් ශබ්ද අසා, මනස අසංවරකොට ගන්නවා. නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් දැනීම සකස්කොටගෙන, මනස අසංවරකොට ගන්නවා. ඉන්ද්‍රීය අසංවරභාවයෙන් යුත් සමාජයක අපි කෙසේ නම් චිත්ත විශුද්ධියක් බලාපොරොත්තු වෙන්න ද? චිත්ත විශුද්ධිය දුර්වල වූ සමාජයක මමත්වයේ දැඩිභාවය දෝරෙ ගලා යන්නේ වාන් දොරටු විවෘත කළ මහා ජලාශයක් වගේමයි.
මේ උදාවුණ සිංහල අලුත් අවුරුද්ද අපි හැමෝටම බල කරනවා ඉන්ද්‍රීය අසංවරයට වහල් නොවී, මම ගැනම සිතන මමත්වයේ දැඩිභාවයට වහල් නොවී, තමන් උපන් මාතෘ භූමියට, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ආදරය කරන්නය කියලා. මේ දුර්ලභ ධර්මතාවයෝ අනාගත පරපුරට ආරක්ෂාකොට තබන්නය කියලා. ගිනි ඇවිළුනු පන්දම් අතින් ගත්ත යකුන්, යක්ෂණියන් සේ මාරාවේශයෙන්, දෙස් සහ විදෙස් අසත්පුරුෂයින් මේ අහිංසක මාතෘ භූමිය ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ගිනි තබන්න උත්සාහ කරත්දි, පිංවත් ඔබ සිහි බුද්ධිය ඇතිකොට ගන්න. ඉන්ද්‍රීය සංවරභාවය ඇතිකොටගෙන ප්‍රශ්න දෙස බලන්න. අපි ඇලීම් සහ ගැටීම්වලට වහල් වී ගන්නා සෑම තීරණයක්ම අපේම අනාගත විනාශයට හේතුවෙන්න පුළුවන්.
වර්තමාන රජයේ දෙවැනි පෙළ නායකයන් බලවත් ආකාරයෙන් ජනතාවගේ සැකයට සහ අප්‍රසාදයට ලක්වෙලා තිබෙනවා. තෘෂ්ණාව වැඩුවුණ තැන දුක අළු ගසා නැගිටිනවා. මේ සෑම දුර්වලතාවයකටම හේතුව අවිද්‍යාවයි. අපි වරද දැක්කත්, අනුන්ගේ අවිද්‍යාව නිසා අපි අවිද්‍යාව ශක්තිමත්කොට ගතයුතු නැහැ. වර්තමාන පාලක පිංවතුන්ලා කෙරෙහි භික්ෂුවටත් තිබෙන්නේ කලකිරීමක්. එම පිංවතුන්ලා දැන දැනම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඈත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ජනතාවට පූර්වාදර්ශ දෙන එකම පාලක පිංවතෙක්වත් දේශපාලනය තුළ තවම නම් පෙනෙන්නට නැහැ. ඒ නිසාම අපි පරිස්සම් විය යුතුයි, වඩාත් හොඳ දෙය, දුර්වලතාවයන් මැද වුව ද ආරක්ෂාකොට ගන්න. වර්තමානයේ රටේ දෙවැනි පෙළ පිංවත් නායකයන් අවංක නොවුණත්, කරුණාකර රටේ රාජ්‍ය නායකයා ආරක්ෂාකොට ගන්න. වර්තමාන රාජ්‍ය නායකයාව අපි දුර්වලකොට දැමුවොත්, එය පිංවත් ඔබේ මාතෘ භූමියේ සහ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ බලවත්ම විනාශයේ ආරම්භය වේවි.
හෙට දවසේ ඇත්ත යටපත් වෙලා, බොරුව රජවේවි. එම නිසා තීරණයක් ගන්න පෙර දෙවරක් සිතන්න. හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා. පිංවත් ඔබ උපන් රටේ නිදහසට එරෙහිව, සමස්ත ලෝකයටම ශීලය, මෛත්‍රිය, දානයේ ශක්තිය බෙදාදෙන සම්මා සම්බුද්ධ ශාසනයට එරෙහිව, සංඝ සමාජයේ සමගියට එරෙහිව, ජාත්‍යන්තරයෙන් සහ දේශීය අසත්පුරුෂ කණ්ඩායම් වලින් බලවත්ම අභියෝගයන් එල්ල වී ඇති මොහොතක, උදා වූ සිංහල අලුත් අවුරුද්ද පංච නීවරණයන්ගෙන් බැහැර වී, ඉන්ද්‍රීය සංවරභාවයෙන් යුතුව, සමාජයේ මතුවෙන ප්‍රශ්න දෙස බලන අවුරුද්දක් බවට පත්කොට ගන්න. පුංචි සැපයක් උදෙසා, මහා සැපයක් අහිමිකොට ගන්න එපාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. සම්මා සම්බුද්ධ ශාසනය තරම් මහා සැපයක් මේ ලෝක ධාතුව තුළ නැති බව සංඝ සමාජයේ අපිත් සිහි නුවණින් තේරුම් ගන්න ඕනේ. සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් පාලකයෙකුගේ අවශ්‍යතාවය ගැන අපි දෙවරක් සිතා තීන්දු ගන්න ඕනේ.
මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පිංවත් සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පිංවතුන්ලාටත්, ලක්ෂ සංඛ්‍යාත පාඨක පිංවත් ඔබටත් සතුට, සෞභාග්‍යය, නිරෝගීභාවය පිරි, සද්ධර්මයේ අර්ථයන් වැඩෙන අලුත් අවුරුද්දක් වේවා යැයි මෙත් සිතින් ආශීර්වාද කරනවා.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ
උපුටා ගැනීම – 2021.04.25 වන ඉරු දින දිවයින පුවත්පත