මේ උතුම් මව්බිම පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වන බිම්කඩක්.

මේ උතුම් මවුබිම, පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වෙන බිම් කඩක්. උතුම් ධර්ම විනය ජීවමානව වැඩ සිටින බිම්කඩක්. ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් වැඳුම් පිදුම් ලබන, රුවන්වැලි මහා සමිඳුන්, ජයශී‍්‍ර මහා බෝ සමිඳුන්, ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ, ශී‍්‍රපාද පද්ම වහන්සේ වැඩ සිටින, බිම්කඩක්. සම්මා දිට්ඨියට පත් දෙවියන්. බ‍්‍රහ්මයන් දස දහස් ගණනක්, නිතිපතා වන්දනා කරන බිම්කඩක්. මේ පුණ්‍යවන්ත භූමියේ අපි හැමෝම ඉපදුණේ අතීත පිනේ ඵලයන් නිසා මයි.

පින්වත් ඔබේ පින්වත් භාවය නිසා ම, අතීතයේදී මෙන් ම, වර්තමානයේදීත්, රටට සිදු වන මහා විනාශයන් පෙනි පෙනී තිබියදී, එම විනාශයන් ගෙන් රට ආරක්ෂා කොට දීමට, පින්වත් ඔබලාගේ පිනේ ශක්තියත්, සම්‍යක්-දෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදයත්, මේ පූජනීය බිම්කඩට වර්තමානයේදීත් ලැබෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයන්ට දේශනා කොට තිබෙනවා, ”උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ට අභියෝග එල්ලවෙනවා නම්, ධර්මානුකූලව, සතර අගතියෙන් තොරව, පින්වතුන්ලා දැනුවත් කරන්න” කියලා. ”අධර්මයේ ශක්තිය ධර්මයේ ශක්තියෙන් පිළිසරණ වෙන්න”ය කියලා.

මුළු ලෝකය ඉදිරියේ, බලවත් ම අභියෝගයන්ට ලක්වූ රට බවට, මේ පින්වත් අහිංසක රට පත්වී තිබෙනවා. පින්වත් ඔබ, මම, කාටවත්ම කිසිම වරදක් කරලා නැහැ. මනුෂ්‍යයාගේ අවිද්‍යාව ශක්තිමත් වෙනකොට, මුලින්ම අභියෝගයට ලක්වෙන්නේ, උතුම් ශී‍්‍ර සද්ධර්මය ලෝකයට බෙදා දෙන,මේ සිංහල බෞද්ධ රටයි. මේවා ධර්මානුකූල හේතුඵල ධර්මයන්.

ඒත් මේ ධර්මානුකූල අනතුර දකින්න නම්, අපි තුළ සිහිය තිබෙන්නට ඕනේ. සිල්පද දුර්වල කොට ගෙන, ඉන්ද්‍රිය අසංවර භාවයෙන්, අවිද්‍යාවේ අසිහියෙන් පෙළෙන අධර්මවාදී මනුෂ්‍යයෝ, මේ ඇත්ත දකින්නේ නැහැ. එවන් මනුෂ්‍යයෝ සොයන්නේ උපන් රට කාබාසිනියා කොට හරි, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, පිනවීමට තෘෂ්ණාවේ ආහාර මයි.

උපන් රටට, ආදරය කරන පින්වත් ඔබ, මේ අනතුර නුවණින් දකින්න ඕනේ, වර්තමානයේ පින්වත් ඔබලා, මේ අවිද්‍යාවාදී අසත්පුරුෂ ධර්මයන්ට විරුද්ධව, එක පියවරක් හෝ ඉදිරියට තබා තිබෙනවා නම්, ඒ පියවර පින්වත් ඔබ ආරක්ෂා කොට ගත යුත්තේ, උතුම් ශී‍්‍ර සද්ධර්මයේ විශ්වාසය තුළින් මය.

සියලූ‍ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය ලොවට කියන, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, ඊළඟ පරම්පරාවට ආරක්ෂා කොට දීම පින්වත් ඔබගේ පූජනීය වගකිමක් වෙනවා. ඒ පූජනීය ආධ්‍යාත්මික අරගලයේ ජයග‍්‍රහණයේ මග, පින්වත් ඔබ, තරණය කළ යුත්තේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තළින් පමණක් මය.

අලෝභ, අද්වේශ, අමෝහ, කුසල් මූලයන්ගෙන් පෝෂණය වූ තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, මෛති‍්‍රය, ත්‍යාගය කෙරෙහි පමණක්ම, පින්වත් ඔබ විශ්වාසය තබන්න. ධර්මයේ අර්ථවත්ව හැසිරෙන්නා, ධර්මය විසින්ම ආරක්ෂා කරාවි.

මෙය සටහන් තබන භික්ෂුව, කොහේ වැඩ සිටියත්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, මේ උතුම් මාතෘ භූමියේ, ආරක්ෂාව උදෙසා, ධර්මානුකූලව පෙනී සිටින පින්වත් ඔබලාට, තෙරුවන් සරණ සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය සෑම මොහොතකම ප්‍රාර්ථනා කරනවා.