දැනුම සකස්වන්නේ අතීත සංස්කාරයන්ට අනුවයී.

රාත්‍රිය ගෙවිලා උදෑසන හිරු එළිය වැටෙන්නට දැන් හුඟාක් ළඟයි. කුසගින්න දැනිලදෝ හිරු එළිය වැටෙන්නටත් පෙරාතුව කොවුලෙක් තොරතෝංචියක් නැතිව කෑගසනවා. ඒත් ඒ කොවුල් නාදයේ මිහිරකුත් තිබෙනවා. පක්‍ෂි ලෝකයේ ජීවත්වෙන පක්ෂීන්ගේ තෘෂ්ණාවේ තරම ධර්මානුකූලව දකින්න පුළුවන් හොඳම අවස්ථාව තමයි උදෑසන. එම පක්ෂීන් එකිනෙකා පරයා විචිත්‍ර නාදයන් කරන්නේ, තමන්ගේ හැකියාව අනෙක් පක්ෂීන්ට පෙන්වන්නමයි. පක්ෂියෙක් සුන්දරව නාද කරද්දි ඒ නාදය තුළින් එම පක්ෂියා ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් සකස්කොටගෙන සෑම නිමේෂයකදීම භවයේ රස්තියාදු වීමට අදාළව සංස්කාරයන් රැස්කොට ගන්නවා.

කුරුලු ලෝකයේ ලස්සන විචිත්‍ර ආශ්වාදය අපි විඳිනකොට කුරුල්ලනුත්, අපිත් පංච උපාදානස්කන්ධය නමැති එකම මාර ධර්මයක අයිතිකරුවන් වෙනවා. ලෝකය නිවී සැනසිල්ලේ ගමන් කරනවා, අපිව පක්ෂියා තුළිනුත් ප්‍රමාදයටම පත් කරමින්. සමාජයේ ලස්සනට සින්දු කියන, කවි කියන පිංවතුන් සහ පිංවතියන් සිටිනවා. මෙම පිංවතුන්ගෙන් යමෙක් ශීලයෙන් දුර්වල නම් මත්වතුර, කාමයේ වරදවා හැසිරීම්, ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් සමග හුඟාක් ලෙන්ගතු නම් පටිච්චසමුප්පන්නව ලස්සනට නාද කරන කුරුල්ලෙක් වෙන්න පුළුවන්.

අපිට මේ ජීවිතයේ දී මිහිරි, ලස්සන කටහඬක් ලැබෙන්නේ පෙර ජීවිතවල යහපත් වචී කර්මයන් තුළ ජීවත්වුණ නිසාමයි. ලස්සන සුන්දර මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ පංචශීලයේ ආරක්ෂාව තුළ ජීවත්වුණ නිසාමයි.

පිංවත් ඔබ සමාජගත ජීවිතයේ දී දැකලා ඇති සමහර පිංවතුන් සහ පිංවතියන් සිටිනවා ඒ අය කථා කරන්නේ කටින් පමණක් නොවේ. ඇස් වලිනුත් කතා කරනවා. සුන්දර කේශ කලාපයෙනුත් කතා කරනවා. තමන් පවත්වන ඉරියව් වලිනුත් කතා කරනවා. හැබැයි මේ කතා නිහඬ කතාවන්. සමාධිමත් සිතක් තිබෙන කෙනෙකුට මේ නිහඬ කතාවල අග සහ මුල හොඳින් වටහා ගන්න පුළුවන්. මේ සෑම ඉරියව්වකින්ම කතා කිරීමේ හැකියාව ධර්මානුකුල හේතුඵල ධර්මයක්.

මේ සුන්දර හේතුඵල ධර්මයේ ප්‍රධානම හිමිකාරිය වෙන්නේ පංච කල්‍යාණියයි. ඇයට පුළුවන් තමන් පවත්වන සෑම ඉරියව්වකින්ම ලෝකය වශී කරන්න, ලෝකයත් සමග කතා කරන්න. ලෝකය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය නොදන්නා නිසාම සකස්වෙන අවිද්‍යාවටයි. සුන්දර පංච කල්‍යාණියක් බිහි කරන්නේත්, එම පංච කල්‍යාණියම දුර්වල ශීලය නිසාම පටිච්චසමුප්පන්නව කුරුලු ලෝකයේ ලස්සන කිරිල්ලියක් බවට පත් කරන්නේත් මේ අවිද්‍යාවමයි.

පංචශීලෙයන් දුර්වල, යහපත් වචී කර්මයන්ගෙන් දුර්වල ජීවිත, ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් බහුල ජීවිත අතුරේ යන පටිච්චසමුප්පන්න ගමනක් යන්නේ, මරණාසන්න මොහොතේ තිගැස්සුන සිතින්, “සිතුවිලි” අකුසලය දෙසට ලිස්සුවොත් වැටෙන භව දුකේ අගාධය සිතා ගන්නටවත් බැහැ. අසිදිසි මහා දානය පූජා කරගන්න සුන්දර සුරූපිනියක් වූ මල්ලිකා බිසවට මරණාසන්න සිතුවිල්ලේ දී වෙච්ච ඇබැද්දිය අපි හැමෝටම හොඳ පාඩමක් වෙනවා.

දැන් නම් පරිසරය උදෑසන හිරුගෙන් යාන්තමට ආලෝකමත් වෙලා. කුරුල්ලන්ගේ උදෑසන සංගීත තරඟය පටන් අරගෙන, මේ උදෑසන සල්ලි නොගෙන සින්දු කියන කුරුල්ලෝ අකුසලය හේතුවෙන් සකස්වෙන අනාගත පටිච්චසමුප්පන්න ජීවිතවල නිරුවත හෙළි කරන්නේ කිරි අම්මාගේ දෑතේ නහවන කිරි දරුවෙක් වගේමයි.

පසුගිය දවසක උදෑසන භික්ෂුව පිණ්ඩපාතයේ වැඩිය නිවසක අම්මා කෙනෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, අපේ දෝණි උදේම නැගිටලා එයා තනියම කිතුල් පිටි තලපයක් හැදුවා. අනේ එම ආහාරය කොහොම හරි පිළිගන්න කියලා. එම ගැහැනු දරුවා අට වසරේ ඉගෙන ගන්න දරුවෙක්. එම මොහොතේ භික්ෂුවට අවශ්‍ය ආහාර ප්‍රමාණවත්ව ලැබී තිබුණත්, දරුවාගේ ආහාරයෙන් කොටසක් භික්ෂුව පිළිගත්තා. මෙවන් දරුවන් පටිච්චසමුප්පන්නව යහපත් සංස්කාරයන් කරපින්නාගෙන මේ ජීවිතය ලැබුවත්, හෙට දවසේ මෙම දරුවන් පියවර තබන්නේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකයකට. අතීතයේ අදාළ පාරමී ධර්මයන් පරිපූර්ණ කොටගෙන පැමිණි සත් හැවිරිදි විශාකා දියණිය, බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණමිත්‍රභාවය නිසාම ළමා වයසේදීම උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත්කොට ගත්තා. නමුත් මෙවැනි ඈත එපිට ගම්මානවල ජීවත්වෙන යහපත් දරුවන්ට, ගමේ පන්සල හැර වෙන කාගේ නම් පිහිටක් ද? ඇත්තටම ගමේ පන්සල මෙවැනි දරුවන්ට කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා ද?

මෙය සටහන් තබන භික්ෂුව, මොනම හේතුවක් නිසාවත් අනුනගේ වැරදි සොයන්නේ නැහැ. අනුනගේ වැරදි සොයන පිංවතා, කවදාකවත් නිවැරදි වෙන්නෙත් නැහැ. අනුනගේ වැරදි අපි අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය උදෙසායි යොමුකොටගත යුත්තේ. අනුන් කරන වැරදි අයිති වෙන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයට. මේ ධර්මතාවයන්ගේ මහා මොළකරු වෙන්නේ අවිද්‍යාවයි. කරුණාකරලා, අනුනගේ වැරදි චතුරාර්ය සත්‍යය නොදන්නාකම නිසා සකස්වෙන අවිද්‍යාවට භාරදීල ඔබ නිදහස් වෙන්න. අනුනගේ වැරදි වලින් “මම” නිදහස් කරගන්න. මෙය සටහන් තබන භික්ෂුව චතුරාර්ය සත්‍යය දන්නවා. එම නිසා දුක නැවත ජීවිතයට ගන්නේ නැහැ. දුක අයිති තෘෂ්ණාවට. තෘෂ්ණාවෙත් මහ මොළකරු වෙන්නේ අවිද්‍යාවමයි.

අවිද්‍යාව නිරෝධය කරන, අවිද්‍යාවට අභියෝග කරන එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අත්පොත ඔබට කියලා දෙන්නේ ගමේ පන්සලයි. මෙය සටහන් තබන භික්ෂුව, ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව, ලෞකික සම්මා දිට්ඨියේ සිට ලෞකික සම්මා සමාධිය දක්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගත්තේ, ගමේ පන්සලෙන් සහ පසළොස්වක පොහොය දවසට සිල් සමාදන් වුණ තපෝවනයෙන්. අපේ ජීවිතවලට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිරි මව වෙන්නේ ගමේ පන්සලයි. යම් පමණකට හෝ පංච නීවරණ ධර්මයන් සියුම් කොටගත් යහපත් මනුෂ්‍යයෙක් සමාජගත කිරීම ගමේ පන්සලේ වගකීමක් වෙනවා.

අපේ දැනුම් සකස් වෙන්නේ අතීත සංස්කාරයන්ට අදාළව. මෙය සටහන් තබන භික්ෂුවට ඉහත දැනීම සකස් වුණත්, තවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකට මීට වෙනස් දැනීම් සකස් වෙන්න පුළුවන්. මේ දැනීම් (විඤ්ඤාණයන්ගේ) විවිධත්වය අපේ සංස්කාරයන්ගේ විවිධත්වයයි. එම නිසා භික්ෂු සමාජයේ අපි වැරදි කවුද, නිවැරදි කවුද කියලා සොයන්න යායුතු නැහැ. මේ දෙකේම වග උත්තරකරුවා, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරමයි. අපිට ඉතිරිවෙලා තිබෙන්නේ අපේ අතීත සංස්කාරයන්ට අදාළව, අපේ වගකීම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කිරීම පමණක්මයි.

පසුගිය දවසක පිංකම් ගෙදරකදි, භික්ෂුව දෙස බලා සිටි මහත්මයෙක්ගේ දෑස් වලින් කඳුළු රූටා වැටුණා. ඒ කඳුළු වළක්වා ගන්න ඔහු උත්සාහ ගත්තත්, කඳුළු ඊට ඉඩ දුන්නේ නැහැ. ඒ කඳුළු දුක නිසා වැටුණා ද, සතුට නිසා වැටුණා ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. නමුත් භික්ෂුව එක දෙයක් දන්නවා. ඵස්සය හේතුවෙන් වේදනාව තෙත් කරමින් රූටා වැටුණු ඒ කඳුළු ඔහුගේ සංස්කාර ගිණුම තව තවත් තර කරන්න හේතු වුණාය කියලා. කඳුළත්, සිනහවත් අපගේ සංස්කාර ගිණුම තව තවත් තර කරද්දි, සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන දැනීම් නැවත නැවතත් සංස්කාරයන්ම ගිණුම්ගත කරනවා. අපි තවමත් සිනා වෙනවා, තවමත් හඬනවා. සිනහවටත්, කඳුළටත් හේතුව වූ තෘෂ්ණාව ඵස්සය දොරකඩ සැඟවී තාමත් අපිට, හොරා පොලිස් සෙල්ලම කරනවා.

පිංවත් ඔබ ලෝකයට ආදරය කරන්න එපා, ලෝකය අතහරින්නත් එපා. පිංවත් ඔබ ලෝකය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකින්න. එවිට ඔබට පෙනේවි මේ ලෝකය අයිති අවිද්‍යාවට, තෘෂ්ණාවට, ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ට කියලා. පිංවත් ඔබට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති ද, ඇත්තෙන්ම අපි ආදරය කරන්නේ ඉහත ධර්මතාවයන්ට නේද? අවිද්‍යාවට ආදරය කරලා, තෘෂ්ණාවට ආදරය කරලා, ජරා, ව්‍යාධි, මරණයන්ට ආදරය කරලා ඔබට මොනවා ද ලැබිලා තිබෙන්නේ? නුවණින් මෙනෙහිකොට බලන්න. ඔබට ලැබිලා තිබෙන්නේ සංස්කාර ගොඩක් පමණක්මයි. ඒ සංස්කාර තමයි, ඔබ ප්‍රභූ, මහේශාක්‍ය, ධනවත්, දුප්පත්, උගත්, නූගත්, ලස්සන, අවලස්සන ආදී වශයෙන් භුක්ති විඳින්නේ. පිංවත් ඔබ අතීත සංස්කාරයන් භුක්ති විඳින මොහොතේම නැවත සකස්කොට ගන්නේ ද සංස්කාරයන්මයි. පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තුළ අපි නොනවතින ගමනක් ඇවිත් තිබෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මයන් නොදන්නා නිසාමයි. එහි අර්ථයන් ජීවිතයට එකතුකොට නොගත් නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මෙය සටහන් තබන භික්ෂුව, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට, මේ භුක්ති විඳින්නේ පෙර සංස්කාරයන්ගේ ඵලයන්. මේ සටහන් තැබීමට අවශ්‍ය දැනුම, අවබෝධයත්, අතීත සංස්කාරයත් විසින්මයි භික්ෂුවට ලබාදීලා තිබෙන්නේ. සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය සිත්සේ භික්ෂුව හසුරුවනවා. නමුත් මේ හැසිරවීම සිද්ධ වෙන්නේ, උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ සීමාවන්ට අදාළවමයි. භික්ෂුව ලබන සහ ලබා ඇති කිසිම දෙයක් තුළ භික්ෂුව “මම” හෝ “මගේ” හෝ “මගේ ආත්මය” වශයෙන් දකින්නේ නැහැ. ඔබගේ පිංවන්ත ජීවිතය එහි සැබෑම හිමිකරුවෙන අවිද්‍යාවට, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන්ට භාර දෙන්න. එවිට ඔබට ලොකු නිදහසක් දැනේවි. ඒ නිදහසත් අයිති අතීත සංස්කාරයන්ටමයි. එම නිසා එතැනදිත් ඔබ පරිස්සමින්. ඔබ ලබන නිදහසේ ආශ්වාදය අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්ෂ විය යුතුයි.

භික්ෂුව වැඩ සිටින කුටිය සමීපයේ තිබෙන කුඹුරු යායේ මේ මොහොතේ ගොයම් කපනවා. ගොයම් කපන මැෂිමේ හඬ, නිහඬ සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයන් ඉදිරියේ හරියට මාරයාගේ අඳෝනාවක් වගේමයි. නවීන තාක්ෂණය මනුෂ්‍යයාට ගොඩාක් පහසු කරලා තිබෙනවා. ඒ වගේමයි තාක්ෂණය මනුෂ්‍යයාගේ තෘෂ්ණාව ඇතෙක් බරට පෝෂණය කරලත් තිබෙනවා. රාත්‍රී වෙනකොට මේ යායේ ගොයම් සේරම කපලා ඉවර කරාවි. ඉක්මනට ගොයම් කපලා, ඉක්මනට අරක්කු බීලා, ඉක්මනට සමහරු සල්ලි ඉවර කරගන්නවා. අස්වැන්න කපන කාලයට නගරයේ අරක්කු කඩවල පාරිභෝගිකයෝ ගැවසෙනවා වැඩියි.

සමාජය තුළ පන්ති පරතරය වැඩිවෙනකොට සමාජය තුළ අරක්කු භාවිතය වැඩි වෙනවා. අරක්කු මිල වැඩි කිරීමෙන් කවදාකවත් මනුෂ්‍යයාගේ අරක්කු භාවිතය අඩු කරන්න බැහැ. අරක්කු මිල වැඩි කිරීමෙන්, අරක්කු බොන මනුෂ්‍යයන්ගේ ආර්ථිකය තවත් දුර්වල වී පන්ති විෂමතාව තව තවත් වැඩිවීම මයි සිද්ධ වෙන්නේ. අහිංසක මනුෂ්‍යයෝ අරක්කු, මත්කුඩු වලට යොමු වෙන්නේ හීනමානය නිසාමයි. සමාජයේ ජීවත්වෙන ධනවත් පුද්ගලයාත් තමාට වඩා ධනවත් පුද්ගලයෙක් දැකලා හීනමානය ඇතිකොට ගන්නවා. අහිංසක දුප්පත්, මධ්‍යම පාන්තික ජනතාව ගැන කවර නම් කතාවක් ද? වර්තමාන සමාජය තුළ සෑම ජීවිතයක්ම තරඟකාරීත්වයේ ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. මේ තරඟය තමන්ට වඩා ඉහළ පන්තිය අයිතිකොට ගැනීම සඳහාමයි. මේ තරඟයෙන් දුර්වලවෙන, ධර්මයක් ගලපා නොගත් සෑම පන්තියකම පිංවතුන් හීනමානය නිසාම අරක්කුවල පිහිට පතනවා. ධනය, රූමත්කම, දක්ෂතාව, උගත්කම, කුලය මේ සෑම දෙයක්ම මුල්කොටගෙන හීනමානය ඇති වෙන්න පුළුවන්.

හීනමානයෙන් පෙළෙන පුද්ගලයා පළමුවැනි අරක්කු වීදුරුව බොන්නේ හීනමානය නිසාමයි. එහෙත් එම පිංවතා තම දෙවැනි අරක්කු වීදුරුව බොන්නේ අධිමාන්නයෙන්. ඔහු අරක්කු මතය තුළින් තමාට සැබෑ ජීවිතයේ දී ස්පර්ශ කරන්නට බැරි වූ ලෝකය මනසින් ස්පර්ශ කරනවා. අරක්කු මතය පහව ගිය පසුයි ඔහු දකින්නේ, ඔහු සිටියේ මායාවක් තුළයි කියලා.

සෑම පන්තියකම අහිංසක මනුෂ්‍යයන් තුළ හීනමානය ඇති වෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන් නොදන්නා නිසාමයි. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව දානයේ, ශීලයේ ආනිසංස වලට අදාළව ජීවිතය දකින්න ඇති අදක්ෂභාවය නිසාමයි.

භික්ෂුව වැඩ සිටින කුටිය අසල කුඹුරු යායේ ගොයම් කපන මැෂිමේ අඳෝනාවත්, ගොවි මහත්වරුන්ගේ කටහඬත් භික්ෂුවට දැන් හොඳින්ම ඇසෙනවා. කුඹුරුයාය දෙසින් හමා එන සුළඟ සමග අරක්කු ගඳක් ද භික්ෂුවට යාන්තමට දැනෙනවා. මේ අහිංසක ජීවිත වෙනුවෙන්, භික්ෂුවට නම් කරන්නට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි සියල්ලෝම අවිද්‍යාව හේතුවෙන් සකස්වුණ සංස්කාරයන්ගේ ඵලයන්. මේ සංස්කාරයන්ට අදාළවයි අපි වටා සියල්ල සකස් වී තිබෙන්නේ. සංස්කාරයෝ අනිත්‍ය බව ඇත්ත. එහෙත් වර්තමානයේ අපේ අකුසල් නිසාම, සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ අදට වඩා විෂම දිශාවන්ටමයි.

හෙට උදෑසනත් භික්ෂුව, ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් පරිපූර්ණව, පාත්‍රයත් අරගෙන ගම්මානයට පිණ්ඩපාතයේ වඩිනවා, අහිංසක ඔබට, බත් හැන්දක් පූජා කරලා පිං රැස්කොට දෙන්න. පිංවත් ඔබලාට සද්ධර්මය ශ්‍රවණය කරලා, කියවලා, එම ධර්මය නුවණින් මෙනෙහි කරලා මේ අනතුරෙන් මිදෙන්න දැනීම් සකස් වෙන්නේ නැතිනම්, භික්ෂුවට ඉතිරි වෙලා තිබෙන්නේ පිංවත් ඔබට කියන්නට, භික්ෂුවත් ගිහි තරුණ ජීවිතයේදීම හීනමානය නිසාම මත් වතුර බීලා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් හීනමානයත්, අධිමානයත් ජීවිතයෙන් මරා දැමූ ශ්‍රාවකයෙක් කියලයි.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

උපුටා ගැනීම – 2021.04.18 වන ඉරු දින දිවයින පුවත්පතින්