භික්‍ෂුව වැඩසිටිය කුටියක කැපකරු මහත්මයෙක් භික්‍ෂුව උදේම ගිලන්පස වැළඳුවාට පස්‌සේ සහ දානය වැළඳුවාට පස්‌සේ ඇවිත් අහනවා ‘හාමුදුරුවනේ ගිලන්පසට සීනි ඇතිද? වැඩිද? දානයට ලුණු වැඩිද? කියලා. මේ සුපුරුදු දින චර්යාව දින කිහිපයක්‌ම සිදුවුණා. භික්‍ෂුවටත් තේරුණා ගිලන්පසවල සීනි හුඟාක් වැඩි බවකුත්. ඒත් භික්‍ෂුව ඒ ගැන තැකීමක් කළේ නැහැ. කැපකරු මහත්මයා නැවත දිනපතා එම විමසීම කරන නිසා ‘ඇයි මහත්තයෝ නිතරම සීනි ලුණු වැඩිද අඩුද කියල අහන්නේ’ කියලා.
එතකොට එම දායක මහත්මයා කියනවා ‘ස්‌වාමීන්වහන්ස, අපි දානයේ ලුණු ඇඹුල් බලන්නේ නැහැ. එහෙම බැලුවොත් පව් සිද්ධවෙනවා’ කියලා. ඒ මහත්මයා පුරුදුවෙලා තියෙන්නේ මහා සංඝරත්නය කෙරෙහි ඇති ගෞරවය වැඩි භාවය නිසාම ලුණු ඇඹුල් නොබලන්න. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා ඔබ ගෞරවයෙන් පූජාකරන දානයේ ලුණු ඇඹුල් අඩු වැඩි වුණොත් කොහොමද ස්‌වාමීන් වහන්සේලා දානය වළඳන්නේ. ඔබ ඔය ඇති කරගෙන තියෙන ගෞරවය මෝහය මුසු ගෞරවයක්. පිංවත් ඔබ දානයේ ලුණු සීනි ගැන හැමදාම හාමුදුරුවන්ගෙන් විමසන්නේ ඔබ තුළ සැකයක් ඇති නිසා. එම නිසා පිංවත් ඔබ බුද්ධිමත් වෙන්න, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාවයි කර්මයට මුල්වන්නේ කියලා. ඔබ දානයට පිළියෙල කරන ආහාරවල ලුණු සීනි රස බලන්නේ ඔබ ආහාරයට ඇති කැමැත්ත නිසාවත්, ඔබගේ කුසට ආහාරයක් පිණිසවත් නොවේ. ස්‌වාමීන්වහන්සේලාට දානය වැළඳීමට පහසුව ලබාදීම පිණිසයි. එවැනි චේතනාවකින් ඔබ දානය පිළියෙල කරන වේලාවට අවශ්‍ය නම් ලුණු ඇඹුල් බැලීමෙන් ඔබ තුළ ඇතිවෙන්නේ මෛත්‍රී සිතක්‌මයි. සංඝරත්නය කෙරෙහි ගෞරවයක්‌මයි. එය කවදාකවත් ඔබට අකුසලයක් වෙන්නේ නැහැ. මෙවැනි පුංචි කාරණා ඔබ සිහිනුවණින් විසඳාගතයුතු වෙනවා. මොකද ආහාරය කියන්නේ දුකක්‌ම නිසා.
අපි ආහාර ගන්න ගමන්, ගන්නා වූ ආහාරය අවබෝධ කරගැනීමටත් උත්සාහ ගන්න ඕනේ. ආහාරය අවබෝධ කර ගැනීමෙන්ම ඔබට සම්මා දිට්‌ඨියට පත්වීමට හැකි බව සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ආහාරයට ඇලීම හේතුවෙන් ආහාරවලම බිහිවන ගුල්ලෙක්, ආමාශගත පණුවෙක් වීමේ අවදානමද තියෙනවා. එහෙයින් ආහාරය ප්‍රයෝජනයට ගතයුත්තේ තෘෂ්ණාව හීනකර ගැනීම සඳහාමය. එසේ තිබියදී ලුණු ඇඹුල් නොබැලීම වැනි කාරණයක් උතුම් ධර්මකාරණයක් වශයෙන් අල්ලාගෙන සිටීමේදී ධර්මයේ සැබෑ අර්ථයන්ගෙන් ඈත්වීම පමණක්‌මයි සිද්ධ වෙන්නේ. ලුණු ඇඹුල් බැලීමෙන්ම විචිකිච්ජාවෙන් මිදෙන්න. විචිකිච්ජාව නැති වූ සිතකමයි ධර්මයක් වැඩෙන්නේ.
(බුදුන් දෙසූ මඟ සත්‍ය සොයා ගිය අපේ කාලයේ මුණිවරයෙකුවු මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශනා කරන අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේගේ සටහනකින් උපුටා ගන්නා ලදී)