පින්වත, මේ පුණ්‍යවන්ත රාත්‍රියේ වෙසක් සඳවතිය ආකාශයේ හරිම අපූරුවට පායලා. පින්වත, ආලෝකයෙන් ප්‍රභාස්වර සඳවතිය තවත් පින්බර වෙසක් සතියක උදාවයි අපිට කියන්නේ. පින්වත, ප්‍රභාස්වර වෙසක් සඳවතිය දකිද්දී, භික්ෂුවට සිතෙන්නේ, භික්ෂුවගේ භව ගමනේ භික්ෂුව මොනතරම් නම් ප්‍රමාදී ද කියලා. පින්වත, “අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක් පහළ වෙලා තිබෙනවා” යැයි සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, සෑම අතීත සම්මා සම්බුද්ධ ශාසනයක දී ම මාස දොළහකට වරක් වෙසක් සඳවතිය පායන්න ඇති. පින්වත, මේ පුණ්‍යවන්ත වෙසක් සතියෙත් ඇය එදා වගේ ම ආයෙත් පායලා. පින්වත, ඇය පායනවා. ඇයගේ නවයොවුන් පිරිපුන් ප්‍රභාස්වරභාවය දැකලා අපි ඇයට ඇලෙනවා. පින්වත, තවත් සති දෙකකින් කළුවර සඳ දැකලා අපි ගැටෙනවා. පින්වත, සඳවතියත්, අපිත්, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයේ ප්‍රවර්ධකයෝ වෙනවා. පින්වත, කවදා ද සතර මහා ධාතුවක් වන ප්‍රභාස්වර සඳවතිය ලෝකය තුළ තියලා, අපි ලෝකයෙන් නිවිලා යන්නේ? පින්වත, අහස් කුස බැබළෙන වෙසක් සඳවතිය තුළින් ඇයගේ යෞවන ආලෝකවත් හැඩරුව නොව, ඇය තුළින් චතුරාර්ය සත්‍යයෝ දකින්න. පින්වත, ප්‍රභාස්වර වෙසක් සඳවතියට “ඇලෙන” විඳීමත්, තවත් සති දෙකකින් කළුවර සඳට “ගැටෙන” විඳීමත්, තෘෂ්ණාවේ ම හේතුඵල ධර්මයෝ හැටියට දකින්න. පින්වත, වෙසක් සඳවතියත්, ඔබේ ආධ්‍යාත්මික රූපයත් වෙනස් වී යන සතර මහා ධාතුවක් යැයි කායානුපස්සනාවෙන් දකින්න. පින්වත, වෙසක් සඳවතිය, ඵස්සය හේතුවෙන් සකස් වන සිතුවිලි චිත්තානුපස්සනාවෙන් දකින්න. වෙසක් සඳවතිය මුල්කොට ගෙන ඇලෙන, ගැටෙන සහ උපේක්‍ෂාවේ විඳීම්, වේදනානුපස්සනාවට භාර දෙන්න. පින්වත, ඉහත සියලුම ධර්මතාවයෝ ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. පින්වත, එවිටයි සඳවතිය ලෝකය තුළ තබා, ඔබ ලෝකයෙන් නිවී යන්නේ.
පින්වත, අතීතයේ වැඩ සිටිය උතුම් රහතන් වහන්සේලා, තමන් වහන්සේලා පැවිදි වෙන්න පෙරාතුව සිහින දකින්න ඇති, තමන් උතුම් පැවිදිභාවය ලබලා අනාගතයේ දී උතුම් රහතන් වහන්සේ නමක් වෙනවාය කියලා. පින්වත, ගිහි ජීවිතයේ දී උන්වහන්සේලා දැනගෙන නොසිටින්න ඇති, සිහින දැකීම යැයි කියන්නේ ‘විඤ්ඤාණයේ මායාවක්’ ය කියලා. පින්වත, භික්ෂුවත්, ඔබත් අතීතයේ මොනතරම් නම් සිහින දකින්න ඇති ද? පින්වත, වර්තමානයේ සිහින දකිමින් සිටිනවා ඇති ද? පින්වත, සිහින අයිති විඤ්ඤාණයේ මායාවට නිසා ම, “අවිද්‍යාව” ජාති, ජරා, ව්‍යාධි, මරණ උදෙසා සිහින ජීවත් කරවනවා. පින්වත, අපි අනාගතයේ යම් දිනයක, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළොත්, එදාට අපි සක් සුදක් සේ අවබෝධ ඥානයෙන් ම දැන ගන්නවා, අතීතයේ දැක්ක සෑම සිහිනයක් ම, සංස්කාර හේතුවෙන් සකස් වූ විඤ්ඤාණයේ මායාවක්ය කියලා. පින්වත, එදාට අතීතයේ දැක්කා වූ සෑම සිහිනයක් ම, අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ, අනිත්‍ය වී ගිය විඳීම් යැයි දකින, උතුම් ධම්මානුපස්සනාවෙන් අතීත සිහින සේදිලා ම යනවා. පින්වත, සිහින නොදැක, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ දකින්න. පින්වත, එවිට උතුම් හේතුඵල ධර්මයෝ, ධම්මානුපස්සනාව මයි විකසිත කොට දෙන්නේ. පින්වත, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ අන්‍යශීලවෘතයෝ සිහින දකින්න අපිව පුහුණු කරනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දැක්ම, විඤ්ඤාණයේ මායාවෝ විනිවිද, දිට්ඨි විශුද්ධියේ කැඩපත දීප්තිමත් කොට දෙනවා, ඔබට සද්ධර්මයේ මුහුණ බලන්න.
පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ රැකවරණය නොලැබූ ජීවිත මොනතරම් නම් අසරණ ද? පින්වත, එම අසරණයන් සැප ලැබීමේ මාර්ගය හඳුනන්නේ නැහැ. පින්වත, සැපය සොයමින් තමන් ම අතීතයේ දොවා ගත් කිරි බඳුනට, අකුසලයේ ගොම මිශ්‍ර කොට ගන්නවා. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ වියෝව, මෙලොව බිඳුණ බලාපොරොත්තු සහ පරලොව සතර අපායටත් නිර්ලෝභීව පාර කියලා දෙනවා. පින්වත, අකුසලයෝ අඩු වෙහෙසකින් අකුසල් ම ප්‍රවර්ධනය කොට දෙනවා. පින්වත, බෝධිසම්භාර පුරණ බෝධිසත්ත්වවරයෙක් කවදාකවත් තම පාරමී ගමනේ දී සුනඛ කුලයක උපදින්නේ නැහැ. පින්වත, බෝධිසත්ත්වයන් වහන්සේලා තම පාරමී ගමනේ දී ඇත් කුලයේ උපදිනවා. පින්වත, උත්තම ශාසනික, සංස්කෘතික මංගල්‍යයක් වන දළඳා පෙරහැරේ අලි, ඇතුන් ගියාට, සුනඛයන් රැගෙන නොයන්නේ, එකම තිරිසන් ලෝකයේ වුවද, පෙර පුණ්‍ය ශක්තියේ උස් සහ මිටිකම් නිසා මයි. පින්වත, උපසම්පදා භික්ෂූන් උදෙසා බුදුරජාණන් වහන්සේ පනවා තිබෙන ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා, තිරිසන් මාගමක්, දැන දැන ස්පර්ශ කිරීම සංඝාදිශේෂ අකුසලයක්ය කියලා. පින්වත, උතුම් ධර්ම විනය තිබෙන්නේ, අනුනගේ වැරදි සොයන්න නොවේ, සිදු වන වැරදිවල ගැඹුරුභාවයන් දැක ලජ්ජාව, බිය ඇති කොට ගෙන උතුම් තෙරුවන්ට කීකරු පින්වතුන්ලාට අප්‍රමාදී වීමටයි. පින්වත, අවිද්‍යාව අශ්ව වේගයෙන් තිරිහන් වෙන සමාජයක, නිරාගමිකභාවයන් ශාසන විකෘතීන් ප්‍රවර්ධනය කරන සමාජයක, හිස් අදහස්වලට පිළිතුරු දෙන්න නොයා, චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි පූර්වාදර්ශයෝ මයි අපි සිහිනුවණින් සමාජගත කළ යුත්තේ. පින්වත, අවිද්‍යාවට කර්මය කර්මඵල විශ්වාසයෙන් සමාව දෙන්නාටයි, විද්‍යාවට මාර්ගය උපදින්නේ.
පින්වත, සත්‍යය කතා කළොත් එළව එළවා, විවේචනවලින් පහර දෙන සමාජයක් අපි ඉදිරියේ තිබෙන්නේ. පින්වත, එහි වරද සත්‍යයේ නොවේ, බොරුවේ බලවත්භාවයයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “වතුර බින්දුව බින්දුව එකතු වෙලයි වතුර කළයක් පිරෙන්නේ” කියලා. පින්වත, විහිළුවටවත්, ගැලවීමටවත් පුංචි පුංචි බොරු කියන්න එපා. අවසානයේ අපි මහා බොරුකාරයෝ වෙනවා. පින්වත, බොරුව යම් තැනක ද, එතැන තෘෂ්ණාව රජ කරනවා. පින්වත, බොරුව යම් තැනක ද, එතැන ශෝක, පරිදේවයෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම්, අප්‍රියයන් හා එක්වීම් එදිනෙදා දිනචරියාව වෙනවා. පින්වත, ලෝකයේ පරම සත්‍යය යම් තැනක ද එතැන චතුරාර්ය සත්‍යයෝ රජ කරනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ රජ කරද්දී, ‘තෘෂ්ණාව’ මළ දහමක් වෙනවා. පින්වත, තෘෂ්ණාව මළ දහමක් වෙද්දී, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයෝත් මළවුන් අතරට ම එකතු වෙනවා. පින්වත, තෘෂ්ණාවේ දැඩිභාවයෙන් තීව්‍ර වන වර්තමාන ලෝකය, අකුරට ම නිවැරදි ගමනක් යන්නේ. පින්වත, අවිද්‍යාවේ වර්ණය, සැපය, බලය වැඩි නම්, සමාජගත වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ හරිම සංකීර්ණ, හරිම සන්දර්ශනවාදී විසිතුරුභාවයන්ගෙන් පිරී ඉතිරී යනවා. පින්වත, වර්තමානයේ මෙය සටහන් තබන භික්ෂුව සත්ත්ව කරුණාවෙන් සහ ධර්ම විනයට අකරුණාවෙන් සුනඛයෙකුගේ දම්වැල අල්ලාගෙන මහ පාරේ වැඩියොත්, අනාගතයේ දී කාන්තාවකගේ අත අල්ලාගෙන මහ පාරේ වඩින තැනට අධර්මයෝ අධර්මයෝ ම භික්ෂුවට වඩවා දෙන්න පුළුවන්. පින්වත, බුදුරජාණන් වහන්සේ ‘එපා’ යැයි කියූ දෙයට, භික්ෂුව ඉණිමං තියන්නේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයට ඉණිමං තිබ්බොත්, ඊටත් වඩා ඉහළ බරපතළ වැරදිවලට අපි පියවර තබනවා මයි.
පින්වත, හරිම නිදහස්, විවේකී රාත්‍රියක්. පින්වත, ඇලීම්, ගැටීම් සහ “හෙට දවස හොඳ වෙයි” යැයි දකින උපේක්‍ෂාවෝ, ස්වයංක්‍රීයව දඬුකඳේ ගහලා. පින්වත, මැරෙන බව නොසිතා, ලෝකයා නටන මේ ඇලීම් සහ ගැටීමේ විගඩම්, මොනතරම් නම් විහිළුවක් ද? පින්වත, බුදුරජාණන් වහන්සේ ‘අනාර්ය ඝෝෂාව’ ගැනත්, ‘ආර්ය නිහඬභාවය’ ගැනත් දේශනා කොට තිබෙනවා. පින්වත, සමාජය තුළින් නැගෙන අනාර්ය ඝෝෂාව මොනතරම් නම් අප්‍රණීත ද? පින්වත, හිස් දෘෂ්ටීන්, හිස් සංකප්පයෝ, හිස් වචන, හිස් සතිය, අනාර්ය ඝෝෂාවේ කැතම කැත හැඩරුවයි. පින්වත, අනාර්ය හිස් ඝෝෂාවන් ඉදිරියේ යම් භික්ෂුවක් ලබන මේ නිදහස්, විවේකී, ආර්යය සහ අනාර්යය සියලුම ධර්මතාවයෝ අනිත්‍ය යැයි දකින, නිහඬභාවයට කුමන වටිනාකමක් දෙන්න ද? පින්වත, සත්‍යකින් ම වටිනාකමක් දෙන්න, එතැන සත්ත්ව පුද්ගල සඤ්ඤාවක් තිබෙනවා ද? පින්වත, ඵස්සය අසල සමාදානයේ සැතපෙන තෘෂ්ණාව හේතුවෙන්, උපාදානයන්ගේ අඬු දඬු සිඳ දමලා ද? පින්වත, මේවා ගැන සිතීම ආර්ය නිහඬභාවයට අදාළ නැහැ. පින්වත, ආර්ය නිහඬභාවය අයිති සියලුම සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාවටයි. පින්වත, සමාජය සිසාරා නැගෙන ඇලීම් සහ ගැටීම් බහුල ආනාර්ය ඝෝෂාවට මෙත් සිතින් සාධුකාර දෙන්න. පින්වත, අනාර්ය ඝෝෂාව නොතිබෙන්නට, කෙසේ නම් අපි ආර්ය නිහඬභාවයේ උත්තරීතරභාවය හඳුනා ගන්න ද? පින්වත, දිව නමැති කෙටේරියෙන් නැගෙන මිච්චා වාචාවන්ගේ අප්‍රණීතභාවයන් ඉදිරියේ කෙසේ නම් ඒවා කෙරෙහි අවබෝධයෙන් ම කලකිරෙන්න ද?
පින්වත, ප්‍රකෝටිපති මහත්මයෙක්ගේ දෑතේ නැළවෙන මිල අධික බලු සුරතලෙක් දකිද්දී, දේශදේශාන්තරවලට ගුවනින් යන සැපවත් බලු සුරතලෙක් දකිද්දී, එම තිරිසන් සතා සමග ගැටෙන සිත් ඇති කොට ගන්න එපා. පින්වත, දැන් දැන් තිරිසන් ලෝකයේ උපදින තිරිසන් සතුන්ගේ පිනේ ආශ්චර්යය දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව අපේ සතිය සිහියේ දුර්වලභාවය නිසා ම, අපි ධර්මය, ධර්මයක් කොට දකින්නේ නැහැ. පින්වත, අපේ කැමැත්ත ධර්මය සුරතල් කිරීමයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ ජීවිතයේ දී ගොඩාක් දන් පින් කරලා, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ගොඩාක් නරක විදියට දුර්වල කොට ගත්තොත්, භික්ෂුවගේ ඊළඟ පටිච්චසමුප්පන්න උපත ප්‍රකෝටිපති මැදුරක සැපවත් බලු සුරතලෙක් වෙන්න පුළුවන්. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ ජීවිතයේ දී ගොඩාක් දන් පින් කරලා, දේශදේශාන්තරවල ධර්ම දේශනා කරලා, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ගොඩාක් දුර්වල කොට ගත්තොත්, ඊළඟ පටිච්චසමුප්පන්න උපත දේශදේශාන්තරවල ගුවනින් සංචාරයේ යන සැපවත් බලු සුරතලෙක් වෙන්න පුළුවන්. පින්වත, සුන්දර හේතුඵල ධර්මයෝ වර්තමානයේ සැපවත් “බලු කුක්කෝ” ගැන ලස්සන බණ කතා අපිට කියලා දෙනවා. පින්වත් ඔබලා සැපවත් පුණ්‍යවන්ත බලු සුරතලෙක් දකිද්දී, එම සතාගේ හිස පිරිමැද බලු සුරතල් බැලුවත්, භික්ෂුව නම් එවැනි සැපවත් සුරතලෙක් දකිද්දී, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය කෙරෙහි සතිය සිහිය මයි ශක්තිමත් කොට ගන්නේ. පින්වත, වර්තමානයේ පින් කරන ගිහි සහ පැවිදි අපි, ශීලය ගොඩාක් දුර්වල කොට ගත්තොත් අනාගතයේ දී ගුවනින් සහ අතිසුඛෝපභෝගී වාහනවල ගමන් යන බලු සුරතලුන්ගේ ගහනය ගොඩාක් වැඩි වෙන්න පුළුවන්.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 මැයි 3 ඉරිදා දිවයින පුවත්පතින්.