මමත්වයේ දැඩිභාවය ජීවිතයෙන් බිම තබන්න.

පින්වත, සළායතනයෝ යැයි කියන්නේ අජීවී සතර මහා ධාතුවක් පමණක්මයි. පින්වත, ආයුෂය, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සහ උණුසුමෙන් තොරව සළායතනයන්ට නොමැරී, කුණු නොවී පවතින්න බැහැ. පිංවත මළ කඳක් යැයි කියන්නේ ආයුෂය, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සහ උණුසුම පහව ගිය ජීවිතයක්. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝම සළාතනයෝ උපද්දවා දෙනවා, අවිද්‍යාව විසින්ම සළායතනයෝ ජීවත් කරවනවා, අවිද්‍යාව විසින්ම සළායතනයෝ මරා දමනවා, අවිද්‍යාව විසින්ම පටිච්චසමුප්පන්නව සළායතනයෝ යළි උපද්දවා දෙනවා. පින්වත, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් මැදි කොට ගත් උපත සහ මරණය අවිද්‍යාවේ ම ආශීර්වාදයක් වෙනවා. පිංවත අවිද්‍යාවෙන් උපදින සළාතනයෝ කියන්නේ, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට, පටිච්චසමුප්පන්නව ජීවත් වීමට පහසුකම් සපයා දෙන නිවසක්, ගෘහයක්, ආහාරයක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත සළායතනයන්ගේ ඵස්සය, තෘෂ්ණාව නිරෝධය කළ උතුම් රහතන් වහන්සේටත් පොදු ධර්මතාවයක්. රහතන් වහන්සේත් ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අසනවා, එහෙත් දකින දෙය, ඇසෙන දෙය, දැනෙන දෙය විඳීමක් බවට පත් වෙන්න උන්වහන්සේලා තුළ තෘෂ්ණාවක් නැහැ. පිංවත අවිද්‍යාව හේතුවෙන් සකස් වන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය ගොදුරු සොයන මුල්ම ගොදුරු බිම, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කොට සකස් කොට ගන්නා විඳීමයි. පින්වත, කාම, රූපී, අරූපී භව මසට ලොබ බැඳි, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති දඩයම්කරුවා, සළායතනයන්ගේ ඵස්සය ඉදිරියේ අටවා ඇති මන්දට, තෘෂ්ණාවේ අන්ධ දෑසින් පැටලෙන්න නම් එපා.

පින්වත, භික්ෂුව මේ වාඩි වෙලා ඉන්න ආසනය මත දෑස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරනවා. භික්ෂුව නුවණින් දකිනවා, ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාල මහා චීවර ගොඩක්. දුඹුරු පාට, කහ පාට, රතු පාට, දම් පාට, තැඹිලි පාට මහා චීවර ගොඩක්. පින්වත, භික්ෂුව අතීත පංච උපාදානස්කන්ධ ධර්මතාවයන් ඔස්සේ දකින මේ මහා චීවර කන්ද කියන්නේ වෙන දෙයක් නොවේ, බුද්ධෝත්පාද කාලවල සම්මා පැවිද්ද උදෙසාත්, අබුද්ධෝත්පාද කාලවල මිච්ඡා පැවිද්ද උදෙසාත්, භික්ෂුව විසින්ම පටිච්චසමුප්පන්නව පෙරවූ මහා චීවර ගොඩයි. පින්වත, අතීතයේ භික්ෂුව පටිච්චසමුප්පන්නව පෙරවූ මහා චීවර කන්ද දකිද්දී, භික්ෂුව මේ මොහොතේ පොරවාගෙන සිටින චීවරය කෙරෙහි භික්ෂුව තුළ ඇති වෙන්නේ කලකිරීමක්මයි. එම කලකිරීම තුළ උතුම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝම මොනවාට තැවරිලයි තිබෙන්නේ. පින්වත, අවිද්‍යාව භික්ෂුවට බල කරනවා, අතීත චීවර කන්ද අමතක කරලා, වර්තමානයේ පොරවාගෙන සිටින චීවරය ගැන උදම් අනන්න ය කියලා. භික්ෂුව තුළ වර්තමානයේ වැඩෙන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ භික්ෂුවට සිහිනුවණ දෙනවා, අතීතයේ ගොඩ ගැසූ මහා චීවර කන්ද, අනිත්‍ය වූ ධම්මානුපස්සනාවටම භාර දී, වර්තමානයේ භික්ෂුව පොරවන තුන් සිවුර පමණක් නොවේ, වර්තමාන පැවිද්දත් ධම්මානුපස්සනාවටම ආහාරයක් කොට දෙන්නය කියලා. පින්වත, අවිද්‍යාවේ සිරිත තුන් සිවුරත්, පැවිද්දත් යන අර්ථයන් දෙකම සංස්කාරයන්ට රසවත් ආහාරයක් කොට දී, වර්ණය, සැපය, බලයෙන් පාට වැටෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවා උපයෝගී කොට ගෙන, පැවිදි අපි ලවාම, අපිටම ආස්වාදයේ මැජික් පෙන්වීමයි. පින්වත, පැවිදි අපේ වගකීම විය යුත්තේ, ආස්වාදයට තිත තබා, ආදීනවයේ පොත පෙරළ, පෙරළා සිහිනුවණින් බැලීමයි. පින්වත, කාලයට යන්න දෙන්න. අතීතය සහ අනාගතය ලෝකයට භාර දෙන්න. ඔබ වර්තමානය තුළ පමණක් නැවතී සිටින්න. එවිට ඔබට ලෝකය සංකීර්ණ නැහැ. ලෝකය ඔබට හරිම පහසුයි. ලෝකය ඔබට ළඟත් නැහැ, ලෝකය ඔබට දුරත් නැහැ. වර්තමාන සළායතනයෝ අනිත්‍යයි. එම සිතත් චිත්තානුපස්සනාවෙන් දකින්න. එවිට ඔබ ලෝකයට ළඟත්, දුරත් නැති ධම්මානුපස්සනාවටම ආහාරයක් වෙලා යනවා.

පින්වත, දැනුම යැයි කියන්නේ තෘෂ්ණාවේ උපාදානයන් මොනවාට තැවරුණ පුරවා ගැනීමක් පමණක්මයි. පින්වත, අවබෝධය යැයි කියන්නේ තෘෂ්ණාවේ උපාදානයෝ අදියරෙන් අදියර හිස් කොට ගැනීමයි. පින්වත, උතුම් සම්මා සමාධිමත් සිතින් විනිවිද දකින පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ සැබෑ හැඩරුව යළි යළිත් සිහිනුවණින් දකිමින් අපි ජීවිතයෙන් මුලින්ම හිස් කොට දමන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, අන්‍යශීලවෘත කියන සතර අපා පළිබෝධයේ කුණු හැවයි. පංච උපාදානස්කන්ධයන්ගේ සැබෑ හැඩරුව යළි යළිත් සිහිනුවණින් විනිවිද දකිමින්, දෙවනුව අපි කාම, රාග, පටිඝයෝ ජීවිතයෙන් හිස් කොට දමා, අපි දිව්‍ය සහ මනුෂ්‍ය කාම ලෝකයෙනුත් නිදහස ලබනවා. පින්වත, කාම ලෝකයෙන් සදහටම නිදහස ලැබූ ඔබට තව ඉතිරි වෙලා තිබෙන්නේ එකම එක පටිච්චසමුප්පන්න අනාගාමී බ්‍රහ්ම උපතකට හේතු වන අනුශය පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවක් පමණක්මයි. පින්වත, දැන් ඔබට සිතෙනවා ඇති, තවත් ඔබට ඉතිරි වෙලා තිබෙන්නේ දුකට අදාළව පුංචි බරක් ය කියලා. පින්වත, ඔබ කාම ලෝකයෙන් මිදුණත් ඔබ තුළ තිබෙන්නේ දුකට අදාළ පුංචි බරක් නම් නොවේ. ඔබ දැන් අවබෝධයෙන්ම දන්නවා, අවිද්‍යාවේ බිඳත්, අවිද්‍යාවේ ගොඩත් ජාති, ජරා, ව්‍යාධි, මරණයෝමයි කියලා. පින්වත, යළි යළිත් පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවයමයි අනුශය අවිද්‍යාව ඉදිරියේ ඔබගේ කමටහන වෙන්නේ. කාම, රාග, පටිඝයෝ නිරෝධය කොට ඇති නිසාම, ඔබට කාම සිතුවිලි සහ රාග, පටිඝ සිතුවිලිවල පළිබෝධයෝ නැහැ. පින්වත, අනුශය අවිද්‍යාව ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට තවමත් පණ දෙනවා. පින්වත, අවිද්‍යා නිරෝධා ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ, තණ අග රැඳි පිණි බිඳුවක් හිරු කිරණින් මැකී යන්නා සේ, අවිද්‍යාව මත රැඳී ඇති ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ අවිද්‍යාව නිරෝධයෙන් උපදින විද්‍යාවේ හිරු කිරණින් සලකුණකුදු නොතබාම මැකිලා යනවා. පින්වත, මේ සටහන කියවන කොට ඔබේ සිත සමාධිමත්ව නේද තිබෙන්නේ? පින්වත, මොහොතක් දෑස් පියාගෙන ඔබේ ශරීරය දෙස මනසින් බලන්න. ඔබේ ශරීරය සැහැල්ලු වෙලා නේද? ඔබේ ශරීරය සියුම් වෙලා නේද තිබෙන්නේ? ඔබේ ශරීරය සැහැල්ලු වුණත්, ඔබට ඔබේ ආශ්වාස ප්‍රශ්වාසය පැහැදිලිව අරමුණු වෙනවා නේද? ඔබේ මස් කය සැහැල්ලු වී ඔබේ ආශ්වාස ප්‍රශ්වාස කය හොඳින් අරමුණු වෙන මේ මොහොතේ ආශ්වාස ප්‍රශ්වාස කය හෙවත් කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වත් ඔබගේ නාස් කුහරයෙන් ඉහළට ගන්නා ආශ්වාසය, පෙරළා ප්‍රශ්වාසයෙන් මළ දහමක් බවට පත් වෙන හැටි නුවණින් දකිද්දී, ඔබ තුළින් ඔබ ජීවත් කරවන්නේ උතුම් ධම්මානුපස්සනාවමයි.

පින්වත, ඔබ ඔබම වෙන්න, ඔබ වෙන කෙනෙක් වෙන්න යන්න එපා. අපි හැමෝම අවිද්‍යාව හේතුවෙන් සකස් කොට ගන්නා වූ අතීත සංස්කාරයෝ එකිනෙකට වෙනස්, විවිධාකාරී වූ සංස්කාර ලෝකයකයි ජීවත් වන්නේ. උතුම් සම්මා දිට්ඨියෙන් අපිට කියලා දෙන කර්මය කර්මඵල විශ්වාසය, විවිධාකාරී වූ සංස්කාර ලෝකය, ධර්මයේ උපේක්‍ෂාවෙන් අපිට කියලා දෙනවා. පින්වත, ඔබ අනුන්ගෙන් ඔබේ ජීවිතයට ගත හැකි යහපත් පූර්වාදර්ශයෝ ජීවිතයට එකතු කොට ගෙන, ඔබ තුළ තිබෙන අයහපත් පූර්වාදර්ශයෝ ජීවිතයෙන් බැහැර කොට ගෙන ඔබ, ඔබම වෙන්න. මෙය සටහන් තබන භික්ෂුවට කවදාකවත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙන්න බැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ අයෝමය අතීත කුසල් සංස්කාරයෝත්, මෙය සටහන් තබන භික්ෂුවගේ අතීත පටිච්චසමුප්පන්න කුසල් සංස්කාරයෝත් අහසයි, පොළොවයි වගේ වෙනස්. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ ඥානයන්, ගුණයන් මහමෙරක් වගේ විශාලයි. අපි එම මහමෙර පා මුල තිබෙන කළු ගල් කැටයක් වගේමයි. පින්වත, සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා, “තමන් වහන්සේගේ ජීවිතය හරියට කුටියේ දොරකඩ දමා තිබෙන පා පිස්නාව වගේමයි” කියලා. එම පා පිස්නාවේ රටේ රජතුමාත් දෙපා පිස දමනවා, රටේ දුගී පින්වතාත් දෙපා පිස දමනවා, භේදයක් නැහැ පා පිස්නාව හැමෝටම සමව උපකාර කරනවා වගේ, සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ සම මෙත් සිතින්මයි විවිධාකාර වූ සංස්කාර ලෝකය දෙස බැලුවේ. පින්වත, ජාති, ආගම්, කුල, නිකාය, පක්‍ෂ භේදයන්ගෙන් මොනවාට චංචල වූ අපි, කවදා ද විවිධාකාරී වූ සංස්කාර ලෝකය දෙස ධර්මයේ උපේක්‍ෂාවෙන් බලන්නේ? අපි අපේම ජීවිත දෙස සාංසාරික ඥාතීත්වයෙන් බලන්නේ. පින්වත, මමත්වයේ දැඩිභාවය ජීවිතයෙන් බිම තබන්න. මමත්වයේ දැඩිභාවය ලෝකයට බරක් නැහැ. මේ දෙධර්මයෝම අවිද්‍යාවේ නිවුන් සහෝදරයෝ. ඔබ මමත්වයේ දැඩිභාවය ජීවිතයෙන් බිම තබද්දී, පිංවත් ඔබ තුළ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවයේ දැක්ම ජීවිතයට මුහු වෙනවා. පිංවත නොකිලුටු සම්මා සම්බුද්ධ ශාසනයක, කිලුටු ධර්මයන් වන මාන්නය, අහංකාරකම, උද්ධච්චභාවය ජීවිතවලින් තුනී වෙලා යනවා. පින්වත, මමත්වයේ දැඩිභාවයට තෘෂ්ණාවේ සළුපිළි අන්දවන තාක් කල්, අපේ දැක්ම පිරිසිදු වන්නේ නැහැ. දිට්ඨි විශුද්ධිය අවිද්‍යාවේ සිරකරුවෙක් වෙනවා. ‘මම’, ‘මගේ’ යැයි දකින, විමුක්තිය වහන කුණු හැව තමා තමාවම රජ කරවනවා. පින්වත, තෘෂ්ණාවේ දුර්ගන්ධය සුවඳ විලවුන් සේ දකින අපි, සුවඳ හමන්න යැයි ශරීරයේ තවරා ගන්නේත් පෙරළා අවිද්‍යාවම යැයි දකින්නේ නැහැ. අවිද්‍යාව තවරාගෙන දෙතිස් කුණපයකින් සුවඳ සොයන අපි, උපාදානයන්ට බැඳී යන්නේ, ගින්නට බැඳී යන පළඟැටියෝ වගේමයි.

පින්වත, ඔබේ ජීවිතය කියන්නේ උතුම් ධර්මයක්. එම ධර්මය පටන් ගන්නේ අවිද්‍යාවෙන් රැස් කොට ගන්නා සංස්කාරයන්ගෙන්. එම ධර්මය පටිච්චසමුප්පන්නව භවයට ඥාතීත්වය දක්වන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන් ඔස්සේයි. පින්වත, ධර්මය ‘මම ය’, ‘මගේ ය’ කියලා ගන්න එපා. ධර්මය දෙස ධර්මයේ ඇසෙන්ම බලන්න. මාරයාගේ ඇසෙන් ධර්මය දෙස බලන්න එපා. පින්වත, මාරයාගේ දෑස් අන්ධ කරන්න. ඊට මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා සමාධිමත් සිත යැයි කියන්නේ මාරයාගේ දෑස් අන්ධ කළා ය කියන අර්ථයයි. පින්වත, තාවකාලිකව සම්මා සමාධිය තුළින් මාරයාගේ දෑස් අන්ධ කරද්දී, ඔබ තාවකාලිකව කාමච්ඡන්ද ආදී වූ පංච නීවරණ ධර්මයෝ අන්ධ කළා වෙනවා. එවිට ඔබ තුළ උපදින්නේ සප්ත බොජ්ඣංගයන්ගේ ඇසයි. පින්වත, සති සම්බොජ්ඣංග ධර්මයන් තුළින් දැන් ඔබට පුළුවන් ඔබේ ජීවිතය ධම්ම විචය බොජ්ඣංගය තුළ දිග හැර විවෘත කොට නුවණින් බලන්න. පින්වත, ඔබේ ජීවිතය ධර්මයක් කොට දකින්න. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ…, ජාති, ජරා, ව්‍යාධි, මරණ. පින්වත, ධර්මයක් තුළ ජීවිතයක්, පින්වත, ජීවිතයක් තුළ ධර්මයක්.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

උපුටා ගැනීම – 2024 නොවැම්බර් 17 ඉරිදා දිවයින පුවත්පතින්.