වරදකරුවා නිවැරදි වීමට මාර්ගය කියන දහම.

පින්වත සමාජය තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙන කොට, මුසාවාද, පිසුණු වචන, පරුෂ වචන, සම්පප්‍රලාපයෝ කියන මිච්ඡා වාචාවන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. පින්වත මැතිවරණ කාලයට බොරු කීමේ තරග අපිට දකින්නට ලැබෙනවා. සමහරක් පින්වතුන් දන්නවා බොරුව නැවත නැවත සමාජගත කිරීමෙන් බොරුව ඇත්තක්ම වෙලා යනවා ය කියලා. පින්වත මිච්ඡා සරණක් සොයන සමාජය ඉදිරියේ බොරුව ඇත්තක් කළත්, අවසානයේ සමස්ත ජාතියම ඇත්තක් කොට දකින්නේ බොරුවක්ම නේද? පින්වත අපි ඉදිරියේ තිබෙන්නේ වර්ණය, සැපය, බලය උදෙසා බොරුවෙන් දුවන සමාජයක්. පින්වත ඔබ දන්නවා ද මිච්ඡා වාචාවන්ගේ කෙටි ආස්වාදය පසුපස තිබෙන දීර්ඝ ආදීනවයෝ කොතෙක් ද කියලා? මිච්චා වාචාවන් හේතුවෙන් පින්වත් මනුෂ්‍යයා සකස් කොට ගන්නා ආදීනවයෝ පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මිච්ඡා වාචාවන්ගේ මුල්ම විපාකය තමයි ජනප්‍රියභාවයෙන් පිරිහීම කියලා. පින්වත අපි බොරු කිව්වොත් මනුෂ්‍යයන් අතර විතරක් නොවේ, දෙවියන්, බ්‍රහ්මයන්, අමනුෂ්‍යයන් අතරත් අපිව ජනප්‍රියභාවයෙන් පිරිහීමට පත් වෙනවා. පින්වත බොරු කියන පින්වතාට දෙවියන් කැමති නැහැ. දෙවියෝ ඔහුට ‘සුවපත් වේවා!’ කියලා ආශීර්වාද කරන්නේ නැහැ. පින්වත බොරු කීමේ දෙවැනි විපාකය තමයි අකුසල් අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය දුර්වල වෙලා යනවා. සමාජයෙන් චෝදනා, විවේචන එල්ල වෙනවා. සිල්වත්භාවයෙන් ජයග්‍රාහී ජීවිත පිරිහිලා, එම ජීවිත දුසිල්වත්භාවයෙන් පරාජිත වෙනවා.

පින්වත බොරු කීමේ තුන්වැනි විපාකය තමයි, තම තමන්ගේ බව බෝග සම්පත් පිරිහිලා යනවා. පින්වත අපි සීලයෙන් පිරිහුණොත් අපේ ධර්මානුකූල බව බෝග සම්පත් වන සම්මා සතිය, සමාධිය, ඥාන දර්ශන, විමුක්තිය පිරිහිලාම යනවා. අපි සද්ධර්මයෙන් හිස් පුද්ගලයෝ වෙනවා. පින්වත ගිහි පින්වතුන්ලාගේ ගිහි බව බෝග සම්පත් වන තනතුරු, කීර්ති, ප්‍රශංසා පිරිහිලා ගොස් ආර්ථිකය පිරිහීමට පත් වෙනවා. පින්වත බොරු කීමේ හතරවැනි විපාකය තමයි මරණාසන්න මොහොතේ සිහිමුළාවට පත් වෙලා මිය යනවා. පින්වත යම් පුද්ගලයෙක්ගේ ජනප්‍රියභාවය පිරිහී යද්දී, අතීත අකුසල් සංස්කාරයන්ට ඔරොත්තු දීමේ ශක්තිය දුර්වල වී යද්දී, ධර්මානුකූල බව බෝග සම්පත් සහ ගිහි බව බෝග සම්පත් පිරිහිලා යද්දී, එම පුද්ගලයාට මරණාසන්න මොහොතේ ඉතිරි වෙන්නේ පසුතැවීම සහ විසිරුණු සිතුවිලි පමණක්මයි. පින්වත ජීවිත කාලය පුරාවට කියපු බොරු සහ කරපු බොරු සිහියට නැගෙද්දී, අධර්මයෝ අධර්මයන්ම ජීවිතයට එකතු කොට දෙනවා. පින්වත අවසානයේ අවාසනාවන්ත ඉතිරිය වෙන්නේ සිහිමුළාවට පත් වෙලා මිය යාමයි. පින්වත මරණයෙන් සියල්ල අවසන් වන්නේ නැහැ, පටිච්චසමුප්පන්න නැවත උපතක් තිබෙනවා. පින්වත බොරු කියන්නාගේ සහ බොරු කරන්නාගේ නැවත උපත දුගතියේම වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ විසිරුණු සිතුවිලි සුගතියේ පාර වසා දමනවා. පින්වත බලන්නකෝ බොරු කීමේ සහ බොරු කිරීමේ කෙටි ආස්වාදය මොනතරම් නම් ආදීනවයන්ගේ දුරක් අපිව පටිච්චසමුප්පන්නව අරගෙන යනවා ද? පින්වත ජනප්‍රියභාවයෙන් පිරිහී ගිය සෑම පින්වත් මනුෂ්‍ය චරිතයක්ම ඉහත ධර්මානුකූල අර්ථයටයි යටත් වෙන්නේ. පින්වත අපි කරපු අතීත වැරදි තිබෙන්නේ සිතමින් පසුතැවීමට නොවේ, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින්, අතීත අකුසල් යටපත් කොට ගෙන, යළි කුසලයෙන්, විදර්ශනාවෙන් නැගී සිටීම උදෙසාමයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් සද්ධර්මය වරදකරුවා, වරදකරුවෙක් කරන දහමක් නොව, වරදකරුවාට නිවැරදි වීමට මාර්ගය කියන දහමයි.

පින්වත සිහින අයිති විඤ්ඤාණය නමැති මැජික්කරුවාටයි. උතුම් සම්මා ඥානයෝ අපේ ජීවිතවලට අවබෝධාත්මකව එකතු වෙන තුරු අපි සිහින දකිනවා. පින්වත දහවල් වේවා, රාත්‍රී වේවා අපි දකින සිහින උපදින සරුසාර බිම වන්නේ අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවයි. පින්වත් මනුෂ්‍ය ජීවිතවල සම්මා ඥානයන්ගේ ඉඩෝරය නිසාම ආධ්‍යාත්මික සහ බාහිර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි නිත්‍ය, සැප, සුභ සංඥාවන්ගෙන්ම ගන්නවා. අනාගත පංච උපාදානස්කන්ධයෝ තුළ සතුටින් බැසගෙන, අනාගත රූප, වේදනාවෝ සතුටින්ම ප්‍රාර්ථනා කරනවා. අපි අනාගතයේ යම් දවසක පංච උපාදානස්කන්ධ ධර්මයෝ කෙරෙහි තෘෂ්ණාව සහමුලින්ම නිරෝධය කොට දමයි ද, එදාට අපි සිහින, ලෝකය තුළ තබා, සිහින දකින ලෝකයෙන් සදහටම නිදහස් වෙනවා. පින්වත යළි නූපදින්නම සිහින මිය යද්දී, නාසයෙන් ඉහළට ගන්නා ආශ්වාසයත්, නාසයෙන් පිට කරනා ප්‍රශ්වාසයත් අතර පුංචි කාලය, ජීවිතයත්, මරණයත් අතර තිබෙන පරතරය යැයි දකින ධම්මානුපස්සනාවක් බවටම ඒ උතුම් ජීවිත පත් වෙනවා. එවිට එම ජීවිත, අනිත්‍ය වූ වායෝ ධාතුව, සංස්කාර උදෙසා නොව නිවන උදෙසාම කමටහනක් කොට ගත්තා වෙනවා.

පින්වත බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, ප්‍රණීත, ප්‍රණීත දෙය, විසිතුරු, විසිතුරු දෙය, ලස්සන, ලස්සන දෙය පිරී ඉතිරී යන්න දන් දෙන්න ය කියලා, එවිටයි පෙරළා ඔබට පිරී ඉතිරී යන්න ලැබෙන්නේ කියලා. පින්වත ලකුණ්ටක භද්දිය ස්වාමීන් වහන්සේ උතුම් අරිහත්ඵල අවබෝධය ලැබූ ජීවිතයේදීත් ශරීර උසෙන් අඩු අඟුටුමිටි ශරීරයක් ලැබුවේ, චෛත්‍ය කර්මාන්තයක් උස ප්‍රමාණයෙන් අඩු කොට අඩු ලංසුවක් ඉදිරිපත් කිරීම නිසා ය කියලා ධර්මයේ සඳහන් වෙනවා. ගෞරවණීය සීවලී මහෝත්තමයන් වහන්සේට වඩින වඩින තැන පිරී ඉතිරී යන්න පිණ්ඩපාතය ලැබුණේ අතීත සංසාරයේ තමන් නිපදවූ මී කිරි හට්ටිය, මී කිරි අතිශය හිඟ වූ දැඩි නියං සමයක, ලෝභ සිතින් තොරව බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්න නිසා ය කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, තමන් වහන්සේ දශපාරමී ධර්මයන් පිරූ බෝධිසත්ත්ව අවදියේ දී යමක් දන් දුන්නා ද එය ඉතිරි කොට නොගෙන නිර්ලෝභී සිතින්ම දන් දුන්නා ය කියලා. එම නිර්ලෝභී දාන පාරමිතාවමයි වර්තමානයේ පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය, අපි පූජා කරන සිවුපසයේ අග්‍රම කොටස මුලින්ම ලබන්නේ. පින්වත නිර්ලෝභීව දුන්න දෙයමයි අපි පෙරළා සතුටු සිතින් පිරී ඉතිරී යන්න ලබන්නේ. භික්ෂුව මේවා අත්දැකීමෙන්මයි සටහන් තබන්නේ. යම් ගෞරවණීය පින්වතෙක් සිතනවා නම් මෙය සටහත් තබන භික්ෂුවට සමාජය තුළ පුංචි හෝ ගෞරවයක් තිබෙනවා ය කියලා, එම ගෞරවය දෙවියෙක්, බ්‍රහ්මයෙක් භික්ෂුවට දුන්න දෙයක් නොවේ. එම පුංචි ගෞරවය භික්ෂුව ලබන්නේ, මේ රටේ රජතුමාගේ පටන් අසරණ යාචක පින්වතා දක්වා හැමෝටම භික්ෂුව මෙත් සිතින්, ගෞරවයෙන් ‘සුවපත් වේවා!’ යැයි සිතන නිසාමයි. පින්වත ඉහත හේතුඵල ධර්මයෝ නිසාම, භික්ෂුව පින්වත් ඔබට යම් උතුම් සද්ධර්මයක් දේශනා කළත්, උතුම් සද්ධර්මයක් මේ ඇඟිලි තුඩුවලින් සටහන් තැබුවත් එය පිරී ඉතිරී යන්නමයි දේශනා කරන්නේ, එය පිරී ඉතිරී යන්නමයි සටහන් තබන්නේ. භික්ෂුව හොඳාකාරවම අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන පිරී ඉතිරී යන සහ හිස්භාවයට පත් වෙන කුසල් සහ අකුසල් සංස්කාර සූත්‍රය අත්දැකීමෙන්ම දන්නවා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2024 නොවැම්බර් 10 ඉරුදින දිවයින පුවත්පතින්.