ලෝභ සිත් මහා සාගරයේ ජලය තරම් විශාලය.

පින්වත අපි ගෙවා ගෙන පැමිණි අති දීර්ඝ පටිච්චසමුප්පන්න භව ගමනේ දී අපිට වැඩියෙන් ම මුණ ගැසුණේ බුද්ධෝත්පාද කාලයන් ද? එසේත් නැතිනම් අබුද්ධෝත්පාද කාලයන් ද? පින්වත අපිට මුණ ගැසී තිබෙන බුද්ධෝත්පාද කාලයන් ඉතාමත් පුංචි කාලයක්. අපිට මුණ ගැසී තිබෙන අබුද්ධෝත්පාද කාලයන් මහමෙරක් වගේ විශාලයි. එසේ නම් පින්වතුනි, අපි සංසාරයේ වැඩියෙන් ම පුහුණු කරලා තිබෙන්නේ ධර්මය ද? එසේත් නැතිනම් අධර්මය ද? පින්වත අතීත භව ගමනේ දී සම්මා දිට්ඨිය පුහුණු කළ කෙටි කාලයත්, මිථ්‍යා දෘෂ්ටිය පුහුණු කළ මහමෙරක් වැනි දීර්ඝ කාලයත් අතර වෙනස මොනතරම් ද? පින්වත අපි අතීත භව ගමනේ වැඩියෙන් ම පුහුණු කොට තිබෙන්නේ ලෝභ සිත් ද? එසේත් නැති නම් අලෝභ සිත් ද? පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි ලෝභ සිත් ද, අලෝභ සිත් ද වැඩියෙන් පුහුණු කොට තිබෙන්නේ? පින්වත වර්තමානයේ අපි ඉපදී තිබෙන බුද්ධෝත්පාද කාලයේදීත් සළායතනයෝ නිත්‍යයි කියලා නේද අපි දකින්නේ? සළායතනයන් හේතුවෙන් සකස් වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ නිත්‍යයි කියලා නේද අපි දකින්නේ? පින්වත අතීත සංසාරයක් පුරාවට පටිච්චසමුප්පන්නව අපි පුහුණු කොට ඇති අලෝභ සිත් මහා සාගරයේ ජලයෙන් ජල බිඳුවක් නම්, අපි පුහුණු කොට ඇති පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි ලෝභ සිත් මහා සාගරයේ ජලය තරම් විශාලයි. පින්වත නිවනට පක්‍ෂ වෙන්නා වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් තුළ වැඩි ම වාර ගණනක් සඳහන් වෙන්නේ ‘වීර්යය’ කියන අර්ථයයි. පින්වත සම්මා වීර්යයෙන් තොරව අපි කෙසේ නම් අතීත පටිච්චසමුප්පන්න භව ගමනේ දී පුහුණු කළ උතුම් සම්මා දිට්ඨියේ සහ මිථ්‍යා දෘෂ්ටිය අතර පරතරය ජය ගන්න ද?

පින්වත සම්මා වීර්යය තුළ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය ම බැස ගෙන තිබෙනවා කියලයි භික්ෂුව සටහන් තබන්නේ. පින්වත සති සම්බොජ්ඣංගයෙන් සහ ධම්ම විචය බොජ්ඣංගයෙන් මොනවාට පෝෂණය වූ සම්මා වීර්යය හෙවත් වීර්යය බොජ්ඣංගය පින්වත් ඔබට පාවඩ එළන්නේ ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා, පංච නීවරණයෝ යටපත් වූ සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්තිය දිශාවටමයි. පින්වත මමත්වයේ දැඩිභාවයට රසවත් ආහාරයක් වූ අධි වීර්යයත්, පංච නීවරණයන්ට කට ගැස්මක් වූ හීන වීර්යයත්, ඔබ තුළ ශක්තිමත් වෙන සති සම්බොජ්ඣංගයෙන් සහ ධම්ම විචය බොජ්ඣංගයෙන් පිරිසිදු කොට ගනිද්දී, ඔබ තුළ උපදින්නේ සම්මා වීර්යයයි. පින්වත සම්මා වීර්යය තුළ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව තිබෙන්නට බැහැ. සම්මා වීර්යය සමාධිය, උපේක්‍ෂාව දිශාවටමයි අපිව මෙහෙය වන්නේ. පින්වත මොලෝ සිහියක් නැතිව පින කෙරෙහි තෘෂ්ණාවෙන් කරන කටයුතු තුළ සම්මා වීර්යයක් තිබෙන්නට බැහැ. පංච නීවරණයෝ සම්මා වීර්යයට මාර්ග බාධකයක්මයි. පින්වත අපි සතු අති දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්ගේ ඇසුර නිසා ම, අපේ ඇසට නොපෙනෙන උපේක්‍ෂාවේ සියුම් හිඩැස් තුළිනුත් තෘෂ්ණාව, ඇලීම්, ගැටීම් සහ වේදනාවෝ දිශාවට කාන්දු වෙලා යනවා. පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, මම පින්කම් කරන්නේ පින කෙරෙහි තෘෂ්ණාවෙන් නොවේ” ය කියලා. එම පින්වත් මහත්මයා තෘෂ්ණාවෙන් තොරව පින්කම් කරනවා යැයි ප්‍රකාශ කළත්, එතැන දී තෘෂ්ණාව හැසිරෙන්නේ ‘මම’ කියන වේශයෙන් යැයි කියලා දකින්නේ නැහැ. පින කෙරෙහි තෘෂ්ණාව නැහැ කීවත්, ‘මම’ කියන අර්ථයට හොඳින් තෘෂ්ණාවේ සළුපිළි පලඳවලයි තිබෙන්නේ. පින්වත ‘මම වැරදියි’, ‘මම නිවැරදියි’, ‘මම මධ්‍යස්ථයි’ කියන මේ අර්ථයන් තුන ම අයිති තෘෂ්ණාවටයි. තෘෂ්ණාව යම් තැනක ද එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ තිබෙනවා. පින්වත කාම, රාග, පටිඝයෝ නිරෝධය කළ උතුම් අනාගාමී පින්වතා තුළත් අනුශය වශයෙන් තෘෂ්ණාව සැඟවිලා තිබෙනවා. පින්වත අනාගාමීඵල අවබෝධය තුළත් අනුශය තෘෂ්ණාව හොල්මන් කරන පංච උපාදානස්කන්ධ ලෝකයක් තුළ, උතුම් සෝවාන්ඵල අවබෝධයවත් නො ලැබූ අපිට, තෘෂ්ණාව විකට ඇඳුම් ඇන්දවීම ගැන කුමන කතාවක් ද?

පින්වත මේ දිනවල අ.පො.ස (උ.පෙ.) විභාගයට සූදානම් වන පින්වත් දරුවෝ ස්වාමීන් වහන්සේලා හමුවට ඇවිල්ලා, තම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න යැයි කියලා, ආශීර්වාද ලබා ගන්නවා. “පින්වත් දරුවෙනි, සංඝ සමාජයේ අපි ආශීර්වාද කළා ය කියලා, ඔබලා විභාගවලින් සමත් වෙන්නේ නැහැ. සංඝරත්නය ආශීර්වාද කිරීම තුළින්, පින්වත් දරුවන් තුළ තෙරුවන් කෙරෙහි විශ්වාසය ශක්තිමත් කොට ගන්න. එවිට මෛත්‍රී චිත්තයන් ශක්තිමත් වෙනවා. පින්වත් දරුවන් තුළ තමා කෙරෙහි විශ්වාසය, වීර්යය ශක්තිමත් වෙනවා. දරුවන් තුළින් අකුසල් යටපත් වෙලා පුණ්‍ය සිතුවිලි මතු වෙනවා.” උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ප්‍රධාන ම ආනිශංස ධර්මය තමයි බිය, සැකය, විචිකිච්ඡාව පහ වෙලා තම අධ්‍යාපනික අරමුණු කෙරෙහි හොඳින් සිහිය පවත්වා ගැනීමට හැකි වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, පින්වත් දරුවන්ට අනාගතයේ ඉහළ වෘත්තිකයෙක් වෙන්න අවශ්‍ය නම්, ඒ කියන්නේ හොඳින් විභාග සමත් වෙන්න අවශ්‍ය නම්, මහණ බමුණන්ගෙන් අවවාද අනුශාසනා ලබන්න ය කියලා. ධර්මය සහ අධර්මය, කළ යුත්ත සහ නොකළ යුත්ත අසා දැන ගන්න ය කියලා. අසා දැනගත් යහපතට අදාළව ජීවත් වෙන්න ය කියලා. පින්වත් දරුවෙනි, ඔබ බෞද්ධ දරුවෙක් නම්, ස්වාමීන් වහන්සේලා හමු වෙලා, ඔබ ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් දරුවෙක් නම්, අදාළ පූජකතුමන්ලා මුණ ගැසිලා ආශීර්වාද ලබා ගන්න, කළ යුත්ත, නොකළ යුත්ත කුමක් ද කියලා අසා දැන ගන්න. දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට කීකරු වෙන්න. මේවා තමයි පින්වත් දරුවන්ගේ ජීවිත අධ්‍යාපන ජයග්‍රහණයන් කරා ඔසවා තබන කුසල් නිධි බවට පත් වෙන්නේ. පින්වත් දරුවෙනි, සංස්කාර පච්චයා විඤ්ඤාණං; පින්වත සංස්කාරයන්ට අදාළවයි පින්වත් දරුවන්ගේ දැනීම් සකස් වෙන්නේ. අධ්‍යාපනයට අදාළ ඉහත සංස්කාරයෝ ශක්තිමත් වෙද්දී, පින්වත් දරුවන්ට දැනීම් සකස් වෙනවා අධි වීර්යයෙන් සහ හීන වීර්යයෙන් බැහැර වෙලා මධ්‍යස්ථ වීර්යයෙන් තම තමන්ගේ අධ්‍යාපන විෂය දැනුම ශක්තිමත් කොට ගන්න. ශක්තිමත් විභාග ජයග්‍රහණයක් උදෙසා බිය සහ සැකය පහ වූ, නො විසිරුණු මනසක් අත්‍යවශ්‍ය වෙනවා. පින්වත් දරුවෙනි, මධ්‍යස්ථ වීර්යය යැයි කියන්නේ බෞද්ධ දරුවෙක් නම්, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සහ අන්‍යාගමික දරුවෙක් නම්, තම ආගමික ශාස්තෘන් වහන්සේලාට ගරු කරමින්, හැමෝට ම ‘සුවපත් වේවා!’ යැයි මෙත් සිත පතුරුවමින්, සීලයේ ශක්තිය ජීවිත තුළ ඇති කොට ගනිමින්, ඇති කොට ගන්නා සංසිඳුණු මනසින් ඔබලාගේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමයි. පින්වත් දරුවන් පාඩම් කරන කාලයේ දී දෙමාපියන්ට බොරු කියන්න එපා. සමහර දරුවෝ පාඩම් නොකර ඉඳලා, තමන් පාඩම් කළා ය කියලා දෙමාපියන්ට බොරු කියනවා. පින්වත් දරුවෙනි, මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුත් දෙමාපියන්ට බොරු කීම ඔබලාගේ විභාග ජයග්‍රහණයන්ට අවශ්‍ය කුසල් ශක්තිය මොට කරලා දමන්න පුළුවන්.

පින්වත් ඔබ පොහොසත් කෙනෙක් ද? දුප්පත් කෙනෙක් ද? පින්වත මේ දුප්පත් සහ පොහොසත්භාවය මොනතරම් නම් භේද සමාජය තුළ ඇති කොට දී තිබෙනවා ද? කෙනෙක් ධනපති පන්තිය භංග වේවා යැයි සිතද්දී, තවත් කෙනෙක් දුප්පත් පන්තිය අපේ සූරා කෑම උදෙසා ම යැයි සිතනවා. කෙනෙක් ධනපති පන්තියට ආදරය කරද්දී, තවත් කෙනෙක් දුප්පත් පන්තියට වෛර කරනවා. පින්වත මනුෂ්‍ය ජීවිත තුළින් උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වෙද්දී, පොහොසත්භාවයට සහ දුප්පත්භාවයට අපි ආත්මීය දෘෂ්ටියේ සළුපිළි අන්දවනවා. පින්වත ධනවත්භාවය සහ දුප්පත්භාවය සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන හේතුඵල ධර්මතාවයක්. පින්වත පොහොසත්භාවය සහ දුප්පත්භාවය ඔබට අයිති නැහැ. පොහොසත්භාවය සහ දුප්පත්භාවය අයිති අවිද්‍යාවට. පින්වත අවිද්‍යාවට අයිති දේවල් ඔබ මගේ කොට ගන්න එපා. අවිද්‍යාවට අයිති දේවල් ඔබ මගේ කොට ගත්තොත්, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ ඔබේ උරුමය බවට ම පත් වෙනවා. පින්වත මේ ජීවිතයේ දී මහා මාලිගාවල ජීවත් වන ධනවතුන් දුශ්ශීල ව ලෝභ සිත් වඩලා, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී, පොල්අතු පැලක උපදිනවා. මේ ජීවිතයේ දී දුප්පත් මනුෂ්‍යයා තමන්ට තිබෙන දෙය කර්මය කර්මඵල විශ්වාසයෙන්, සිල්වත් ව දන් දීලා ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී මහා මාලිගාවල උපදිනවා. පින්වත දුප්පත් සහ පොහොසත්භාවය යැයි කියන්නේ සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්. අපිව රවට්ටවන අනිත්‍ය වූ සංස්කාරයන්ගේ මායාවක්. අපි හැමෝම මේ මායාවට රැවටිලා, ධනවත් වෙන්න සංස්කාරයන්ගේ මව්දෙමාපියන් වන අවිද්‍යාව ම තව තවත් සරණ යනවා. පින්වත සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ ධනවත් පවුලක ඉපදිලා, ධනවත්භාවය ලෝකය තුළ තියලා උන්වහන්සේ ලෝකයෙන්, අවිද්‍යාවෙන් නිදහස් වුණා. පින්වත සුනීත, සෝපාක මහෝත්තමයන් වහන්සේලා අන්ත දුප්පත් පවුල්වල ඉපදිලා, දුප්පත්භාවය ලෝකය තුළ තියලා උන්වහන්සේලා ලෝකයෙන්, අවිද්‍යාවෙන් නිදහස් වුණා. පින්වත අපි කවදා ද මේ දුප්පත්භාවය සහ පොහොසත්භාවය ලෝකය තුළ තියලා ලෝකයෙන් නිදහස් වෙලා යන්නේ? පින්වත දුකෙන් පිරි අවිද්‍යා ලෝකයට අයිති දුප්පත්භාවය සහ පොහොසත්භාවය ලෝකය තුළ තබා, ඔබ නිදහස් වෙලා යන්න. ඊට එක ම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත මොහොතක් දෑස් පියාගෙන මේ මුළු ලෝකයේ ම ජීවත් වන ධනවත්, මහේශාක්‍ය, පින්වත් මනුෂ්‍යයෝ සිහියට නගා ගෙන, ‘සුවපත් වේවා!’ යැයි මෙත් වඩන්න. පින්වත මුළු ලෝකයේ ම ජීවත් වන දුප්පත්, අසරණ, පින්වත් මනුෂ්‍යයෝ සිහියට නගාගෙන ‘සුවපත් වේවා!’ යැයි මෙත් වඩන්න. පින්වත් ඔබ තුළ වැඩුණ සෑම මෛත්‍රී චිත්තයක් ම අනිත්‍ය යැයි චිත්තානුපස්සනාවෙන් දකින්න. මෛත්‍රියය නිසා ඔබ තුළ සකස් වූ සෑම සැප වේදනාවක් ම අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ විඳීමක් යැයි වේදනානුපස්සනාවෙන් දකින්න. මේ සියලු ධර්මතාවයෝ, මේ සියලු සංස්කාරයෝ, මේ සියලු ධනවත්, දුප්පත් රූපස්කන්ධයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන් දකින්න. පින්වත අතීතයේ කල්ප විනාශයන් දස දහස් ගණනක් සිද්ධ වුණත්, ඉවරයක් නැති පොහොසත් සහ දුප්පත් සංස්කාර තට්ටු මාරුව ලෝකය තුළ තබා ඔබ ලෝකයෙන් මැකී යන්න.

පින්වත අපි ජීවත් වන පුණ්‍යවන්ත මාතෘභූමිය උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල කොටගත් මිච්ඡා ගමනක් යන්නේ. මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අයිති ලෞකික සැපයන් ලබා දෙන එක ම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පල නොකියා පළා බෙදන සමාජයක් අපි ඉදිරියේ ගොඩ නැගෙමින් පවතිනවා. පින්වත සද්ධර්මයට ගරු කරන ඔබ සමාජගත වන අධර්මයන් දැකලා නොමනා කලකිරීම් ඇති කොට ගන්න එපා. අධර්මයන් ඉදිරියේ ඔබ නොමනා කලකිරීම් ඇති කොට ගෙන නිහඬ වුණොත්, ඔබත් විනාශයටමයි පාවඩ එලුවා වෙන්නේ. පින්වත ඔබ තුළ මතු වෙන කලකිරීම්, නිවැරදිභාවය උදෙසා හෝ ඔබේ අවබෝධය උදෙසා ම විය යුතුයි. ඔබ තුළ මතු වෙන කලකිරීම් නිවැරදිභාවය උදෙසා හෝ අවබෝධය උදෙසා යොමු කොට නො ගෙන, ඔබත් සමාජයෙන් සැඟවී සිටියොත්, කෙටි ආස්වාදයෝ ඉදිරියේ ලබන දීර්ඝ ජාතික ආදීනවයෝ, අනාගතයේ දී අතිශය බරපතළ වේවි. පින්වත් ඔබ ධනවත් රටක් සහ ජනතාවක් ගොඩ නගනවා වගේ ම, ජනතාව මිථ්‍යා දෘෂ්ටියෙන් සහ පරලොව දුගතියෙන් මුදවා ගැනීමේ පූර්වාදර්ශයන් සමාජගත කරන්න ඕනේ. මේ ජීවිතයේ දී ධනවතෙක් වෙලා, ඊළඟ ජීවිතයේ දී සතර අපායට නම් වැටෙන්නේ, ඔබ ලැබූ ධනවත්භාවය මිච්ඡා ධනවත්භාවයක්මයි.

පින්වත බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට තිබෙනවා, “මහණෙනි, සමාජයේ යහපතට හේතු වෙන සම්මතයන්, පුරුදු, පුහුණු වෙනස් කරන්න යන්න එපා” ය කියලා. ජ්‍යෝතිෂ විද්‍යාව, බුදු දහම බැහැර කළත්, ශ්‍රාවක අපි, සිංහල අලුත් අවුරුද්දේ ජනතාව පිළිපදින නැකැත් ශාස්ත්‍ර එපා කියන්නේ නැහැ. ඒවා සමාජයට බැඳුණ, සමාජයේ යහපතට හේතු වෙන දේවල්. පින්වත් දරුවෙක් වැඩිහිටියෙකුට වන්දනා කරද්දී, අපි එම පින්වත් දරුවාට වඳින්න එපා කියන්නේ නැහැ. වැඩිහිටි වන්දනාව මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක්, අදාළ වැඩිහිටියාටත්, දරුවාටත් ලබා දෙන ධර්මතාවයක්. පින්වත ගෙවී ගිය ලෝක ළමා දිනයේ දී මොන නායක පින්වතා ද, මොන ගෞරවණීය ගුරුවරයා ද තම පාසලේ දරුවන්ට, දෙමාපියන්ට සහ ගුරුවරුන්ට වන්දනා කිරීමේ වටිනාකම කියලා දුන්නේ? දරුවෙනි, ඔබේ දෙමාපියන් මහා බ්‍රහ්මයන් යැයි කියලා දුන්නේ? පින්වත් දරුවන්ගේ ජීවිතවලට ලබා දිය හැකි මිල කළ නොහැකි මහා කුසල් නිධි අවිචාරයෙන් බැහැර කරලා, එක ම වේග රිද්ම සංගීතයට පින්වත් පිරිමි, ගැහැනු සිසු දරුවන් සහ පින්වත් ගුරුවර, ගුරුවරියන් නටන, ගයන පංච නීවරණ අකුසල්වලින් සිසු, ගුරු ජීවිත පුරවා ගන්නවා. පින්වත සම්මා දිට්ඨිය හඳුනන නායකයන්ගේ ඉඩෝරය නිසා ම, ජාතියක් හැටියට අපි මේ විනෝද වෙමින් යන්නේ කාමයේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ දිශාවට නේද? පින්වත “අධර්මයෝ අධර්මයෝ ම වඩත්”, මේවා යළි නිවැරදි කොට ගන්න ලේසි වෙන්නේ නැහැ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2024 ඔක්තෝබර් 20 වන ඉරුදින දිවයින පුවත්පත.