ආනිශංස ධර්මයෝ හොඳින් හැසිරෙන මොහොතක්.

පිංවත “ධර්මයෝ ධර්මයෝ ම වඩත්, අධර්මයෝ අධර්මයෝ ම වඩත්” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත ඔබ මෛත්‍රියය වඩන්න, එවිට සමාජය තුළ මෛත්‍රියයේ ආනිශංස ධර්මයෝ ම වැඩිලා යාවි. පිංවත ඔබ සිල්වත්භාවය ම ජීවිතවලට එතකු කොට ගන්න, එවිට සීලයේ ආනිශංස ධර්මයෝ ම සමාජය තුළ වැඩිලා යාවි. පිංවත ඔබ දානය, ත්‍යාගය ම ජීවිතයට පුහුණු කරන්න, එවිට සමාජය තුළ වර්ණය, සැපය, බලයේ ආනිශංස ධර්මයෝ ම වැඩිලා යාවි. පිංවත බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කොට ගැනීමට පෙරාතුවත් දඹදිව සමාජයේ මෛත්‍රියය, සීලය, දානයේ අර්ථයන් තිබුණා. ඒ විතරක් නොවේ, රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන ලබා ගත් ධ්‍යානලාභීනුත් සිටියා. පිංවත මෛත්‍රියය, සීලය, දානය, සමාධිය, මේ සියල්ල ම අයිති ලෝකයට. පිංවත ලෝකය තුළ අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා ම තිබෙනවා. අනිත්‍ය වී යන සැප සහ දුකත් තිබෙනවා. පිංවත මේ මොහොතේ සමාජය තුළ මෛත්‍රියයේ, සීලයේ, ත්‍යාගයේ ආනිශංස ධර්මයෝ හොඳින් හැසිරෙන මොහොතක්. අනේ! මේ පුණ්‍යවන්ත මාතෘභූමිය තවදුරටත් බංකොලොත් කරන්න එපා යැයි, අතීතයේ සමස්ත ජනතාව තුළ ඇති වූ, මේ පුණ්‍යවන්ත මාතෘභූමිය කෙරෙහි මෛත්‍රී චිත්තයන් මොනතරම් ධර්මයෝ, ධර්මයෝ ම වඩත් ය යන අර්ථයන්ට ශක්තියක් වෙලා ද? පිංවත නමුත් මෛත්‍රියයට, සීලයට, දානයට අදාළ ඒහිපස්සික සංස්කාරයෝ සියල්ල ම වෙනස් වෙලා යනවා. කරුණාකර වර්තමානයේ සමාජගත මෛත්‍රියයේ, සීලයේ, දානයේ ආනිශංසයන්ගේ ආස්වාදයන්ට යට වී, තම ජීවිතවලින් මෛත්‍රියයේ, සීලයේ, දානයේ පුරුදු සහ පුහුණු අමතක කොට දමන්න එපා.

පිංවත මේ ගෙවී යන්නේ පුණ්‍යවන්ත සුන්දර වස්සානයේ අවසාන සතිය. අදත් උදෑසන පිණ්ඩපාතය බෙදන්න පිණ්ඩපාත මඩුවට සියයකට වැඩි පිරිසක් පැමිණ සිටියා. දවසින් දවස අලුත් මුහුණු. මේ පිංවතුන් කොහේ සිට පැමිණෙනවා ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. භික්ෂුව පැමිණෙන හැමෝගේ ම සිත් පිරෙන්න පිං අනුමෝදන් කරලා, ඒ සෑම සිතුවිල්ලක් ම අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ සිතුවිලි යැයි චිත්තානුපස්සනාවත්, එම චිත්තානුපස්සනාවත් අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් යැයි පිණ්ඩපාත මඩුවේ හැමෝට ම කියලා දීලා, පිණ්ඩපාත මඩුවේ දී භික්ෂුවගේ ඵස්සයට දැක්ක, ඇසුණ, දැනුණ සියලුම ධර්මතාවයෝ ධම්මානුපස්සනාවට ම ආහාරයක් කොට දීලා, භික්ෂුව පෙරළා කුටියට වඩිනවා. පිංවත ලෝකය යම් තැනක ද, එතැන ඵස්ස, වේදනා, තෘෂ්ණා, උපාදානයෝ තිබෙනවා. එම නිසා ලෝකය පරිහණය කරන්න ඕනේ හරි ම පරිස්සමින්. පිංවත් ඔබත් ලෝකය පරිස්සමින් පරිහණය කරන කෙනෙක් ද? එසේත් නැතිනම් අරපරිස්සමින් ලෝකය, භවය දිශාවට පරිහරණය කරන පිංවතෙක් ද? පිංවත ලෝකය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන කාරණා පහට. ඉහත කාරණා පහ ම, අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන, අනිත්‍ය වූ සංස්කාරයන්ගේ හේතුඵල ධර්මතාවයන් නිසා ම, මේ සියලු ධර්මතාවයෝ සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියා හේතුවෙන් කැඩී, බිඳී, විසිරී, වෙනස් වෙලා යනවා. පිංවත ඵස්සය යැයි කියන්නේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේත් එකතුවට. පිංවත ඔබේ ඵස්සය හේතුවෙන් ඊයේ දවසේ ඔබ තුළ සිතුවිලි කී දහසක් ඇති වුණා ද? පිංවත මුළු ජීවිත කාලය තුළදී ම ඔබ තුළ සිතුවිලි කී දහසක් ඇති වුණා ද? අතීත එක ම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති ද? අතීතයේ ඔබ තුළ ඇති වූ එක ම සිතුවිල්ලක්වත් ඔබට දැන් අයිති නැහැ නේද? නමුත් ඔබ එම සෑම සිතුවිල්ලක් ම ‘මම ය’, ‘මගේ ය’ කියලා ගත්තා නේද? එම සිතුවිලි තුළ මා සිටිනවා, මා තුළ එම සිතුවිලි තිබෙනවා යැයි ගත්තා නේද? පිංවත අනිත්‍ය වූ රූපය ඇසුරින් සකස් වූ සිතුවිලි නිත්‍ය, සැප, ආත්මීය වශයෙන් ගත්ත නිසා ම, පිංවත් ඔබ මොන ම ක්‍රමයකින්වත් ගැලවීමට, මිදීමට බැරි මහා බැඳීම් ගොඩකට, වගකීම් ගොඩකට වර්තමානයේ බැඳී ගිහින් නේද? පිංවත ඔබ මේ අසිහියෙන් බැඳී ගිහින් තිබෙන්නේ අනිත්‍ය වූ රූපයකට, විඳීමකට, හඳුනා ගැනීමකට, සංස්කාරයකට, දැනීම්වලට නේද? පිංවත කලබල වෙන්න එපා, ලෝකයේ පැවැත්මට බැඳීම් අත්‍යවශ්‍ය වෙනවා. බැඳීම් මෙන් ම නිදහස් වීමට යොමු වීමත් ලෝකයේ ම කොටසක්. අවිද්‍යාවෙන් පරිපූර්ණ වශයෙන් නිදහස් වීම පමණක්මයි ලෝකයෙන් නිදහස් වුණා වෙන්නේ. පිංවත ඔබ අතීතයේ ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීම හේතුවෙන් නිත්‍ය, සැප, සුභ, ආත්මීය වශයෙන් ගත්ත සිතුවිලි නිසා ම, වර්තමානයේ ඔබ ඇති කොට ගෙන තිබෙන බැඳීම් සහ බැඳුණු වගකීම්, පින උදෙසා, දශකුසල් ධර්මයන් උදෙසා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය උදෙසා කැප කරන්න. පිංවත ඔබේ බැඳීම් සහ වගකීම් නිවන් මාර්ගය උදෙසා ම කැප කරන්න දක්‍ෂ වෙන්න. එවිටයි ඔබේ බැඳීම් නිවන් මාර්ගයට උපකාරක ධර්මයන් බවට පත් කොට දෙන්නේ.

පිංවත පසුගිය දවසක ක්‍රීඩාවට ගොඩාක් කැමති වයෝවෘද්ධ මහත්මයෙකුට ලොකු අකරතැබ්බයක් සිදු වෙලා. තමන් කැමති ම ක්‍රිකට් තරගයක් රූපවාහිනියෙන් නරඹන කොට තරගයේ උණුසුම් ම අවස්ථාවේ විදුලිය විසන්ධි වෙලා. ක්‍රීඩා තරග නැරඹීමට තෘෂ්ණාධික මහත්මයාගේ කැමැත්ත, විදුලිය විසන්ධි වීමෙන් ගැටෙන සිතක් බවට පත් වීම නිසා, මේ සෙල්ලක්කාර වයෝවෘද්ධ මහත්මයාට හෘදයාබාධයක් හැදිලා රෝහල්ගත කරලා. හැබැයි ඉතින් මරණීය සංස්කාරයෝ ක්‍රියාත්මක නො වීම නිසා ම, මහත්මයාට සුවය ලැබිලා. පිංවත ඔබත් කිනම් හෝ ක්‍රීඩාවක් උවමනාවට වඩා තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් පිංවතෙක් ද? පිංවත තෘෂ්ණාව තිබෙන තැන උපාදානයෝ, භවය, උපත, ජරා, ව්‍යාධි, මරණයෝ තිබෙනවා. සමහර පිංවතුන්ලා සිටිනවා තමන්ගේ ලේ, මස්, ඇට, නහරවලට ක්‍රීඩාව බද්ධ වෙලා; සමහර පිංවතුන්ලා නොකා, නොබී, රැකියාවට, ව්‍යාපාරයට නොයා මැච් බලනවා, අධ්‍යාපනය නොතකා හැරලා ක්‍රීඩාවට යොමු වෙනවා. පිංවත වර්තමානයේ ක්‍රීඩාව හොඳ ආදායම් ලබා දෙන ව්‍යාපාරයක්. ඒ නිසා ම තරගකාරීත්වය වැඩියි, ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයන් ඉහ වහා ගිහිල්ලා. පිංවත ක්‍රීඩාවට මුල් වෙන රූපයත්, ක්‍රීඩා පෞරුෂත්වයට මුල් වෙන සංස්කාරයෝත් අයිති අවිද්‍යාවට නිසා ම, ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩාව නැරඹීම හේතුවෙන් සකස් වෙන විඳීම් ඉදිරියේ පිංවත් ඔබ පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “සෙල්ලම් කරන දේව නිකායක් තිබෙනවා” ය කියලා. මේ සෙල්ලම් කරන දේව නිකායේ දෙවියන්ගේ සෙල්ලම් තෘෂ්ණාවේ බලවත්භාවය නිසා ම, ක්‍රීඩා උපාදානයෝ ඉහ වහා ගිහිල්ලා නොකා, නොබී සෙල්ලම් කරනව ලු. “තම ක්‍රීඩා උපාදානයෝ කෙරෙහි බැඳී යාම නිසා ම, මෙම සෙල්ලම් කරන දේව නිකායේ දිව්‍ය, දිව්‍යාංගනාවන්ට කන්න බොන්න අමතක වෙලා, කුසගින්න, පිපාසය හේතුවෙන් ම එම දිව්‍ය ජීවිතවලින් චුත වෙලා, ගැටෙන සිතින් සතර අපායන්ට වැටෙනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත එම සෙල්ලම් දෙවියන්ගේ ක්‍රීඩා උපාදානයෝ බලවත් නිසා ම, ක්‍රීඩාව තුළින් සකස් වෙන විඳීමයි ආහාරය කොට ගන්නේ. නමුත් එය දිව්‍ය ජීවිතයේ ආයුෂයට, පැවැත්මට හේතු වෙන්නේ නැහැ. ආහාර නො ගෙන ක්‍රීඩා කිරීම නිසා ම, කුසගින්නෙන් ම ඉහත සෙල්ලම් දෙවියෝ තම දිව්‍ය ජීවිත තුළින් චුත වෙලා යනවා. පිංවත මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන ඔබත් ක්‍රීඩාව ආහාරය කොට ගත් කෙනෙක් ද? සමහර දෙමාපියන් තම දරුවන්ට බණිනවා, “මේ දරුවා කන්නේ, බොන්නේ නැහැ සෙල්ලම් කරනවා” යැයි කියලා. සමහර පිංවතුන් ගෙදර ආහාර තිබිය දී කන්නේ, බොන්නේ නැතිව, මැච් බලනවා. පිංවත ක්‍රීඩාව උපාදානය කොට ගත් කල්හි ක්‍රීඩාවමයි ඔබේ ආහාරය වෙන්නේ. එය ඔබේ තෘෂ්ණාව සංසිඳෙව්වත්, එය ඔබේ කායික පැවැත්මට අනතුරක්මයි. පිංවත ඔබ නොකා, නොබී සීමාව ඉක්මවා ක්‍රීඩාව උපාදානය කොට ගත්තොත්, මරණාසන්න මොහොතේ ‘මැච්’ උපාදානයෝ මතු වී ඔබ පටිච්චසමුප්පන්නව සෙල්ලමට ඇබ්බැහි වූ අදාළ දේව නිකායේ සෙල්ලම් කරන දෙවියෙක්, දිව්‍යාංගනාවක් වෙලා උපදින්න පුළුවන්. හැබැයි ඉතින් එම දේව නිකායේ උපදින්නත් ඔබ තුළ සීලයේ ශක්තිය තිබෙන්නට ඕනේ. පිංවත ජාත්‍යන්තරය තුළ මහා ආදායම් මාර්ගයක් බවට පත් කොට දී තිබෙන ක්‍රීඩාව, අවිද්‍යාව හේතුවෙන් සකස් වූ ප්‍රණීත සංස්කාරයන්ගේ ම ඵලයක් නිසා, ක්‍රීඩාව ඇසුරින් සකස් වෙන දැනීම් ඉදිරියේ පිංවත් ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. බඩගින්නේ චුත වෙලා සතර අපායට වැටෙන සෙල්ලම් දෙවියෙක් නම් වෙන්න එපා. පිංවත නිරෝගීභාවය උදෙසා, ජය, පරාජය මධ්‍යස්ථ සිතින් පිළිගැනීම උදෙසා, යහපත් පෞරුෂත්වයක් උදෙසා ක්‍රීඩාව ඔබට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. පිංවත ඔබ ක්‍රීඩා කරන්න, ක්‍රීඩාවක් නරඹන්න, හැබැයි ඔබේ ක්‍රීඩාව කෙරෙහි තෘෂ්ණාවට උපාදානයෝ සමග සෙල්ලම් කරන්න නම් දෙන්න එපා.

පිංවත ඔබ ලස්සනට කැමති කෙනෙක් ද? ඔබ දන්නව ද ලස්සන තුළ අපිට නො පෙනෙන අතීත සීලයේ, මෛත්‍රියයේ, ත්‍යාගයේ ආනිශංස ධර්මයෝ සැඟවිලා තිබෙනවා ය කියලා. පිංවත ලස්සන රූපයක් ඉදිරියේ ඔබ ඉහත ධර්මානුකූල අර්ථය තේරුම් ගත්තොත් පමණක්මයි, ඔබේ ලස්සනට ඔබ පෙරළා සීලයෙන් ම, මෛත්‍රියයෙන් ම, ත්‍යාගයෙන් ම කෘතවේදී වෙන්නේ. පිංවත කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙන සමාජයක, ලස්සන ආත්මීය දෘෂ්ටියෙන් දකින්න සමාජය පෙළඹෙනවා. ලස්සන රූපයකට මුල් වූ හේතුඵල ධර්මයන් නො දැක, ලස්සන රූපය, ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි දකිනවා. රූපය කෙරෙහි මමත්වයේ දැඩිභාවය, ලස්සන අභිබවා ඉදිරියට එද්දී, ඔබේ මෝහයයි තව තවත් ලස්සන වෙන්නේ. පිංවත එවිට අපි අපේ ස්වාභාවික ලස්සන ජීවිතය තුළින් සොයන්නේ කෘත්‍රිම ලස්සනක්. එවිට අපි මෝස්තරකරණය, රූපලාවණ්‍යයන් තුළින් ශරීර පාට කොට ගන්නවා. හිස කෙස් පාට කොට ගන්නවා, කන් විතරක් නොවේ, දිවත් විදලා තෝඩු දමා ගන්නවා, නො මනා, නො ගැළපෙන ඇඳුම් පැලඳුම් පරිහරණය කරනවා. මෙය සටහන් තබන භික්ෂුව පෙර පිනට ලැබුණ භික්ෂුවගේ රූපය බොහෝ ම පරිස්සමින්, විනයානුකූලවයි පරිහරණය කරන්නේ. භික්ෂුව පොරවන සිවුර බොහෝ ම සිහිනුවණින් පරිහරණය කරන්නේ. පිංවත් ඔබ දන්නව ද, ඒ ඇයි කියලා. භික්ෂුව සද්ධර්මය ශ්‍රවණය කරන නිසා ම, සද්ධර්මය නුවණින් මෙනෙහි කරන නිසා ම භික්ෂුව දන්නවා, පටිච්චසමුප්පන්නව සංසාරයේ භික්ෂුව නිර්වස්ත්‍ර ප්‍රේත ජීවිත ලබලා තිබෙනවා ය කියලා. භික්ෂුව තිරිසන් ලෝකවල ඉපදුණ වෙලාවේ නිරුවතින්මයි ගත කලේ ය කියලා. අතීත වනචාරී යුගවල දී අඩ නිරුවතින්මයි ජීවත් වුණේ ය කියලා. පිංවත සිහිනුවණ, විනය දුර්වල වුණොත්, මේ පටිච්චසමුප්පන්න අතීත දැනීම් වර්තමානයේ යළි මතු වෙන්න පුළුවන්. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට අවවාද කරන්නේ, ප්‍රත්‍යවේක්‍ෂාවෙන් සිවුර පරිහරණය කරන්න ය කියලා. මම මේ චීවරය පොරවන්නේ, මාගේ ශරීරය ලස්සන කරන්න, හැඩවැඩ කරන්න, මෝස්තරකරණය කරන්න නොවේ, මා මේ චීවරය පොරවන්නේ ශරීරයේ ලජ්ජා, භය ඇති තැන් වසා ගෙන, අව්ව, වැස්ස, ශීතලෙන්, මැසි, මදුරුවන්ගෙන් ආරක්‍ෂා වෙලා නිවන් මඟ තරණය කරන්න ය කියලා. පිංවත ඉහත චීවර ප්‍රත්‍යවේක්‍ෂාව භික්ෂුව අමතක කළොත්, භික්ෂුවට තම ශරීරයේ ලජ්ජා, බිය දැනෙන තැන් බාහිරට පෙනෙන්නට සිවුර පොරවන්න දැනීම් සකස් වෙන්න පුළුවන්. පිංවත් ගිහි සහ පැවිදි හැමෝ ම, ඇඳුම් පැලඳුම් පරිහරණය කළ යුත්තේ ශරීරයේ ලජ්ජා, බිය ගෙන දෙන තැන් වසා ගැනීම උදෙසාමයි. එවිටයි ඔබ උතුම් තෙරුවන්ට ගරු කළා වෙන්නේ. එසේ නො වුණොත්, දිග කලිසම, තුන් කාලේ කලිසමක් වී, තුන් කාලේ කලිසම කොට කලිසමක් වී, කොට කලිසම යට ඇඳුමක් වී අවසානයේ අපි අඩ නිරුවතට, නිරුවතට ලජ්ජාව, බිය නැති වනචාරී යුගවලට නැවත යන්න පුළුවන්.

පිංවත මෝස්තරකරණයේ නාමයෙන් වර්තමානයේ ලෝකගත වෙන්නේ, අපේ ම පටිච්චසමුප්පන්න සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය, පිනෙන් නවීකරණය වීමේ හේතුඵල ධර්මයෝමයි. පිංවත අතීත භවයේ භික්ෂුව හරක් හංවඩු ගහපු කෙනෙක් නම්, භික්ෂුවට මේ ජීවිතයේ දී සිය කැමැත්තෙන් ම ශරීරය පච්ච කොටා ගන්න දැනීම් සකස් වෙන්න පුළුවන්. පිංවත මේ සටහන් කියවලා පිංවත් ඔබ කලබල වෙන්න එපා. භික්ෂුව ගැනයි, භික්ෂුව සටහන් තැබුවේ. පිංවත් ඔබේ ඇලෙන සහ ගැටෙන සිතුවිලි ගැන ඔබට ම පරීක්‍ෂාවීම උදෙසාමයි භික්ෂුව මෙවැනි සටහන් තබන්නේ. භික්ෂුවට සමා වෙලා ඔබ තුළ ගැටෙන සිතක් ඇති වුණා නම්, එම සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. එවිට පිංවත් ඔබ මේ වනවිටත් ශරීරයේ පච්චයක් කොටා ගෙන තිබෙනවා නම්, එයට ධර්මානුකූල වටිනාකමක් දුන්නා වෙනවා. පිංවත විවිධාකාර සංස්කාරවලින් පිරුණු ලෝකය වරද්දා ගනිමින්, ඉගෙන ගනිමින්, නිවැරදි වීම උදෙසාමයි. අපි කවුරුවත් වැරදිකරුවන් හෝ නිවැරදිකරුවන් නොවේ. අපි සියල්ලෝ ම පටිච්චසමුප්පාද ක්‍රියාන්විතයේ සිරකරුවන් පමණක් ම ය. පිංවත ඔය සකස් වුණ සිතත් කරුණාකර චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. මේ මොහොත එවිට, ඔබ සංස්කාරයන්ට වැට බැන්දා වෙනවා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2024 ඔක්තෝබර් 13 ඉරුදින දිවයින පුවත්පත.