පිළිතුර :-
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතයේ දී කාරණා තුනකින් ඔබ පරිපූර්ණ නම් චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලයි. මොනවද ඒ කාරණා තුන….?
■ පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව.
■ දෙවන කාරණය තමයි වීර්යය.
■ තුන්වන කාරණය හිරිඔතප්.
මේ කාරණා තුනෙන් මහත්තයා පරිපූර්ණ නම් මහත්තයාට මේ ජීවිතයේ දී ම චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොතැනකවත් බුදුරජාණන් වහන්සේ පාරමී ප්‍රශ්නයක් මතුකරන්නේ නැහැ. එතකොට අපි පාරමී ප්‍රශ්නයක් මතුකර ගන්නේ කුමක් නිසාද..? ඔබ තුළ ශ්‍රද්ධාව සකස් වෙලා නැති නිසා. මේ ශ්‍රද්ධාව තුළ තමයි මහත්තයො අපිට මේ මාර්ගය අපි යා යුතු ගමන අපට පැහැදිලි කරල දෙන්නේ. තේරුණාද…?
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ අසංඛෙය්‍ය කල්ප ලක්‍ෂ කෝටි ගණනාවක් ඈත ඉඳන් ආපු ගමනක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහ පොළොවේ තියෙන මුළු පස් ප්‍රමාණයම අරගෙන ඒක වෙරළු ගෙඩි ගානට ගුළි කරන්න කියලා. මේ මුළු මහ පොළොවෙම තියෙන පස් මහත්තයො ගුළි කරල එක වෙරළු ගෙඩිය එක වෙරළු ගෙඩිය අයින් කරන්න කියනවා. මේ මම ගෙවාගෙන පැමිණි එක කල්පයක්, මේ මම ගෙවාගෙන පැමිණි දෙවන කල්පය…. ආදී වශයෙන් මෙහෙම වෙරළු ගෙඩි කල්පෙ, කල්පෙ වෙනුවෙන් අයින් කරල බලන කොට වෙරළු ගෙඩි ඉවර වෙනවා. අපි ගෙවාගෙන ආපු කල්ප ප්‍රමාණය ඉවර වෙන්නේ නෑ කියනව.
එහෙමනම් මහත්තයො මොනතරම් දීර්ඝ කාලයක් අපි සංසාරයේ ඇවිල්ල තියෙනවද..? ඒ ආවා වූ ගමනේ දී මහත්තයාට බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගාණක් මුණගැසී තියෙනව කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිල බුදුරජාණන් වහන්සේලා ධර්මය දේශනා කරන වෙලාවල්වල දී මහත්තය ඒ බණ හොඳින් අහල බුදුරජාණන් වහන්සේ ගාථා පද තුනක් කියද්දී මට දැන් ප්‍රමාද වෙනව කියලා මහත්තයා නැගිටලා ගිහිල්ලා තියෙනවා. හතරවෙනි බණ පදය ඇහුව නම් මහත්තය සෝවාන් ඵලයට පත් වෙනව. හතරවන බණ පදය අහන්න හිටියෙ නැහැ. ඒ වගේ ශක්තිමත් තැන් අතීතයේ තියෙනව මහත්තයෝ.
සමහර සම්මා සම්බුද්ධ ශාසනවල මහත්තයා උතුම් පැවිදි උපසම්පදාව ලබල ඒ වගේම ස්ත්‍රීත්වය ලැබූ කාලවල දී උතුම් වූ භික්ෂුණී පැවිදි උපසම්පදාව ලබල මහත්තයා අවුරුදු දස දහස් ගණන් ජීවත් වෙලා ඉඳල තියෙනව. එහෙමනම් බලන්න ඒ සා ශක්තිමත් වූ තැන් අපේ අතීතයේ තියෙනව. එතකොට ඒ ශක්තිමත් තැන් අපට මතුකරල දෙන්නේ කවුද…? ශ්‍රද්ධාවයි….! ශ්‍රද්ධාව විසිනුයි මතු කරලා දෙන්නේ. ධර්මය කෙරෙහි වූ ශ්‍රද්ධාව, සංඝයා කෙරෙහි වූ ශ්‍රද්ධාව. මේ සද්ධර්මය තුලිනුයි අපිට මේ අතීතයේ සශ්‍රීක තැන් තිබුණා කියලා මතු කරලා දෙන්නේ. ඒවගේ සශ්‍රීක තැන්වලින් ජීවිතය මතු කරල ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනෑ.
දැන් අපේ ජීවිතයේ අපි හැමදාම දකින්නේ මොකක්ද…? අපි මතුකරල ගන්න හදන්නේ කොතනින්ද…? අපි දහම් පාසල් ගියා. පන්සල් ගියා. පින්කම් කළා. කඨින පින්කම් කළා, කියලා ඔතනින් තමයි අපි මතුකරලා ගන්න හදන්නේ. ඔතනින් මතු කරල ගනිද්දී පාරමී පිළිබඳ අනිවාර්ය ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ මං හැමදාම මතු කරල ගත්තේ ඉතා ශක්තිමත් වූ තැනකින්මයි. ඒ සා ශ්‍රේෂ්ඨ තැන් අපේ අතීතයේ තියෙනව. එහෙමනම් අපි මේ පළමුවෙනි වතාවට මහණදම් පුරනවා නෙවෙයි. අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා දැරුවා වූ චීවර එක ගොඩකට ගැහුවොත් ඒක ගිජ්ජකූට පර්වතයකට වඩා විශාලයි කියනවා මහත්තයෝ. නමුත් ඒ සෑම ශාසනයකම අපි මොකද කළේ…? මේ චීවරය ඇන්දා. මඩේ දැම්මා. ආයිමත් හේදුවා, මඩේ දැම්මා, හේදුවා මඩේ දැම්මා, විතරයි.
ඒ නිසා සංසාරයේ අතීතයේ ඒ සා රැස්කර ගත් සංස්කාරයන් ශක්තිමත්ව නතර කරපු තැන් අපේ ජීවිතයේ තියෙනව. ඒ නතර කරපු තැනකින් මතු කරද්දී පාරමී පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. දැන් මහත්තයා දකින්න ඕන තවත් පුරන්න පාරමිතාවක් මහත්තයට නැහැ කියලා. ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ අතීත කාරණය මතු කරගන්න බැරි ශ්‍රද්ධාවේ තියෙන දුර්වල භාවයක් නිසයි. එතකොට ඒක ඇති කරලා දෙන්නේ කවුද..? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්මය ශ්‍රවණය සහ ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. අන්න ශ්‍රද්ධාව ඇතිවෙනව. එතකොට එයා හිතන්න පටන් ගන්නවා දෙවියනේ කොයි සා ඈත භව ගමනක් පසුකර ගෙන ආපු ගමනක් ද මේ කියලා. ඒ පසුකරගෙන ආවා වූ භව ගමනේ දි කොයි සා බුදුරජාණන් වහන්සේලා මම ඇසුරු කරල තියෙනවද..? කොයි සා පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා මම ඇසුරු කරල තියෙනවද..? එහෙමනම් එවැනි තැනකින් මතු කරලා ගනිද්දී මහත්තයෝ පාරමී පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අන්න ශ්‍රද්ධාවයි ඒකට මුල් වෙන්නේ.
ශ්‍රද්ධාව සකස් වුණ තැන දී ඊළඟට මොකක්ද සකස් වෙන්නේ. වීර්යය…! කුමක් කෙරෙහි වීර්යයද..? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කිරීම කෙරෙහි ඇතිවන වීර්යය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කිරීමට වීර්යය මදී නම් අපි වීර්යය ගැන නෙවෙයි හිතන්න ඕන. මොකද…, වීර්යය හේතු වෙන්නේ කුමක් නිසාද…? ශ්‍රද්ධාව නිසා, ශ්‍රද්ධාවේ ඵලයයි වීර්යය. එහෙමනම් මේ මාර්ගය තුළ ගමන් කිරීමේ දී වීර්යය මඳ භාවයක් තියෙනවා නම් අපි හිතන්න ඕන ශ්‍රද්ධාව ගැන. මොකද ශ්‍රද්ධාවේ දුර්වලතාවක් තුළයි වීර්යයේ මඳ භාවය සකස් වෙන්නේ. එහෙමනම් ශ්‍රද්ධාවෙනුත් පරිපූර්ණ වුණා නම් ඒ තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල වීර්යයෙන් ගමන් ගත්තා නම් ඊළඟට මොකක්ද සකස් වෙන්නේ…? හිරි ඔතප්. ලැජ්ජා භය, කුමක් කෙරෙහි ලැජ්ජා භයද..? නැවත සතර අපායට වැටීමට තියෙන ලැජ්ජාව සහ භය.
මොකද අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් සතර අපායට වැටෙන්න තියෙන ලැජ්ජා භයෙන් අපි මිදිලා නැහැ. අපි සෝවාන් ඵලයට පත් වුණේ නැත්නම් කිසිම සහතිකයක් නැහැ අපි නැවත සතර අපායට වැටෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේ හේතුඵල ධර්මයන් ලස්සනට ගැළපෙනව. එහෙමනම් පාරමී පිළිබඳව ප්‍රශ්නයක් අපට මතු වෙන්නේ නැහැ. ඒක මතු කරල ගන්න නම් අර වගේ ශක්තිමත් තැනකින් මතු කරල ගන්න ඕන. ශක්තිමත් තැන් මතු කරන්න නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයෙන්ම ලබන්න ඕන. සංසාර භය දකින්නා තමයි ශ්‍රද්ධාව තුළ පරිපූර්ණ වෙන්නෙ. එයා සංසාරෙ දකිනවා. එයා අනිවාර්යයෙන් දකිනවා කොයි සා දීර්ඝ භව ගමනක් පසුකරගෙන ද ආවෙ කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මහත්තයෝ මමත් හරකෙක් වෙලා, ඌරෙක් වෙලා, කුකුළෙක් වෙලා, එළුවෙක් වෙලා ඉපදුණ වෙලාවල අපේ බෙල්ල කපපු අවස්ථාවල දී ගලාගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩියි කියලා මහත්තයෝ. ඒ කියන්නේ ඒ සා දුක් කන්දරාවක් විඳගෙන අපි ආපු ගමනක් තමයි මේ. මේ ආවා වූ දීර්ඝ භව ගමනේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගාණක් පහළ වුණා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත ලෝකයේත් නර්මදා නදී තීරයේ තියෙන වැලිකැට සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවාය කියලා.
එහෙමනම් ඒ සා දීර්ඝ කාලයක් පසුකරගෙන ආවා වගේම අර සා දීර්ඝ කාලයක් මේ ලෝකය පවතිනවා. මේ ලෝකෙ නැවතීමක් නැහැ. අනාගතයේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගාණක් මේ ලෝකයේ පහළ වෙනවා පින්වතුනි, එහෙමනම් මේක නැවතීමක් නිමාවක් දකින්න පුළුවන් ලෝකයක් නෙමෙයි. එතකොට මේක දකින කෙනා තමයි ශ්‍රද්ධාව සකස් කර ගන්නේ. ශ්‍රද්ධාව සකස් කරගන්න කෙනා තමයි මාර්ගය තුළ ශක්තිමත්ව වීර්යයෙන් යන කෙනා. එයා තමයි සතර අපායට වැටෙන්න බිය ඇතිකර ගන්න කෙනා. එතනින් තමයි පටන්ගන්න ඕනෑ…!!!
තෙරුවන් සරණයි…!!!
උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු…!!!