බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත් වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ.එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වේ.එබැවින් බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද, ගිහියෙක් නම් ගිහියෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ.
මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමඟ විසීමක් වැනිය.එබැවින් ඔහුගේ සිත පාපයට නොනැමේ.හදිසියේ මරණය සිදුවීමක් වුවහොත් ඒ අවස්ථාවේ දී ඔහුට බුදුන් සිහි වේ.එයින් හේ මරණින් මතු ස්වර්ගයට පැමිණෙන්නේ ය.භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේකැයි සිහිකරන්නා වූ යෝගාවචරයා හට ඒ සමයෙහි රාග, ද්වේශ, මෝහ නූපදින්නේ ය.ඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයා හට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරයෝ බොහෝ සෙයින් උපදිති.බුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයා හට ප්‍රීතිය ඇතිවේ.ඒ ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සන්සිඳෙති.එයින් ඔහුට සුඛය ඇති වේ.ඒ සුඛය නිසා ඔහුගේ සිබුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ.
කල් යෑමෙන් ඔහුට විතර්කාදී ධ්‍යානාංගයෝ එක්වරම පහළ වන්නාහ.
එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින් ද බුද්ධ ගුණාරම්මණයෙහි කසිනාදියෙහි මෙන් ධ්‍යානයෝ නූපදිති.බුද්ධානුස්සති භාවනාවෙන් නීවරණයන් බැහැර වී යෝගාවචරයාගේ සිත පිරිසිදු වන බැවින්ද, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු තියුණු වන බැවින් ද, බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මාර්ග ඵල ලබා නිවන් දැකිය හැකි වන්නේය.
බුද්ධානුස්සතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝ ය.
බුදු ගුණ සිහි කොට එක් වරක් බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමම මරණින් මතු දෙව් ලොව ඉපදීමට හේතු වන පිනකි.මට්ටකුණ්ඩලී ආදී බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් ද දෙව්ලොවට පැමිණි බව දක්වා තිබේ.
යමෙක් භාවනා කිරීම් වශයෙන් නැවත නැවත බුදු ගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත්පත් වීම ගැන කියනු කිම.එබැවින් දුකින් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කරත්වා.!
බුදු ගුණ මෙනෙහි කිරීමෙන් තවත් බොහෝ අනුසස් ලැබේ..ඒ මෙසේය..
සතර අපායට පත් නොවීම.
නිතර සෝමනස්ස සහගත සිතින් යුතුව දිව් ගෙවීම.
සත්‍යය කතා කරන පුද්ගලයෙකු බවට පත් වීම.
නිහතමානී ගති පැවතුම් ඇති වීම.
ලෝකයාට ප්‍රිය මනාප වීම.
බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම.
දෙවියන්ගේ දැහැමි රැකවරණය ලැබීම.
අන් අයගේ කරුණා මෛත්‍රියට භාජනය වීම.
තම අදහස් යෝජනා අන් අය එකහෙළා පිළිගැනීම.
භුත,ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම.
පාපයට ලජ්ජා භය ඇති වීම.
අධි කුසලයට සිත නැඹුරු වීම.
අපල උපද්‍රව නැති වී කුසල විපාක මතුවීම.
ගුණ නුවණින් පිරිපුන් වීම.
පිටසක්වල නූපදීම.
අඳ ගොළු බිහිරි ආදී අභව්‍ය නොවීම.
උන්මත්තක නොවීම.
මිසදිටු නොගැන්වීම.
මරණයට නොබියව මුහුණ දීම.
මුහුණේ වර්ණය පැහැපත් වීම.
වස, විස, ගිනි, අවි ආයුධ වලින් වන විපත් වලින් වැළැක්වීම.
බුදුබව පවා පැතීමට සිත නැමීම.
තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම.
යමි උපන් ලෙෂයක් නිසා බුදුවරයෙකු මුණගැසීම.
එසේ නොවුනේ නම් බුදුවරු ඔවුන් වෙත වැඩම වීම.
තම සිතුම් පැතුම් එලෙසම ඉටුවීම.
ධාරණ ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම.
සෑම කෙනෙකුම තමා කෙරෙහි නැමීගත් පැවතුම් ඇතිවීම.
සම්මා දිට්ඨියෙහි පිහිටීම.
යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සමාධිගත වීම.
ඇස්වහ,කටවහ, කොඩිවින, බන්ධන,හෝවහ විපත් සිදු නොවීම.
ප්‍රභූ වරුන්ගේ ගෞරව සැලකිල්ලට පාත්‍ර වීම.
මේ ජීවිතයේ මගඵල නොලැබුවේ නම් ඒකාන්තයෙන්ම සුගති පරායන වීම.
සුවසේ සැතපීම හා අවදිවීම.
නපුරු සිහින නොපෙනීම.
භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම.
උතුම් බුද්ධ ගුණ මෙනෙහි කෙරුමෙන් නිවන පිණිසම වීරිය වඩත්වා..
රේරුකානේ චන්දවිමල හිමිපාණන් වහන්සේ විසිනි..