මෙය කියවන ඔබ කුඩා දරුවකුගේ මවක්, පියෙක් විය හැක. එසේ නැතහොත් කුඩා දරුවකු අතීතයේ සිටින්නට ඇත. කුඩා දරුවකුගේ ඥාතියකු, සහෝදර- සහෝදරියකු වන්නට හැක. කවරකු වූවද කුඩා දරුවකු රැක බලා ගන්නා ආකාරය, ඔවුන්ට ආදරය, කරුණාව දැක්විය යුතු ආකාරය, ඔවුන් කීකරු දරුවන් බවට පත්කර ගන්නා ආකාරය, හොඳ නරක කියා දියයුතු ආකාරය ගැන යම් තාක් පමණකට හෝ අවබෝධයක් ඇතිවාට සැකයක් නැත.
වැඩිහිටියන් වශයෙන් කුඩා දරුවන් ආරක්ෂා කිරීම අප සතු වගකීමක් බව අපට නිරායාසයෙන්ම හැඟී යයි. මන්ද යත් ඔවුන් සියුමැලිය. මට සිලුටුය. කටු අත්තකට වුව සම සීරී තුවාල වී යයි. වේදනාව ඉක්මනින් දැනෙයි. වැරදි ආදර්ශ තුළින් ඔවුන් ඉක්මනින් නරක් වීමට හැක. එබැවින් අප ඔවුන් අපගේ ඇස් මානයේ තබා ගනිමින් රැක බලා ගනිමු.
“මෙතනින් එළියේ අනාරක්ෂිතයි.
එතනින් එහාට යන්න එපා.
ගේට්ටුවෙන් එළියට යන්න එපා.
උඩට නගින්න එපා.
පඩිපෙළේ දුවන්නට එපා.
පාර පනිද්දී බලාගෙන.
නාදුනන අය හා ඇසුරට යන්න එපා.
නපුරු අය ආශ්‍රය කරන්න එපා.
අප කියන අය පමණක් ආශ්‍රය කරන්න.
මේ දේ මේදේ කන්න එපා..
මේ දේ කරන්න එපා..
මේ දේ කරන්න..”
යනාදී ලෙසින් කෙළවරක් නැති ලෙසින්, අප ඔවුන් අපේ ඇස් දෙක මෙන් රකිමු. ඔවුන්ට අයාලේ යන්න නොදී රැක ගනිමු. ඒ මන්ද ඔවුන් එසේ ගොස් අයහපතක්, විනාශයක් කරගනීවී යන බිය පවතින නිසාය. ඔවුන් දුකකට පත්වේය යන බිය පවතින නිසාය. ඔවුන් අඩද්දී , හිතුවක්කාර වෙද්දී අප සැර කරමින් හෝ ඔවුන්ට අයහපතක් වන දෙයින් දුරස් කොට තබමු. අඩද්දී වුව, ඔවුන් අකමැති වද්දී වුව ඔවුන්ට යහපත් දේ පුරුදු කරමු. පිරිසිදු වීමේ ක්‍රම උගන්වමු. අකුරු කියාදෙමු. මේ ආදී ලෙසින් කුඩා දරුවන්ව අප යහපතෙහි යොදවන්නේ අපේ ජීවිතය අමතක කොටගෙනය.
ඒ මන්ද ඔවුන් මේ මේ සීමාවන් ඉක්මවා ගියහොත් ඔවුනට වන නපුර ගැන අප බිය වන් බැවිනි.
ඔබේ සිතත් මේ කුඩා දරුවා ලෙසින්ම සිතන්නට ඔබට හැකිද ?
වත්තෙන් එළියට යාමට නොදී රැක බලා ගත් කුඩා දරුවා මෙන්ම, බාහිර ලෝකයේ විෂම අරමුණු හා ගැටෙන්නට නොදී සිත පරිස්සම් කර ගන්නට ඔබ හැකිද ? දරුවා නරක මිනිසුන්ගෙන් ඈත් කොට තබන්නට ඔබ වෙහෙස වූ පරිදි, ඔබේ සිත රාග, ද්වේෂ,මෝහ ආදී කෙලෙස් වලින් ඇත් කොට තැබිය හැකිද ? ඔබ හදිසියකට වුව ඔහුව තනිකොට යන්නේ ඔබගේ මව, පියා ආදී විශ්වාසවන්තම කෙනෙක් සමඟ පමණි. එලෙසින්ම ඔබගේ සිතත් මෛත්‍රී කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ගුණ ධර්ම හා සමඟ පමණක් වසන්නට පුහුණු කළ නොහැකිද… කුඩා දරුවක් මල් කැකුළක් මෙනි. ඔහුගේ සිත, කය තැලී පොඩි වී යනු ඔබට බලන්නට නොහැක. දරුවා ඔබගේම වන්නට ඕනෑ නැත. ලෝකයේ කොහේ හෝ දරුවකු පීඩාවට, දුකට පත්ව සිටිනු දැකීම ඇසීම පවා අපට මහත් දුකකි. එලෙසින්ම මේ සිත ගැනත් දැකිය නොහැකිද..? කෙලෙස් අකුසලයන් හමුවේ මේ සිතද තැලී පොඩිවී මියැදෙන්නේ එලෙසිනි.. සිත් යනු මහත් සියුම් දෙයකි. අධික, දුක්, පීඩා දරාගැනීමට නොහැකිව විෂාදය, උමතු වීම් ඇතිවන්නේ එබැවිනි. ඔබට නොපෙනෙන බව පමණි එකම වෙනස. ඔබේ සිත ඔබට දැකිය හැකි නම් එය කෙතරම් මටසිලිටුදැයි තේරුම් යනු ඇත.
එය කෙලෙස් හමුවේ විනාශ වී යයි. යටවී යයි. නැවත කල්ප ගණනකට ගොද දැමීමට නොහැකි ලෙසටම විනාශ වී යයි. රාගයෙන් , ද්වේශයෙන්, මානයෙන්, මෝහයෙන් සිත් තෙරපී, පීඩිත වී , සුණු විසුණු වී යයි..
මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂාවෙන් ප්‍රමුදිත වී පිපී දිලෙයි..
එලෙසින් අප අපටම කරුණාවන්ත වෙමු.. අපේ සිත රැකගමු.. අන් අයගේද සිත් රැක ගමු..
හදවතින්ම ගැඹුරින්ම සිතා බලන්න…
තෙරුවන් සරණයි…!