පුද්ගලයකුගේ ජීවිතයේ ක්‍රියාශීලි, ආවේගශීලි මෙන්ම අතිශය නිර්මාණශීලි අවධිය තරුණ වියයි. මෙම අවධිය තමන්ටත් අනුන්ටත් ඉතාමත්ම යහපත් අයුරින් ගත කළ හැකි නම් එය මුළු මහත් ලොවටම ඉමහත් සෙතකි. එසේ යහපත්ව ගත කළ හැකි ආකාරය බුදු දහමේ මැනවින් පෙන්වා දී තිබේ.
මේ පිළිබඳ තුම්බෝවිල ඉසිවර අරණ වාසි නුගේගොඩ පුන්න ස්වාමීන් වහන්සේ සමඟ පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ දහම් ලිපියක් මෙහි පළ කරමු.
දිනක් මා වැඩ සිටි ආරාමයට තරුණ පුතකු පැමිණියා. ඔහු සිටියේ ශෝකයෙන් බරිත සසල පෙනුමකින් යුතුවයි. දැඩි පසුතැවිල්ලක් වේදනාවක් මේ තරුණයාගේ වතේ ඇදී තිබුණා . කරුණූ විමසා බැලිමේ දී හද කම්පා කරවන කතා පුවතක් ඔහු පැවසුවේය. ඒ අනුව ඔහුගේ පියා ඔහු අතින් මිය ගිය බව කීවේය. එය සිදු වී තිබෙන්නේ පියා මත්පැන් බී මවට කරදර හිරිහැර කරන්නට පහර දෙන්නට වූ අවස්ථාවකයි. එම තත්ත්වය බලා සිටීමට බැරි තැන ඉන් මව බේරා ගැනීමට මේ තරුණ දරුවා ඉදිරිපත් වුණා. එහෙත් එය කෙළවර වූයේ ඔහු විසින් පියාට මෝල් ගසෙක් දමා ගැසීමෙන් අනතුරුවයි.
ඔහු දිවුරා ප්‍රකාශ කෙළේ කිසිසේත්ම පියා මැරීමේ චේතනාවක් නොවු බවයි. නමුත් මෙතැන ජීවිතයක් තිබුණා. එය නැති වුණා. ඒ මොහුගේ පියාගේ් ජීවිතයයි. චේතනාවක් යනු ඉතා ක්‍ෂණිකව පහළ වන නැති වන දෙයක්. ඒ ගැන කාට ද හරියටම කියන්නට පුළුවන්. අපට වත් ඔහුට වත් එය නිවැරැදිව කියන්නට බෑ.
මෙහිදී ‘පව‘ යන්න හඳුනා ගැනීම වැදගත් යැයි සිතෙනවා. මුලින් කිව්වා මෙන් ලජ්ජාව හා බිය නොමැති වීමෙන් හටගන්නා වූ එකම දෙය තමයි පාපය. ලජ්ජාව හා බිය නිසා තමයි මේ ලෝකයේ අම්මා , තාත්තා, නංගී, අක්කා, අයියා, මල්ලී, කියා පිරිසක් බිහි වන්නේ. මේ ආකාරයේ ඥාතී සම්බන්ධතා තිරිසන් ලෝකයේ දකින්නට ලැබෙන්නේ නෑ. ඔවුන් මවු පිය දූ දරුවන් හඳුනන්නේ නෑ. ඒත් මිනිස් ධර්මතා මෙයට වෙනස්. දේව ධර්මයට අනුව ඉදිරියට යා යුතු සමාජයක එම තත්ත්වය වෙනස් වූ සැනින් මහා අවාසනාවන්ත පාප කර්ම වලට මිනිසුන් පෙළඹෙනවා. ධර්මයට අනුව මේ පාප කර්ම කොටස් කැර වෙන් වෙන් වශයෙන් හඳුනා ගෙන අවබෝධ කැර ගැනීම ඉතාමත්ම වැදගත් කරුණක් . ධර්මය අනුව පාප කර්ම කොටස් දෙකකට බෙදනවා. ඒවා නම් මහා සාවද්‍ය පාප කර්ම හා අල්ප සාවද්‍ය පාප කර්මයි. මේ කුමන හෝ පාප කර්මයක් කිරීමට මූලික වශයෙන් රාග, ද්වේශ, මෝහ යන චේතනා මුල් වනවා. මේවා කෙටියෙන් පැහැදිලි කළොත් රාගය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ, යන කාම අරමුණු කෙරෙහි ඇතිවන ආශාවයි. ද්වේෂය යනු අපි‍්‍රය අමනාප වූ රූප, ශබ්ද , ගන්ධ රස ස්පර්ෂ කෙරෙහි ඇතිවන ගැටීමයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව තිබෙන අනවබෝධය මෝහය නැතිනම් මුලාව ලෙස හඳුන්වන්නට පුළුවන්. රාගය හා ද්වේෂය වටහා ගන්නට බැරිකමක් නෑ. එහෙත් මෝඩකම නම් කෙනෙකුට වටහා ගන්නට අපහසුයි. මේ සඳහා සතිපට්ඨානයේ සිහිය ඇති කැර ගන්නට අවශ්‍යයි. මේ ලෝකයේ කොතනක හෝ ඇතිවන ඕනෑම ගැටුමක මුල සොයා බැලුවොත් මේ කියන කාරණා තුනෙන් එකක් ළඟ නතර වන බව ඔබටම වටහා ගන්නට පුළුවන්.
මහා සාවද්‍ය හා අල්ප සාවද්‍ය පාප කර්ම වෙනවෙනම හඳුනා ගැනීම වැදගත් වෙනවා. මහා සාවද්‍ය පාප කර්මවලට අයිති වනුයේ අප මුලින් සඳහන් කරන ලද ආනන්තරිය පාප කර්ම ආර්ය උපවාද එමෙන්ම නියත මිත්‍යා දෘෂ්ටිය කියන අකුසල කර්ම, අල්ප සාවද්‍ය පාප කර්මවලට අයත් වන්නේ මෙන්න මේ ආකාරයේ අකුසල කර්මයි. කෙනෙකුට හිතෙනවා සතෙක් මරන්න . එහෙත් එම තැනැත්තා එකී ද්වේශ සහගත චේතනාව යටපත් කැර ගන්නවා. සතා මරන්නේ නැතිව මෙහි දී චේතනාව නිසා අකුසලයක් පහළ වෙනවා. එහෙත් ඒක අල්ප සාවද්‍ය අකුසලයක් .
අපි මෙහෙම සිතමු . ප්‍රාණ ඝාතයක් සම්පූර්ණ වීමට කරුණු පහක් අවශ්‍යයි. සතකු සිටීම සතකු බව දැන ගැනීම මැරීමට චේතනාව , මැරීමට උපක්‍රමය, මැරීම මේ මුල් අවස්ථාවලින්ද ඉදිරියට නොපැමිණීමෙන් ඝාතනය සම්පූර්ණ නොවී නතර වෙනවා. මේ අනුව ප්‍රාණඝාතයක් සිදු කිරීමට සිතීම පවා අකුසලයක් වන බව ඔබට පැහැදිලි වනවා ඇති.
එමෙන්ම මෙය ධර්මයේ ඉතාමත්ම හොඳට පැහැදිලි කර දෙනවා.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
චේතයිත්වා කම්මං කරෝති
කායේන වාචාය මනසා “
මහණෙනි චේතනාව කර්මය යැයි දේශනා කරමි. චේතනාවක් පහළ කොට කර්ම සිදු කරයි. මෙසේ කර්ම සිදු කරනුයේ කයින්, වචනයෙන් හෝ සිතෙනි
මෙහිදී අප මුලින්ම ආනන්තරිය පාප කර්මය පැහැදිලි කැර ගැනීම වැදගත් යැයි සිතෙනවා. වර්තමාන සමාජයේ බොහෝ දෙනකුට සිතෙන්නට පුළුවන් ආනන්තරිය පාප කර්මයක් නම් කිසිදා තමාගේ අතින් සිදු නොවන බව . එහෙත් සීලා දී ගුණ ධර්ම පුරුදු පුහුණ නොකරන ඕනෑම අයකු අතින් මෙබඳු අකුසල කර්ම සිදු වන්නට ඉඩ කඩ තිබෙනවා.
ඇතැම් බටහිර රටක වේදනාවෙන් පීඩිත අයකු ඉතා ඉක්මනින් මරණයට පත් කොට ඔවුන් මේ ජීවිතයෙන් මුදාලීමට සුදුසු යැයි සම්මත කැර තිබෙනවා. එබඳු විටෙක පවුලේ දූ දරුවන්ගේ අනුමැතියෙන් මවකට හෝ පියකුට මරණය අත් කැර දීමට කටයුතු යෙදෙන අවස්ථා පිළිබඳව අප අසා තිබෙනවා.
දරුවන් කාර්ය බහුල විය හැකියි. ඔවුනට දිවා රෑ නොතකා තම මව හෝ පියාට උපස්ථාන කිරීමට අපහසු විය හැකියි. මෙබඳු විටෙක නීති ප්‍රකාරව ඔවුනට මරණය ළඟා කැර දීම නුසුදුසු බව සිතෙන්නට පුළුවන්. නමුත් මෙය සුළුවෙන් සිතීම කිසිසේත් සුදුසු නෑ. මෙබඳු අවස්ථාවක ස්ථිරවම ආනන්තරිය පාප කර්මය සිදුවෙනවා. කවුරුන් හෝ මැදිහත්ව මේ අවස්ථාව මඟ හැරියහොත් එවිට ආනන්තරිය පාප කර්මය සිදුවන්නේ නෑ. යහපත් දරුවන් සිතිය යුත්තේ මාපියන් තව මොහොතක් හෝ ජීවත් කරවීම පිළිබඳවයි.
උදාහරණයක් ගත්තොත් දරුවකු පියකුව තල්ලුකරනවා. එවිට එම පියා කොතනක හෝ වැදී තැල්මක් හට ගන්නවා. නමුත් එම තැල්ම හේතුවෙන් මරණයක් සිදුවෙන්නේ නෑ. අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් සුවපත් වෙනවා. අනතුරුව ඉතා දිගු කලකට පසු එදා ඇති වු තැල්ම අමතක වෙන්නට පුළුවන්. නමුත් වසර විස්සකට (20) පමණ පසුව මේ තැල්ම හේතුකොට පියා මරණයට පත්වනවා. එවිට එම දරුවාට ආනන්තරිය පාප කර්මය සිදුවනවා.
වර්තමාන සමාජයේ තරුණ දූවරුන් පියවරුන් අතින් අතවරයට ලක් වන අවස්ථා අසන්නට ලැබෙනවා. මෙහි දී ඇතැම් විට මෙබඳු පියවරුන් තමන්ගේ දරුවන් අතින් ඝාතනයට ලක්වෙනවා. මෙහි දී මුළු මහත් සමාජයම පවා එම ඝාතනය නිවැරැදි යැයි සාධාරණීය කරණය කිරීමට පෙළඹෙනවා. මේ තත්ත්වය නිසාම මෙබදු ආනන්තරිය පාප කර්ම දියණිවරුන් විසින් දිගින් දිගටම කැර ගැනීමට ඉඩ කඩ සැහැල්ලු බව ලබා දෙනවා.
මෙය ඉතාම බරපතල වරදක්. මෙවිට අනිවාර්යයෙන්ම එම දියණියට ආනන්තරිය පාප කර්මය සිදුවනවා. පියාට තම දියණියට අතවර කිරීමේ පාප කර්මය සිදුවනවා. මෙබඳු අවස්ථා උපක්‍රමශීලිව වළක්වා ගත හැකිනම් එය ඉතාම උතුම්.
කුඩා දරුවනට මුල සිටම මවුපිය අගය වටහාදීම ඉතාම වැදගත්. මවුපියන් තම තමන් ලද මවුපිය පදවි පිළිබඳ අවබෝධය ලබා ගැනීමද සමාජයේ සාරධර්ම සුරැකිව යහපත්ව පවත්වාගෙන යාමට ඉතා වැදගත් වනවා. මේ බව වගකීම් උසුලන තරුණ සමාජය අවබෝධ කොට යුතුයි. දේවධර්මය ආරක්‍ෂා වන කළ මෙබඳු අවාසනාවන්ත අකුසල කර්ම සිදුවන්නේ නැහැ .
අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ චරිතය මේ මහ පොළොවට දැනෙන්නා වූ දෙයක්.
මෙසේ වූ අනන්ත ගුණ ඇති ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා ඇතත් අදත් අපට උන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයෙන් සැනසෙන්නට පුළුවන්. එය අප සැම මේ ජීවිතේ ලද ඉමහත් වාසනාවක් .
මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ දරන ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ ලේ සෙලවීම තුන් වැනි ආනන්තරිය පාප කර්මය ලෙස සැලකෙනවා.
එදා දේවදත්ත අවාසනාවන්ත ලෙස මේ අකුසලය සිදු කර තිබෙනවා.
අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතය පාමුල සක්මන් කරමින් සිටින විට දෙව්දත් උන් වහන්සේ ගේ් හිස මතට ගලක් පෙරළුවා. නමුත් එය උන් වහන්සේගේ සිරුරේ වැදුණේ නෑ. වෙනත් ගලක් පොළොවෙන් පැන නැගීවිත් එම ගල බුදු සිරුරෙහි වැදීම වැළැක්වුවා. එහෙත් එම ගල්, දෙක එකිනෙක ගැටීමෙන් විසි වූ ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ පාදයේ වැදුණා. එවිට සිදු වූයේ එම තැල්ම නිසා නරක් වූ රුධිරය එකතැනකට එකතුවීමයි.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය සිදුරු කළ හැක්කේ ජීවක වෛද්‍යවරයාට පමණයි. එතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රතිකාර කිරීමට සසර පුරා මහා පන්කම් රැසක් සිදු කොට පැමිණි අයෙක්. එමෙන්ම එතුමා බුදු සිරුරට අත තබන්නේ බුදුරජාණන් වහන්සේ නිදුක්වේවා ! නිරෝගී වේවා! සුවපත්වේවා! යන මෛත්‍රී සහගත චේතනාවෙනුයි.
සිවුවන ආනන්තරිය මහා පාප කර්මය වනුයේ රහතන් වහන්සේ මැරීමයි.
එදා බෝසත් සද්දන්ත ඇත් රජා තමා මැරීමට පැමිණි වැද්දාට පවා අනතුරක් නොකෙළේ ඔහු ඇඳ සිටි චීවරයට ගරු කරමිනුයි. බලන්න බෝධිසත්ව චරිතය පවා කෙතරම් ආශ්චර්යය ද කියා. භික්‍ෂූන් වහන්සේට ඇති ගරුත්වය ක්‍ෂය වී යෑමේ ප්‍රතිඵලයක් ලෙසට භයානක අකුසල කර්ම පවා සිද්ධ වීමට ඉඩ තිබෙනවා.
මෙහිදී අපට ගැටලුවක් පැන නගිනවා. රහතන් වහන්සේ මැරීම හෝ රහතන් වහන්සේ මැරීමෙන් වන ආනන්තරිය පාප කර්මය මේ වකවානුවේදී සිදුවිය හැකි ද කියා.
ඔව්, සැබවින්ම මේ යුගයේත් රහතන් වහන්සේ වැඩ වාසය කරනවා. මේ ලෝකය රහතන් වහන්සේ ගෙන් හිස් නෑ. අප රටේ පවා විදෙස් රහතන් වහන්සේ විශේෂයෙන් ඍද්ධි බල සම්පන්න රහතන් වහන් වැඩ වාසය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එමෙන්ම අප අතරින් පැන නැගුණ (සිංහල) රහතන් වහන්සේ ද වැඩ වාසය කරනවා. එමෙන්ම අබුද්ධෝත්පත්ති කාලවල දී පවා පසේ බුදුවරුන් වහන්සේ පහළවෙනවා. එම නිසා රහතන් වහන්සේ කිසිවිටෙක ලෝකයේ නැතැයි කියා සිතීම වැරැදියි.
පුද්ගලයන් සිවු දෙනකුගෙන් ප්‍රවේශම් විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළහ. එනම්, සාමණේර හිමි නම, නයා, ගින්දර, කුමාරයා මොවුන් පොඩියි කියා නො සිතිය යුතු බවයි. නයා කුඩා වුණත් විෂ තිබෙන බව මතක තබා ගත යුතුයි. ගින්දර කුඩා වුවද විශාල වී මහා විනාශයක් සිදුවන්නට ඉඩ තිබෙනවා. එමෙන්ම කුමාරයා රජ වූ පසුව පලිගන්නට ඉඩ තිබෙනවා. එම නිසා කුමාරයා විහිළුවට ලක් කිරීම භයානකයි. එමෙන්ම සාමණේර හිමි නම කෙතරම් වයසින් ලාබාල වුවද උන් වහන්සේ රහතන් වහන්සේ කෙනකු වීමට බැරි නෑ.
මෙහි දී සලකා බැලිය යුතු විශේෂ කරුණක් තමයි අපේ රටේ කොතරම් නම් භික්‍ෂූන් වහන්සේව ඝාතනය කැර ඇත්ද? යන්න . මෙය ඉතාමත්ව ශෝචනීය මෙන්ම අති භයානක කරුණකි. තම තමන්ගේ සසර ගමන පිළිබඳ බිය උපදවා ගැනීමත් පවට ලජ්ජා වීමත් යන කරුණ අමතක විමෙන් අනිවාරතේ ආවේග හා හැගීම් වලට ඉඩ දී මෙබඳු අවාසනාවන්ත අකුසල කර්ම සිදුකැර ගන්නවා. මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමෙන් අන්‍යයන් අතින් වුවද සිදුවීමට යන අකුසලයක් උපක්‍රමශීලිව , ධාර්මිකව වළකා ලීමට ඔබට අවස්ථාව උදාවීමට ඉඩ කඩ ලැබේවි.
ඊළඟ කාරණය සංඝ භේදයයි. මේ ගැන බොහෝ වාද විවාද තිබෙනවා.
සමාජයේ පැහැදිලි වම වැරැදි මතයක් තිබෙනවා. එනම් භික්‍ෂූන් වහන්සේ දෙනමක් අතර කේලාම් කියා කෙටවීමෙන් සංඝභේදය ඇති වෙනවා. මෙහිදී සංඝභේදය නම් ආනන්තරිය පාප කර්මය වන්නේ නෑ. නමුත් කේලාම් කීමේ අකුසලකර්මය සිදුවෙනවා. සංඝභේදය ලෙස ආනන්තරිය පාප කර්මය සිදුවෙන්නේ, උපසම්පදා භික්‍ෂූන් වහන්සේට පමණයි.
සීමා මාලකයේ පොහොය කර්ම කිරීමේදී භික්‍ෂු පිරිස දෙකට බෙදෙනවා. මෙහි දී එක් භික්‍ෂූ පිරිසක් නිවැරැදිව ධර්මය හා විනය කරුණු ඉදිරිපත් කරනවා. අනිත් පිරිස ඊට එරෙහි වනවා. මෙහිදී ප්‍රතිබල භික්‍ෂුව අවවාද කරනවා. (ප්‍රතිබල භික්ෂුව යනු වැඩිමල්, භික්‍ෂුවයි.)
“කච්චින්න පරිසුද්ධා” මේ කාරණයට මේ සග පිරිස පිරිසුදු ද?
එවිට සඟ පිරිස නිහඬව සිටිනවා. එවිට දෙවන වරටත් අසනවා.
“දුතියම්පි පුච්ඡාමි කච්චින්න පරිසුද්ධා” දෙවන වරටත් අසමි. මේ කාරණාවට මේ සඟ පිරිස පිරිසුදු ද?
එවිටත් නිහඬව සිටිනවා. එවිට ප්‍රතිබල භික්‍ෂුව තෙවන වරටත් අසනවා.
“තතියම්පි පුච්ඡාමි කච්චින්න පරිසුද්ධා “ තෙවන වරටත් අසමි. මේ කාරණාවට මේ සඟ පිරිස පිරිසුදු ද? තෙවන වරටත් නිහඩව සිටිනවා. එවිට අවවාද කෙරෙනවා. මේ සඟ පිරිස සමඟියි භේද කරන්න එපා. ඔබට කල්පයක් නිරයේ පැහෙන්න වෙනවා. එම නිසා සමඟි සංඝයා හා එක් වේවා කියා. එවිටත් දෙව්දත් එය නො අසා සඟ පිරිසක් රැගෙන ගොස් පොහොය කර්ම කළ විගස මහා දරුණු ආනන්තරිය පාප කර්මය සිදු වෙනවා. මේ තමයි ආනන්තරිය මහා පාප කර්මයේ බරපතල කම. මේ මහා පාප කර්මය සිදු වූයේ නම් පළ විපාක විදීමෙන් හැර ඉන් ගැළවෙන්නට කිසිවෙකුටත් හැකිවන්නේ නෑ.
එදා බුදුරජාණන් වහන්සේ සැරියුත්, මුගලන් අගසව් වහන්සේලා ද සමඟ පොහොය කර්ම කිරීමට සීමා මාලකයට වැඩම කළ අවස්ථාවේ දෙව්දත් තෙරුන් ඉක්මනට නිවන් දකින්නට හැකි ක්‍රමයක් ලෙසට තමන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ, වර පහ ඉදිරිපත් කර සිටියා. ඒවා නම් භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික විය යුතුයි. භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා, පාංශුකූලික විය යුතුයි. භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා නිර්මාංශ විය යුතුයි. භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා ආරණ්‍යගත විය යුතුයි. භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා (තුන්සිවුරෙන්) ජීවත්විය යුතුයි. යන වර පහයි. අනතුරුව මේ ක්‍රමය තමන් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළ බවත් බුදුරජාණන් වහන්සේ මේ වර පහ ප්‍රතික්‍ෂේප කළ බවත් එසේම මේ ලෙසට නිවන් දකින්නට කැමති පිරිසක් සිටිනවා නම් එම මොහොතේම තමා සමඟ එක්වන ලෙසට දන්වා සිටියා.
මෙතන හිටියා අලුතින් මහණ වූ පිරිසක්. මේ පිරිස ධර්මය නිසි ලෙස දැන සිටියේ නෑ එසේ වූ පන්සියයක් නවක භික්‍ෂු පිරිස දෙව්දත් තෙරගේ මේ ගැටයට අසුවී ඔහු සමඟ එක් වුණා.
බැලු බැල්මට මේ වර පහ ඉතා ආකර්ෂණීයයි. නොදන්නා නිසා මේ ක්‍රමයට පැහැදුනා. නමුත් මෙතන තියෙන්නේ සම්පූර්ණ අධර්මයයි.
බුදුරජාණන් වහන්සේ මේ වර පහ සම්බන්ධව ප්‍රකාශ කැර සිටියේ එක් එක් කෙනාට අවශ්‍ය හැටියට එබඳු පැනවීම් නොකළ යුතු නමුදු ඒ ඒ භික්‍ෂුව කැමති නම් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික ආදී වශයෙන් පැවතීමට හැකි බවයි. නමුත් එය නො අසා පන්සියයක් භික්‍ෂූ පිරිස් දෙව්දත් සමඟ එක් වුණා. ප්‍රතිබල භික්‍ෂුව තෙවරක්ම අවවාද කළත් සමඟි වූයේ නෑ. අනතුරුව මේ භික්‍ෂු පිරිස සමඟ ගොස් පොහොය කර්ම කළ විගස ආනන්තරිය පාප කර්මය සිදුවුණා. මේ සිදුවීම් මාලාවේ අවසානයේ සැරියුත් මුගලන් දෙනම මිථ්‍යාදෘෂ්ටියෙන් මේ නවක භික්‍ෂු පිරිස ගළවා ඔවුනට ධර්මය දේශනා කළා. ධර්ම දේශනාව අවසානයේ පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා සෝවාන් ඵලයේ පිහිටියා. දෙව්දත් සිතුවේ අගසව් දෙනමත් තමන්ගේ කතාවට පැහැදී තමා වෙත එන බවයි. ඔහු බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නට පටන් ගත්තා. සාරි පුත්තට ධර්ම කතාවක් වැටහේවා “ කියා දෙව්දත් නින්දට වැටුණා. ඔහු එම නින්දෙන් අවදි වූයේ ලේ වමනය දමා ගෙනයි. ඒ තමයි ඔහු මරණයට ලං වූ පළමු අවස්ථාව. සංඝ භේදය කර්මයේ විපාක ආරම්භ වූ අවස්ථාව.
මෙබඳු අකුසල කර්මවලින් මිදී මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත කැර ගැනීමට අප සියලු දෙනා උත්සාහ කළ යුතුයි.
අතිපූජ්‍ය නුගේගොඩ පුන්න හිමි.
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.