රෝගීන්ට උපස්ථානය කිරීම බුදුරජානන් වහන්සේට උපස්ථානය කිරීම හා සමාන ද?

භික්ෂුව හොඳින් හඳුනන රජයේ රෝහලක වසර තිහකට වැඩි කාලයක් සේවය කල හෙදි පාලිකාවක් සිටියා. ඇය තම රෝහලේ සේවය අකුරටම සිදුකල හෙදි සොයුරියක්. ඇය නිරතුරුව ප‍්‍රකාශ කලේ තමාට සිල් සමාදන්වීමට දන් දීමට, භාවනා කිරිමට, අවශ්‍ය නොවන බවත්, තමා රෝගීන් වෙනුවෙන් කරන සේවය, රෝගී උපස්ථානය, තමාට හොඳටම ප‍්‍රමාණවත් බවයි. ඇය රෝහල් සේවය තුළින්, රෝගීන්ට කරන උපස්ථානය, ලොකුම පිංකම හැටියටයි විශ්වාස කලේ, මේ හේතුව නිසාම ඇය පන්සල් යාම සිල්සමාදන් වීම, දන්දීම, සිදුකලේ බොහෝම අඩුවෙන්, මේ සටහන ලියන වේලාවේ, විශ‍්‍රාමික ඇය දැඩිලෙස රෝගීව, සිහිමද ගතියෙන් පසුවෙන්නේ, ඇය මෙලෙස රෝගීව මාස හයකට වැඩියි. ඇයගේ ඥාතීන් කියන්නේ ඇය හුඟාක් දුක් විඳින බවයි.

පිංවත් වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ඔබ නුවණින් දකින්න. උතුම් තෙරුවන් සරණ පැත්තෙකින් තබලා, රෝගීන් සරණකරගත් හෙදි සොහොයුරියක්, උතුම් ශීලය සිල්වතුන් උදෙසාම පූජාකරන දානය පැත්තකින් තබලා, රෝගීන්ට පමණක් සලකපු, උපස්ථාන කරපු ගෞරවනීය හෙදි සොහොයුරියගේ, ජිවිතය තුල මෙවැනි මොහොතක, ශක්තිමත්ව මතුකොට ගැනීමට කුසලයක් තිබිය හැකිද, සමහරක් පිංවතුන් සිතනවා. තමන් රාජකාරිය හැටියට රෝගීන්ට කරන්නා වූ ප‍්‍රතිකාර, උපස්ථාන නිසා තමන්ට දාන, ශීල භාවනා කටයුතු කිරිමට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා, පිංවත් ඔබ මේ මුලාවෙන් බැහැර වෙන්නට ඕනේ. පිංවත් ඔබ රෝගීන් උදෙසා කරන සේවය, ඔබේ මරණය නැමැති අභියෝගාත්මක අවස්ථාවේදී, ශක්තිමත් කුසලයක් බවට මතුකොට ගැනීමට, ඇති ඉඩකඩ ඉතාමත් සීමිතයි. මොකද පිංවත් ඔබ, රැකියාවක් වශයෙන්, වැටුපක් උදෙසායි මේ උපස්ථානයන් සිදු කරන්නේ. උසස්වීම්, අතිකාල, දිරිදීමනා, සේවා සුරක්ෂිතභාවය, වෘත්තිය අයිතිවාසිකම්, මේවා ලබාගනිමිනුයි ඔබ රෝගියාට උපස්ථානය කරන්නේ.

දෙවනි කාරණය තමයි, පිංවත් ඔබේ උපස්ථානයට ලක්වෙන රෝගියා, සමහර විට පංචශීලයවත් රකින්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම්, තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර කෙනෙක් වෙන්නත් පුළුවන්, එහෙම වෙනකොට කුසල් මූලයන් ශක්තිමත්ව මතුකොට ගැනීමට හැකියාව නැතිවෙනවා. රෝගීන්ට උපස්ථානය කිරිම සම්බන්ධව ලොව්තුරා බුදුරජාණන්වහන්සේ බොහෝම පැහැදිලි දේශනාවක් කොට තිබෙනවා. මේ දේශනාවට වැරදි අර්ථයන් දක්වමින් පිංවතුන් සිතනවා. රෝගීන්ට උපස්ථානය කිරිම, බුදුරජාණන් වහන්සේට උපස්ථානය කිරිමක්ය කියලා. මේ මතය නිසාම රැුකියාවක් වශයෙන් රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම, උපස්ථාන කිරිම තුළින් ප‍්‍රාතිහාර්්‍යයක් බලාපොරොත්තු වෙනවා.

ඉහත මතය සම්පූර්ණ වැරදි මතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ, යමෙක් රෝගීන්ට උපස්ථානය කරන්නේ නම්, ඔහු හෝ ඇය, බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙය කරන කෙනෙක් වෙනවාය කියලයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට, කරන උපස්ථානය, ප‍්‍රතිකාරය, ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨම පිංකමක් වෙනවා. එය ශ්‍රේෂ්ඨම පිංකමක් වන්නේ, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, ඥාණයන් නිසාමයි. දෙවැනි ශ්‍රේෂ්ඨ පිංකම වන්නේ, මහා සංඝරත්නය උදෙසා කරන උපස්ථානයයි. තෙවනුව ශ්‍රේෂ්ඨ වන්නේ ශීලයන් ආරක්‍ෂාකර ගනිමින් ජීවත්වන පිංවතුන්ට කරන උපස්ථානයයි. අනෙකුත් සියළුම උපස්ථානයන් මේ සීමාවෙන් පහළටයි ගැනෙන්නේ. ඉහත උපස්ථාන ඔබ කළ යුත්තේ ලාභසත්කාර, කීර්ති ප‍්‍රශංසා බලාපොරොත්තුව නොවෙයි. එසේ බලාපොරොත්තු ඇතිකරගතහොත්, ආනිශංස පක්ෂය හීන වෙනවා. මොනම හේතුවක් නිසාවත් රෝගීන්ට උපස්ථානය කිරිම බුදුරජාණන්වහන්සේට කරන උපස්ථානයක් වශයෙන් දකින්න එපා. එහෙම වුනොත් පිංවත් ඔබට බුදුරජාණන්වහන්සේගේ උතුම් ඥානයන් ගුණයන් කෙරෙහි සද්ධාව සකස්කොට ගැනීමට නොහැකිවෙනවා.

මෙම කාරණය සඳහන් කිරිමට භික්ෂුව අදහස් කලේ, වෛද්‍ය ක්ෂේත‍්‍රයේ සමහරක් පිංවතුන්, තමන් රෝගීන්ට කරන උපස්ථාන තුලින් පමණක් සෑහීමට පත්වෙන ප‍්‍රවණතාවයක් දැකීමට තිබෙන නිසා. පිංවත් ඔබ රෝගීය උපස්ථානය, තෙරුවන් කෙරෙහි සද්ධාවත්, ශීලයත්, දානයත් තුලින් අයෝමය ශක්තියක් බවට පත්කොට ගැනීමට දක්ෂ වෙන්න.