ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක් මේක. භික්‍ෂුව මේ මොහොතේ තම දෙතිස් කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්‌ගෙඩියෙක්‌වන් කලලයි දකින්නේ.
මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්‍ෂුව මේ මොහොතේ නුවනින් දකිනවා තාත්තා කෙනෙකුගෙන් නික්‌මෙන ශුක්‍රාණුවකත්, අම්මා කෙනෙකුගේ මසකට වරක් නික්‌මෙන මළ ඩිම්බයකත් ඇති පිළිකුල්භාවය, අපුලභාවය, දුර්ගන්ධය. මේ රූපය, මේ කය අයිති ඒ පිළිකුලටයි. දුර්ගන්ධයටයි. මේ රූපයේ, මේ කයේ නිර්මාතෘවරුන් ඔවුන්මයි. පිංවතුන් මේ අත්දකින්නේ කායානුපස්‌සනාවට අදාළව දෙතිස් කුණපයයි.
ඉහත කරුණු පිංවත් ඔබලාට සටහන් තබන්නේ කියවීමට පමණක් නොව, නුවනින් ඔබේ ජීවිතයට ගලපා බැලීමටයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුණපයට අදාළව මේ කය දකිනකොට විවිධ ධාන්‍යවලින් පිරුණු මල්ලක්, නුවණැති පුද්ගලයෙක් මුං, කව්පි, කඩල, මෑ, තල වශයෙන් වෙන්කොටගනීද, වෙන්කොට දකීද, හිසේ සිට දෙපතුළ දක්‌වා කුණප කොටස් වෙන්කොට දකින්නය කියලා.
පිංවත් ඔබ මනසින් මේ සුන්දර සුරූපී කය ලිහා බලන්න. දෙතිස් කුණපයන් වෙන්කොට දකින්න. එහි හටගැනීම, පැවැත්ම, විනාශය නුවනින් දකින්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, යොවුන් වයසේ සුරූපී තරුණියක් සිටිනවා, ඇය නා පිරිසිදු වී, අලුත් ඇඳුම් ඇඳගෙන, සුවඳ විලවුන් තවරාගෙන, හිසේ මල්ගසාගෙනයි සිටින්නේ. යම් පුද්ගලයෙක් ඇවිල්ලා මේ තරුණියගේ ගෙලට සර්ප කුණක් දැම්මොත් යම් පිළිකුලකින්ද ඇය මේ සර්පකුණ දකින්නේ, මේ කයත් ඒ සර්පකුණ ආකාරයෙන්ම පිළිකුලෙන් දකින්න කියලා.
පිංවත් ඔබේ ඇස්‌දෙකෙන් කබ ගලලා, කන් දෙකෙන් කළාඳුරු වැගිරිලා, නාසයෙන් සොටු දියර ගලලා, කටෙන් කුණුකෙළ ගලලා, ශරීරයෙන් දහඩිය දමලා, මුත්‍රාශයෙන් මුත්‍රා, ගුදමාර්ගයෙන් අසුචි ගලන රූපයක් මනසින් මවාගන්න. ඔබ මනසින් මවාගත් රූපයට අනුවම, අන්‍යයන්ගේ රූපය ගැනත් එසේම දකින්න. මේ කය අසුචි ගොඩක්, මුත්‍රා ගොඩක් කොට දකින්න.
මනුෂ්‍යයා සද්ධර්මයෙන් ඈත්වීම නිසාම කයේ යථා ස්‌වභාවය නුවනින් දකින්නේ නැහැ. ඒ නිසාම මේ දෙතිස් කුණපයට වටිනාකමක්‌මයි ලබාදෙන්නේ.
කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් වර්තමාන ව්‍යාපාර ලෝකයට ලොකු වටිනාකමක් ලබාදීලා තිබෙනවා. අවබෝධයෙන් අතහැරිය යුතුවූ දෙය, අනවබෝධයෙන් පෝෂණය කරනවා. දෑස් පියාගෙන පිළිකුලක් ලෙස අවබෝධය කළයුතු වූ දෙය දෑස් හැරගෙන ලස්‌සන කරනවා.
භික්‍ෂුවට මතකයි අතීතයේ ශරීරය ලස්‌සන කරපු රූමතියක් සිටියා. මැදිවියේ රූමතියක්. ඇයගේ රූමත්භාවය නිසාම ඇය ඉලක්‌කම් තුනේ හතරේ මිල ගණන්වලට විකිණුනා. ඇය දෙතිස් කුණපයක් දරාගෙන සිටියත් ඒ බවක් ඇය දැනගෙන සිටියේ නැහැ. ඇයගේ අත්බෑගයේ නිරතුරුවම මුහුණබලන කණ්‌ණාඩිය, සුවඳවිලවුන් නැතිවුණේ නැහැ. නොසිතූ මොහොතක, නොසිතූ ආකාරයට ඇය මියයනවා. දැන් ඇය රිලා රැළක රිලවියක්.
දෙතිස් කුණපය කෙරෙහි තිබෙන තෘෂ්ණාවෙන් ඔබ නොමිදුනොත්, නැවත ඔබ අසාමාන්‍ය රූපයකට බැසගන්නවාමයි. එම නිසා පිංවත් ඔබ නොවටිනා දෙතිස්‌කුණපයකට වටිනාකමක් නොදී එහි පිළිකුළ, එහි යථාර්ථය, එහි වෙනස්‌වීම දෙස නුවනින් දකින්න.