එදිනෙදා ඇස ගැටෙන දේ කමටහන් කර ගන්නේ කොහොම ද?

ප්‍රශ්නය : –

ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කැලය ඇතුළෙ තියෙන කුටියකත් ඉන්නවා. ඊළඟට මේ වගේ ග්‍රාමවාසී ආරණ්‍යවල, නගර ආශ්‍රිත කුටිවල නිතර නිතර ඉන්නවා. ඒ අතරෙ පයින් ගමන් කරනවා. වාහනවල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මේ සෑම අවස්ථාවකම ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියයන් පහට ගෝචර වෙන දේ එකිනෙකට එකක් පරස්පරයි. එතකොට අපි ධර්මය දියුණු කරන්න යන මාර්ගයට උපකාරයක් වෙන විදිහට අපිට එදිනෙදා ඇස ගැටෙන දේ කමටහනක් විදිහට අපි පත්කර ගන්නේ කොහොමද…? ස්වාමින් වහන්සේගේ අත්දැකීමක් මඟින් අපිට පහදන්න. (ස්වාමීන් වහන්සේ නමකගේ ප්‍රශ්නයක්)

පිළිතුර :-

ස්වාමීන් වහන්ස, මම කවදාකවත් ලෝකයේ දේවල් මගේ කරගන්න ගියේ නැහැ. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් තියෙන්න ඇරියා. මොකද මමත් ලෝකයෙන් මිදෙන්න නේ ගියේ. ඒ නිසා ලෝකය මගේ කර ගන්න අවශ්‍ය නැහැ. අපි මෙතැනට ආවත් මෙතන තියෙන දේ මගේ කරගත යුතු නැහැ. මගේ කාර්යය කරගෙන මම හිමිහිට යනවා. මට රැඳෙන්න බැරිනම් මම මෙතැනින් යනවා. ඉතින් මෙතැන ඉන්නවා නම් මගේ කාර්යය කරගෙන මෙතැන ස්වභාවය මෙතැනට පවතින්න දීල ඉන්නවා. මගේ ස්වභාවයත් මට අයිති නැති කොට මට මෙතැන තියෙන ස්වභාවයන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෝකය ලෝකයේ ස්වභාවයෙන් තියෙද්දෙන්. මනුෂ්‍යයා මනුෂ්‍යයාගේ ස්වභාවයෙන් සිටියදෙන්. පරිසරය පරිසරයේ ස්වභාවයෙන් තියෙද්දෙන්. තමන් මේ දෙය අවබෝධ කරගන්නා ස්වභාවයෙන් ඉන්න ඕනෙ.

ස්වාමීන් වහන්ස, අවබෝධ කරගන්නවා නම් මොකක්ද තියෙන්නෙ. මේ හැම ස්වභාවයක්ම අනිත්‍යයි කියන කාරණයයි අපි අවබෝධ කරගන්න ඕනෙ. මේ හැමදේම අනිත්‍යයි කියන කාරණය නම් වෙනස්වීම කියන කාරණයට අපි පුරුදු වෙන්න වෙනව. ස්වාමීන් වහන්ස, වෙනස්වීම කියන කාරණය අපි දකින්න දක්ෂ වෙන්න වෙනවා. මොකද අපි හිතන දේ නෙමෙයි අපිට ඊළඟ මොහොතේ සිදුවන්නේ. මොකද මේ දේවල් අනිත්‍යයි කියන කාරණය තුළ ඉඳගෙන. ඒ නිසා ස්වාමීන් වහන්ස එතන ස්වභාවය එතන ස්වභාවයෙන් තියෙද්දෙන්. අපි අපේ ස්වභාවයෙන් හිටියම ප්‍රශ්නය ඉවර වෙනවා. මේ වගේ දේවල් අපට ඕනෑ තරම් වෙලා තියෙනවා.

මම දවසක් එක්තරා ආරණ්‍යයක ඉන්න කොට එතන පුංචි සාමණේර හාමුදුරුවරු දහ නමක් විතර ඉන්නවා. හවස වන්දනාවට ගියා. හවස 6.30 ට තමයි වන්දනාව තියෙන්නෙ. දැන් ඒ සාමණේර හාමුදුරුවරු ටිකක් දඟකාරයි. මම වැඩිවියට පත්වෙලානෙ මහණ වෙලා ඉන්නෙ. ඒ ගොල්ලො ආසයි වැඩිවියට පත් වූ අයට, මොකක් හරි කියලා සතුටු වෙන්න. ඉතිං අපි දැන් වන්දනාව කරලා ඉවර වෙලා පැය භාගයක භාවනාවක් තියෙනවා. මම පැය භාගය භාවනා කරන කොට මට තේරෙනවා එතන ඒ ශාලාවේ මදුරුවො ඉන්නවා. ඒ නිසා මදුරු කොයිල් දෙක තුනක් පත්තු කරනවා භාවනාව කරන්න බැරි නිසා. නමුත් මම භාවනා කර කර ඉන්න කොට මට තේරෙනවා මේ මදුරු කොයිල් දුමක් මගෙ මේ නහය කඩාගෙන යනවා. ඒ කියන්නේ කෙනෙක් මගේ මේ නහයට මදුරු කොයිල් දුම අල්ලනවා. මේ මගේ නහය කඩාගෙන යනවා දැන්. මේ මට ඉන්න බැහැ. කිවිසුම් යන්න එනවා. ඒත් මගේ ඒ භාවනා ඉරියව්ව වෙනස් වුණේ නැහැ. නමුත් ඒක කරපු හාමුදුරුවො තවමත් දන්නෙ නැහැ මම ඒක දන්නවා කියලා.

ආයෙමත් එක දවසක් තව තැනක සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරන කොට ඒ කට්ටිය හිනස්සන්න පිටිපස්සෙන් ඇඟිලි තියලා අර අපි අං එනවා කියලා කියන්නෙ. මට තේරෙනවා ඒ වගේ පිටිපස්සෙන් කෙනෙක් ඉඳගෙන මොනවහරි කරනවා. නමුත් ඒ ගොල්ලො තාම දන්නෙ නැහැ මම ඒක දන්නවා කියලා. මොකද අනුන්ගේ දේවල් මම මගේ කරගන්න ගියෙ නැහැ. මගේ කරගන්න ගියා නම් මට එදායින් පස්සෙ ඒ ආරාමෙ ඉන්නත් බෑ. ඒ නිසා ආරණ්‍යය ආරණ්‍යයේ ස්වභාවයෙන් තියෙද්දෙන්.

දවසක් මම ඒ ආරණ්‍යයේ ඉන්න කොට වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් මාව පරීක්‍ෂා කරන්න, ඒ ආරණ්‍යයේ 11.30 වෙන කොට තමයි දානෙ බෙදන්නේ. නමුත් එදා 11.00 වෙනකොට ඔක්කෝම දානය පාත්තරවලට බෙදල ඉවරයි. මම යනකොට අතන භාජනවල තියෙනවා වම්බටු ටිකකුයි, බත් දංකුඩ ටිකකුයි. මම ගිහිල්ල එතන තිබුණ බත් දංකුඩ ටිකයි වම්බටු ටිකයි බෙදාගෙන දාන ශාලාවේ දොරෙන් එළියට එනකොට ඒ වැඩේ කරපු ස්වාමීන් වහන්සේ එතන ඉන්නවා. එයා කිව්වා අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අද දානෙ නැහැ නේද කියලා. මම කිව්වා මම වළඳලා තියෙන දානත් එක්ක බලනකොට මේක රාජ බෝජනයක් කියලා. මම එතනදිවත් එයාට සතුටු වෙන්න දුන්නේ නැහැ.

බුද්ධිමත් ස්වාමීන් වහන්ස, අපි ලෝකයේ දේවල් අපේ කරගන්න ඕනෙ නැහැ. මොකද සංසාරෙ අපිත් කවදාහරි එහෙම කරපු නිසයි මට එදා දානය වැරදුණේ. මමත් සංසාරේ කවදා හරි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දානය වරද්දන්න ඇති. මමත් කවදා හරි සංසාරේ භාවනා කරපු හාමුදුරු කෙනෙකුට මදුරු කොයිල් දුමක් අල්ලන්න ඇති. එහෙමනම් මම කරපු දේ තමයි මට ලැබුණේ. මම කරපු දේ මට ලැබෙන කොට ඒවට ගැටිල වැඩක් නෑ. එහෙම වුණොත් අකුසලය උදෙසා මම තව අකුසල් රැස්කර ගන්නවා. කොයිම වෙලාවකවත් ලෝකයේ දේ අපිට ගන්න බෑ. මොකද මේ ලෝකය අත් හරින්නයි අපි යන්නෙ. ලෝකය අත්හරින්න යන ගමනෙදි අපි ලෝකයේ දේවල් ගන්න ගියොත් ස්වාමීන් වහන්ස අපි ලෝකය අල්ලා ගැනීමක් තුළයි ඉන්නෙ.

එහෙම නම් මෙතනදී අපි දක්ෂ වෙන්න ඕන. ලෝකය ලෝකයේ ස්වභාවයෙන් තියෙද්දෙන්. අපට ලෝකය නිවැරැදි කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට ලෝකය නිවැරැදි කරන්න බැරි වුණානම් අපට කවදාවත් ඒක කරන්න බැහැ. වැරැදි කරන ලෝකය තුළ අපි නිවැරැදි වෙලා මෙතැනින් යන්නයි අපට තියෙන්නෙ. ස්වාමීන් වහන්ස, මගේ ජීවිතයේ මම වැඩියෙන්ම පින් දෙන්නෙ මට වැරැදි කරපු අයටමයි. මට ආදරය කරපු නැති අයටමයි. මොකද මට ලෝකය ආදරය කළා නම් මම අද මෙතන නෑ. ස්වාමීන් වහන්ස, ලෝකයා ආදරය නොකරපු නිසාමයි මම මෙතැන ඉන්නෙ.

එහෙමනම් ලෝකයා මට ආදරය නොකළේ ස්වාමීන් වහන්ස, මගේ වැරැද්දක් නිසා නෙමෙයි. ඒ හේතුඵල ධර්මයක් මයි. මට මෙතනට එන්න අවස්ථාව ලබල දෙන්නයි මට ලෝකයා ආදරය කරලා නැත්තේ. ලෝකයා මට වෛර කළා නම් වෛර කළේ. එහෙනම් වෙච්ච දේ හොඳටයි වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්ස, අපේ ජීවිතයේ කොයි දේ වුණත් හෙට අපි පාරකට යනකොට වැරැද්දක් වෙන්න පුළුවන් කෙනෙක්ගෙන්. නමුත් ඒ වැරැද්ද හොඳටමයි වෙන්නෙ කියලා අපි දකින්න ඕනැ. ඒක තුළිනුත් අපිට යහපත් දේ මතුකර ගන්න ශක්තිය තියෙන්නෙ ඕන ස්වාමීන් වහන්ස..!!!

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු…!!!

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…