භව නිරෝධය උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් කැප කරමි.

භාග්‍යවතුන් වහන්ස, මාගේ මේ භික්‍ෂු ජීවිතයේ අයිතිය ඔබවහන්සේටමය. භාග්‍යවතුන් වහන්සේ මට දුන් භික්‍ෂු ජීවිතය, ඔබ වහන්සේ භික්‍ෂුවකගෙන් බලාපොරොත්තු වූ භව නිරෝධය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැප කරමි කියන අධිෂ්ඨානය පමණයි. මා ගිහි ජීවිතය හැරගිය දවසේ මා තුළ තිබූ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්ගෙන් තොර එකම අරමුණ වුණේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයන් තුළින්, ජීවිතවලට ලබා දෙන අයෝමය මහා කරුණා ගුණයෙන් ශක්තිය, අපෙන් ලේ, මස්, සම්, ඇට නහරවැල් තුළින් මතුකොට දකිද්දී, මේ ලෝක ධාතුව තුළ තිබෙන අර්ථවත් ම බුද්ධ පූජාව, තමා තුළින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වූ විමුක්තිය සාක්‍ෂාත් කොට ගැනීම පමණක්මයි කියලා දකිනවා.

මේ උතුම් දැක්ම සතර අගතියෙන් තොර දැක්මක්. මේ දැක්ම සතර අගතියෙන් තොර දැක්මක් බවට පත් කොට දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්භාවය තුළින් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් සහ එම සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් ශක්තිමත් කොට ගන්නා සප්තබොජ්ඣංග ධර්මයන් විසින් මය. මෙතනදී බුදුරජාණන් වහන්සේ සතර අගතියෙන් තොරව කියලා දේශනා කොට ඇත්තේ, පළමුවැනි කාරණය ඡුන්දය ඒ කියන්නේ කැමැත්ත.

බුදුරජාණන් වහන්සේ උදෙසා සැබෑම, අර්ථවත්ම, බුද්ධ පූජාවක් ලෙස තම ජීවිතය පූජා කරන භික්‍ෂුවක්, එය සිදුකළ යුත්තේ ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා, ජනප‍්‍රිය භාවයන්, සශ‍්‍රීක සිවුපසය, කෙරෙහි කැමැත්තකින් තොරවමය. මේ ශක්තිය ලබා ගැනීම උදෙසා භික්‍ෂුවකට උපකාරක ධර්මයන් සකස් කොට, දෙන්නේ, තමන් ප‍්‍රගුණ කළ කායානුපස්සනාවයි.

ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් වූ මේ ජීවිතයට, මරණයට අත වනන මේ ජීවිතයට ලේ, සෙම්, සොටු, සැරව, මුත‍්‍රා, අසූචි කළගෙඩියක් වූ මේ රූපයට, කුමන ලාභ සත්කාරයක් ද? කුමන කීර්ති ප‍්‍රශංසාවක්ද තමා තුළින් රූපයේ අනිත්‍යභාවය දකිමින්, රූපය තවත් පටිච්චසමුප්පන්න රූපයක් උපද්දවා ගැනීම උදෙසා නොව, රූපය රූපයේ නිරෝධය උදෙසාම යොමු කර ගන්නවා. ලාභසත්කාර, කීර්ති ප‍්‍රශංසා එම භික්‍ෂුව වේදනානුපස්සනාවෙන් දමනය කොට ගෙන සැප වේදනාවන්ගේ අනිත්‍යභාවය දකිනවා.

සතර අගතියට අයත් දෙවැනි අර්ථය තමයි ද්වේශයෙන් තොරවීම. භික්‍ෂුවක් අර්ථවත්ව බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් ලෙස තම ජීවිතය පූජා කරන්නේ ද්වේශයෙන් තොරව මයි. වේදනානුපස්සනාවට අදාළව සැප, දුක් විඳීම්වල අනිත්‍යභාවය දකිමින්, එම භික්‍ෂුව ද්වේශය සියුම් කරනවා, ද්වේශය සකස් කොට දෙන, සැප දුක් වේදනාවන් අතීත සංස්කාරයන්ගේම පටිච්චසමුප්පන්න ඵලයක් බව දකිමින්, හේතුඵල ධර්මයන්ට අදාළව එම භික්‍ෂුව ද්වේශය සියුම් කොට ධර්මයේ උපේක්‍ෂාවට සිත ගන්නවා. වර්තමානයේ ද්වේශයට හේතු වන, සංසාරයේ තමන්ම පටිච්චසමුප්පන්නව සිදුකළ වැරදිවලට තමා තමාගෙන් පළිගන්නේ නැහැ. එම භික්‍ෂුව දන්නවා, ද්වේශය කියන්නේ, තමා තමාගෙන්ම පළිගැනීමක් ය කියලා. ද්වේශය අදාළ සෑම සිතුවිල්ලක්ම ඔහු චිත්තානුපස්සනාවට යොමු කරනවා. ඔහු තුළ සකස්වන අපායගාමී නොවන සියුම් ද්වේශය, දැන් එම භික්‍ෂුවට ද්වේශය නිරෝධය කිරීමේ කමටහනක් බවටයි පත්වන්නේ.

සතර අගතියට අයත් තුන්වැනි කාරණය වෙන්නේ, එම භික්‍ෂුව භයෙන් තොරවයි හැසිරෙන්නේ. ඔහු බිය රහිතව ජීවත්වන භික්‍ෂුවක්. බිය කියන කාරණය ඔහු දන්නවා, අනිත්‍ය වූ සිතක් ය කියලා. බුදුරජාණන් වහන්සේ උදෙසා අර්ථවත්ම බුද්ධ පූජාවක් හැටියට ජීවිතය පූජා කරන භික්‍ෂුව එම පූජාව සිදුකළ යුත්තේ භයෙන් තොරවමයි. බුදුරජාණන් වහන්සේ නමැති අයෝමය ශක්තිය ඉදිරියේ එම භික්‍ෂුවට බිය අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් පමණක්මයි. තමා තුළ වැඩෙන ආර්ය ශීලය, ආර්ය මෛත‍්‍රිය, තමා තුළින් බිය බැහැර කරනවා.