අගෝස්තු පසළොස්වක පොහොය දවසේ ගම්මානයේ දුප්පත්, පොහොසත් පිංවතුන් විසිපහකට වැඩි පිරිසක් පැමිණ භික්ෂුවට වස් ආරාධනාවන් සිදු කළා.ගමේ හැමෝම එකතුවෙලා මැටි අනලා, පොල් අතු බැඳලා, දින හතරක් පමණ දිවා රාත‍්‍රී වෙහෙසවෙලා තාවකාලිකව කුටියක් හදලා, කුටියේ බිම ඇතිරූ ගොම මැටිවල නැවුම් සුවඳ අකීකරු සුළඟ සමඟ මුසුවී නාසයට දැනෙනකොට අතීත ශ‍්‍රාවකයන් වහන්සේලාගේ අල්පේච්ඡ ප‍්‍රතිපදාවමයි, භික්ෂුවගේ සිහියට නැගෙන්නේ.
වර්තමානයේ, අපේ භික්ෂු ජීවිත තුළින් අපිට සම්මා සම්බුද්ධ ශාසනයේ අතීත ගුණාත්මකභාවයන් දකින්නට පුළුවන් නම් අනාගතය නිෂේධවී යන්නේ, අතීතයත් වර්තමානයත් යන දෙකම අනිත්‍ය සංඥාවෙන් මොනවට පෝෂණය කරලා. හිස් කුටියේ වැඩ සිටින හිස් ජීවිතයක්, පටිච්චසමුප්පන්න අතීත සංස්කාර හේතුවෙන් සකස්වෙන, විඤ්ඤාණයේ බලපරාක‍්‍රමයෙන් පටිච්චසමුප්පාද ක‍්‍රියාවලිය තුළ, එහා මෙහා යද්දී බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයකුට ඉතුරුවෙලා තිබෙන්නේ, විදර්ශනාත්මක සිතින්, ඒ දෙස බලා සිටීම පමණක්මයි.
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් තම ජීවිතයෙන් තෘෂ්ණාවට නැවතීමක් තබලා, තම ජීවිතය ඉදිරියට ගලාගෙන යනකොට, ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් හේතුවෙන් සකස්වෙන හැලහැප්පීම් සියල්ලම අතුරුදන් වෙලයි තිබෙන්නේ. උපාදානයන්ගේ බැමි කඩා බිඳ දමලයි තිබෙන්නේ, භවාත‍්‍රයට විලංගු දැමූ ජීවිතය නැවතී තිබෙනවා. අතීත සංස්කාර හේතුවෙන් සකස්වෙන ජරා, ව්‍යාධි, මරණයන්ට නිදහසේ ක‍්‍රියාත්මකවීමට අවකාශය ලබාදීලා.
උන්වහන්සේලාගේ තෘෂ්ණාව සිඳ දැමූ ලෝකයට, වෙනදා වගේම, ඉර සඳ පායනවා. අව්ව, වැස්ස, සුළඟ, පින්න වෙනදා වගේමයි. තෘෂ්ණාවෙන් සංකීර්ණ වූ කාර්යබහුල සම්මුති ලෝකය වෙනදා වගේම තරගකාරීයි. නමුත් උන්වහන්සේලා මේ සියල්ල මැද ඵස්සය දොරකොඩ නැවතී සිටිනවා. උන්වහන්සේලාගේ ජීවිත රාත‍්‍රියට ගිනි ගන්නෙ, උදෑසනට දුම් දමන්නේ නැහැ. අවිද්‍යාවේ ගිනි පුපුරු, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ සිසිල් දියෙන් නිවාදමලයි වැඩසිටින්නේ. උන්වහන්සේලාගේ දෑස්වලට නැවත දුක් කඳුළු හෝ සතුටු කඳුළු මතුවෙන්නේ නැහැ. සංස්කාරයන්ගේ ඇත්ත අවබෝධකොට ගනිද්දී දුක සහ සැප තෘෂ්ණාවටම භාරකරලා උන්වහන්සේලා නිදහස්වයි වැඩසිටින්නේ. විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ, සංස්කාරයන් බලගන්වන මැජික් සියල්ලම පරාජය කළ උන්වහන්සේලාට, ඉතිරිව ඇත්තේ අහිංසක ලෝක සත්වයාගේ විජ්ජාකාර, මායාකාර මැජික් සංදර්ශනයන් දෙස, කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන් යුතුව බලාසිටීම පමණක්මයි.
කුටියේ ජනෙල් කවුළුවෙන් කුටියට වැටෙන ආලෝකය ටිකෙන් ටික අඩුවෙලා යනවා. රාත‍්‍රී ඇඳිරි වැටෙන්නයි සූදානම. මේ රාත‍්‍රිය පින්වත් ඔබට ලස්සන රාත‍්‍රියක් කරගැනීමට අවශ්‍ය නම් මේ රාත‍්‍රිය අවිද්‍යාවට අභියෝග කරන රාත‍්‍රියක් බවට පත්කොට ගැනීමට අවශ්‍ය නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අතීත, වර්තමාන, අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින රාත‍්‍රියක් බවට පත්කොට ගන්නය කියලා.
පිංවත් ඔබ ඊට සූදානම් ද, පංච කාමයන් බිමින් තබලා ලස්සන රාත‍්‍රියක් ගතකරන්නත්, ඊට අදාළ සංස්කාරයන් අපේ ජීවිත පිටුපස තිබෙන්න ඕනේ, එම සංස්කාරයන්ගේ හිඟ පාඩුව නිසාමයි, අපි සෑම රාත‍්‍රියකම කාමයන්ට, දෑතින්ම අත වනන්නේ. කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය, සද්ධර්ම ශ‍්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම, අපේ ජීවිත මොනතරම් නම් අර්ථවත් කොටදෙනවාද. නින්ද, නොනින්දක් බවට පත් කරලා, කෙලෙස් නිදිගන්වන, සුන්දර මනුෂ්‍යයා ජීවත්වෙන්නේ, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණක්මයි.
හිරු ආධිපත්‍යය දැරූ දවස ගෙවී ගියා, ලන්තෑරුම් එළිය තනිරූල් කොළය මතට වැටෙනකොට, සිත තවත් නිවීයනවා. සිත නිවීයන දේවල්වලට සමාජය හරිම අකමැතියි. ඒ නිසාම පාට පාට දේවල්, ආලෝකවත් දේවල් සමාජයේ වැහි වැහැලා. සමාජයේ පාට පාට දේවල් වැඩිවෙනකොට නිවුණු සිත් අඩුවෙලා යනවා. නිවුණු සිත් අඩුවෙන කොට සමාජයේ දුක වැඩිවෙලා යනවා.
පසුගියදා දවසක මහත්මයෙක් ප‍්‍රකාශ කළා, ස්වාමීන්වහන්ස, උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය හදාරන ගැහැණු දරුවකුගේ පිළිකාවක් හැදීම නිසා, කකුලක් කපා දැමුවාය කියලා. දුප්පත් දරුවෙක්, එම මහත්වරුන් ඇයට උපකාර කළත්, ඒ හැමෝටම ප‍්‍රශ්නයක්, ඇයි මේ තරුණ දරුවාට මෙවන් විපතක් වුණේ කියලා. සංස්කාරයෝ කාටවත් වරදක්, අසාධාරණයක් නම් කරන්නේ නැහැ. භික්ෂුවට, භික්ෂුව වගේම, සංස්කාරයන් භික්ෂුවට විශ්වාසයි.
පසුගිය දවසක භික්ෂුව කොළඔ දුම්රිය පළෙන් දුම්රියට ගොඩවෙලා, වෙන්කොට තිබුණ අසුනේ වාඩිවුණා. එම අසුනට සමාන්තරව අනෙක් පස තිබුණ අසුනේ අවුරුදු විසි පහක පමණ පිංවත් තරුණියක් අසුන්ගත්තා. ඇය පැළඳගෙන සිටියේ, වර්තමාන කාන්තාවගේ ජාතික ඇඳුම වන හිරට හිරේ ඩෙනිම් කලිසමක් සහ බැනියමක්. ඇය අසුනේ වාඩිවෙලා කකුලක් මත කකුලක් දමාගෙන, ඇයගේ එක කකුලක යටිපතුල් භික්ෂුව දෙසට යොමුකරගෙනයි සිටියේ. සංඝයා ඉදිරියේ අශීලාචාර ඉඳගැනීමක්. ඇය මෙසේ වාඩිවෙලා, තම සෙලියුලර් දුරකථනය අතේ තබාගෙන එය ක‍්‍රියාත්මක කරමින්, ගමනාන්තය තෙක්ම ගමන් කළා. කොයි මොහොතේවත් ඇය නිවැරදි ඉරියව්වකින් වාඩි වුණේ නැහැ. පිංවත් ඇය භික්ෂුව දෙසට යොමු කොටගෙන සිටි ඇයගේ සුන්දර යටිපතුල දකිනකොට, භික්ෂුවට මතක් වුණේ තරුණ වයසේදීම පිළිකාවකින් කකුල කපා දැමූ පාසල් වයසේ දියණියයි. ඒ අහිංසකාවියගේ කපා දැමූ කකුලත් අතීත සංසාරයේ සංඝයාට දික් කළ පාදයක් වෙන්න පුළුවන්.
පිංවත් නෝනා, මහත්වරුනේ කාට දෙපා දිග්කළත්, දෙවියන්, බ‍්‍රහ්මයින්, මනුෂ්‍යයින් වන්දනා කරන සංඝයාට කකුල් දිග් කරන්න එපා. පටිච්චසමුප්පන්නව ඔබේ දෙපා තරුණ වයසේදීම කපා දමන්න පුළුවන්. දැන්, දැන් කුඩා දරුවන්, ළමා වයසේ දරුවන්, තරුණ තරුණියන් රූපයෙන් ගොඩාක් ලස්සනයි. ලස්සන රූපයට, නවීන විලාසිතා ඇඳුම් අන්දපුවහම, රූපය තවත් ලස්සන වෙනවා. අනේ පිංවත් අහිංසක, අහිංසකාවියනේ, මේ ලස්සන ඔබට අයිති නැහැ. ලස්සන අයිති අනිත්‍ය වූ සංස්කාරයන්ට, සංස්කාරයන් අයිති අවිද්‍යාවට. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම, දැන් පිංවත් ඔබට පේනවා නේද ලස්සන අයිති කාටද කියලා. ඔබේ ලස්සන රූපයෙන් ඔබ මත්වූ කෙනෙක් නම්, ඔබ ලෝකයට දෙන පණිවිඩය, මම චතුරාර්ය සත්‍යය නොදන්නා කෙනෙක් යන්නයි. දුම්රිය මැදිරියේ දී ගමනාන්තය තෙක්ම භික්ෂුව දෙසට තම පාදය දිග් කොටගෙන සිටි අහිංසකාවිය තුළින් භික්ෂුව දැක්කේ, තවමත් චතුරාර්ය සත්‍යය ගැන නොදන්නා අසරණ යුවතියකි. එම අහිංසකාවියට අනුකම්පා කරනවා හැර වෙන කුමක් නම් කරන්නද.
පටිච්චසමුප්පන්නව ඇය සංසාරයේ කොතෙක් නම් භික්ෂුවට අම්මා වෙලා, බිරිඳක්, සහෝදරියක්, දියණියක් වෙලා සිටින්නට ඇතිද. ඒ අතීත සංසාරික ඥාතිත්වය උදෙසා, වර්තමානයේ ඇය වෙනුවෙන්, භික්ෂුවට කරන්නට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඇය මාන්නක්කාර හැඟීමෙන්ම, භික්ෂුව තුට්ටුවකටවත් මායිම් නොකරම දුම්රියෙන් බැස ගියා. අකුසල් බලවත්, ඒ නිසාමයි ඇයට නිහතමානී වෙන්න සිත නොදෙන්නේ. අවිද්‍යාව ලෝකයේ නරකම, චපලම මිතුරායි. ඔහු සමඟ හිතවත් වෙන්න එපා.
දැන් වෙලාව රාත‍්‍රී අටට විතර ඇති, කාලය වේගයෙන් ගෙවී යනවා. අවිද්‍යාවේ හෙට දවස ශක්තිමත් කරන්න. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතයෙන්, තුන්කාලක්ම දැන් ගෙවී ගිහින්. සියලූම සංස්කාරයෝ අනිත්‍ය වුවත් මරණයක සේයාවක් නම් මේ මොහොතේ පෙනෙන්නට නැහැ. නමුත් අතීත සංස්කාරයන්ට අදාළව ජරා, ව්‍යාධි නම් ජීවිතයට නිතරම එබිකම් කරනවා. ජරා, ව්‍යාධි ජීවිතයට දැන් ඒ තරමටම ලෙන්ගතුයි. පාලනයකින් තොරවම ජරා, ව්‍යාධි ජීවිතයට ලෙන්ගතුවෙනකොට තවදුරටත් පිනට අදාළ සංස්කාරයන් කෙරෙහි, හොරගල් අහුලලා වැඩක් නැහැ. සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලාමයි දකින්නට ඕනේ.
බුදුරජාණන් වහන්සේ සංස්කාර මාරයා නිරෝධය කරන්නය කියලා අනුශාසනා කර තිබියදී, අපි සංස්කාරයන්ට උදේ හවස ආදරය කරනවා. ගිහි පිංවතුන්ලා පිනට අදාළ සංස්කාර කෙරෙහි දක්වන දැඩි ලොල්භාවය නිසාම, භික්ෂූන් වන අපිවත් දැඩි අපහසුතාවයන්ට පත්වෙනවා. ඒ නිසාම වෙන්නැති බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට තිබෙන්නේ, සමාජයෙන් දුරස්වෙලා ජීවත්වෙන්නය කියලා.
අපි පිනට අදාළ සංස්කාරයන්ට මොනතරම් ආදරය කළත්, සංස්කාර කියන අර්ථය තුළත් බැසගෙන තිබෙන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකම බව, අපි කවදාද තේරුම් ගන්නේ. අපි ඉපදුනේ, තනිව ඉපදිලා, තනිව මැරිලා යන්න බව ඇත්ත. අපි සියල්ලෝම එකම මවුකුස නොඉපදුනත්, අපි හැමෝටම පටිච්චසමුප්පන්න ඥාතිත්වයක් තිබෙනවා. ඒ පටිච්චසමුප්පන්න ඥාතිත්වයේ ජාන නිසාමයි. අපි එකිනෙකා මේ ජීවිතයේදී ගෞරවයෙන්, විශ්වාසයෙන්, මේ ජීවිතයේදී මෙලෙස හමුවුණේ. මේ ගෞරවණීය හමුවීම හේතුඵල ධර්මයක්.
එක පිංවතෙක් ද්වේෂයෙන් චෝදනා කරත්දී තව පිංවතෙක් ගෞරවයෙන් වන්දනා කරනවා. භික්ෂුව මේ සටහන් තබන්නේ සියලූ පින්වතුන් වෙනුවෙන්. අපේ මේ හමුවීම කඳුළින් හෝ සිනහවෙන් අවසන් වෙන සමුගැනීමක් විය යුතු නැහැ. කවදා හෝ දිනයක භික්ෂුවගේ මළකඳ මිහිදන් කළ සුසාන භූමිය, කඳුළු පිරි දෑසින් හැරයන සමුගැනීමක් විය යුතු නැහැ.
අපි සියල්ලෝම ගෞරවයෙන් මේ ජීවිතයේ දී නැවත හමුවුණේ, ඔබලා භවගමනේ තනිකොට, මා හැරයන්නට නොවේ, මා භව ගමනේ තනිකොට, ඔබලා හැරයන්නට ද නොවේ, සංසාරයක් පුරාවට පටිච්චසමුප්පන්නව විශ්වාසයෙන් බැඳුණ, අපේ අත්වැල් ලිහාදමා, පිංවත් ඔබ මගෙනුත්, මා ඔබගෙනුත් නිදහස්වීම සඳහාමය. පිංවත, තෘෂ්ණාවෙන් තොරව භික්ෂුව ඔබ දෙස බලනවා වගේම, ඔබද තෘෂ්ණාවෙන් තොරවම භික්ෂුව දෙස බලන්න.
භික්ෂුව පිංවත් ඔබ තුළින් ඔබ නොදැක අවිද්‍යාවම දකිනවා සේම, පිංවත් ඔබ භික්ෂුව තුළිනුත් අවිද්‍යාවම දකින්න. ජීවිතයක් යනු චතුරාර්ය සත්‍යය නොදැනීමේ අර්ථයක්ම බව දකින්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස් වසර දෙදහස් හය සියයකට පසුව, අපි සම්මා සම්බුද්ධ ශාසනය ප‍්‍රයෝජනයට ගත යුත්තේ රැකිරක්ෂා, ව්‍යාපාර, අධ්‍යාපනය, ආයුෂය, වර්ණය, සැපය, බලය, හිතවත්කම් උදෙසා පින් කරමින් ජීවත්වීමට පමණක් නම් නොවේ. අපේ විදර්ශනාමය අවබෝධයන් උදෙසාමය….!!!
– පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ.
පළකරන ලද්දේ :- දිවයින ඉරිදා සංග්‍රහය
(27/09/2020)
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න – https://www.facebook.com/kaalenadharmasaakachcha