මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් කියලා. කුමක්‌ද ඔබ ප්‍රත්‍යාවේක්‍ෂා කරන්නේ. ඔබ ගන්නා වූ ආහාරය, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස හෝ කුටිය. මේවා පරිහරණය කිරීමේදී සිහිනුවණින් පරිහරණය කරනවා. ආහාරයක්, ගිලන්පසක්, ඖෂධයක්, නිවාස පරිහරණය කිරීමේදී මේවා කෙරෙහි තෘෂ්ණාවක් ඇතිකොට ගතහොත්, ඒවා කෙරෙහි සුබ නිත්‍ය සංඥාවන් ඇතිකොට ගතහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන් වැඩෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා. ආහාරයත්, ගිලන්පසත්, ඖෂධත් ඔබ පරිහරණය කළ යුත්තේ මේ ශරීරයේ ජවය, මදය, අලංකාරය පිණිස සිතිවිලි ඇතිකොටගෙන නොවේ. අනිත්‍යභාවයට පත්වන ආයුෂ, වර්ණ, සැපය, බලය පිළිබඳ දැක්‌මක් ඇතිකොටගෙනය. ආහාරයක් ගැන සිතන මොහොතේ, ආහාරයක් සකස්‌කරන මොහොතේ, ආහාරයක් අනුභව කරන මොහොතේ ආහාරය කෙරෙහි ඇතිවන රස, ගුණ පිළිබඳ සිතිවිලි අනිත්‍ය වශයෙන් දකින්න ඔබ දක්‍ෂ නම් එතැන අර්ථවත් ප්‍රත්‍යාවේක්‍ෂාවක් තිබෙනවා. සංසාරයක් පුරාවට ඔබ ආහාර ටොන් කී ලක්‍ෂයක් ගිල දමන්නට ඇතිද? රජ, සිටු, ඇමැතිවරු වෙලා රාජ භෝජන කොතෙක් ගිල දමන්නට ඇතිද? සශ්‍රික දෙවිවරු වෙලා දිව්‍ය භෝජන කොතෙක් වළඳන්න ඇතිද? තිරිසන් සතුන් වෙලා තණකොළ, පුන්නක්‌කු කොතෙක් ගිලදමන්නට ඇතිද? ප්‍රේතයෙක් ප්‍රේතියක් වෙලා සෙම් සොටු මොනතරම් ආහාරය කොට ගන්න ඇතිද? යක්‍ෂයින් වෙලා භූත සත්ත්වයන් මොන තරම් මරාගෙන කන්න ඇතිද? මේ හැම භවයක්‌ම, මේ සෑම ආහාරයක්‌ම අනිත්‍ය බව නුවණින් දකිමින් වර්තමාන කෑම මේසයේ කෑම පිඟාන භූක්‌ති විඳින්න. ඔබ භුක්‌ති විඳින කෑම පිඟානේ රසයත්, ගුණයත් පිළිබඳ සිතුවිලි අපවිත්‍රභාවයට සෙම්, සොටු, රුධිරය, මුත්‍රා, වමනය අසූචි වශයෙන් නොගැටෙන සිතෙන්, සංසන්දනාත්මකව නුවණින් දකින්න. ඉහත කාරණයේදී ඔබේ සිතේ ගැටීමක් ඇතිවෙනවා නම් එම ගැටෙන සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. ආහාරය තුළ ඕපපාතිකව ඇතිවන පණුවෙක්, ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් තොරව ආහාර ගැනීමේ ඵලයක් බව නුවණින් දකින්න. අනුභව කරන බත් කටට වඩා, දන් දෙන බත්කට වටිනා බවත්, දන්දෙන බත්කටට වඩා, ප්‍රත්‍යාවේක්‍ෂා කොට අනුභව කරන බත්කට ශ්‍රේෂ්ඨ බවත් සිහිපත් කරගන්න.
ආහාර ප්‍රත්‍යාවේක්‍ෂාව ගැන සටහන තබනකොට, අතීතයේ වැඩ සිටිය ස්‌වාමීන් වහන්සේ නමක් මතකයට පැමිණියා. මේ ස්‌වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්. නමුත් අනිත් ස්‌වාමීන් වහන්සේලා මේ බව දැනගෙන සිටියේ නැහැ. මේ ස්‌වාමීන් වහන්සේ අනිකුත් ස්‌වාමීන් වහන්සේලාත් සමග දානෙ ගෙවල්වලට වැඩියහම පාත්‍රයට හත් වතාවක්‌ම දානෙ බෙදාගෙන වළඳනවා. වැඩිපුර දානය වළඳන මේ ස්‌වාමීන්වහන්සේ නිසා අනෙක් ස්‌වාමීන්වහන්සේලාට ලැඡ්ජාවක් ඇතිවුණා. දිනපතා සිදුවන මේ ලැඡ්ජාසහගත ක්‍රියාව නිසා ස්‌වාමීන්වහන්සේලා සිතුවේ අදාළ ස්‌වාමීන්වහන්සේ ගිජුකම නිසා වැඩිපුර දානය වළඳනවා කියලා. මේ කාරණය ස්‌වාමීන්වහන්සේලා විසින් බුදුරජාණන්වහන්සේට පැමිණිලි කරනවා. බුදුරජාණන්වහන්සේ දිවැසින් බලනවා කව්ද මේ සීමාව ඉක්‌මවාගොස් දානය වළඳන ස්‌වාමීන්වහන්සේ කියලා. එවිට බුදුරජාණන්වහන්සේ දකිනවා, උන්වහන්සේ රහතන්වහන්සේ නමක්‌ය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීතයේ පන්සියයක් ආත්මභාවවල ඇත්කුළයේ ඉපැදීම නිසා ඒ සංසාර පුරුද්දට ආහාර වැඩිපුර ගන්නවා කියලා. ඒ රහතන්වහන්සේ පාත්‍රයට හත්වතාවක් දානය බෙදාගෙන වැළඳුවත් උන්වහන්සේ වළඳන එකම බත්කටක් නිසාවත් උන්වහන්සේ තුළ තෘෂ්ණාවක් ඇති නොවන බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, කෑම මේසයේදී තෘෂ්ණාව දන්දී ආහාර පමණක් අනුභව කරන්න. එය ආහාර ගිලන්පස ප්‍රත්‍යාවේක්‍ෂාවේ ශ්‍රේෂ්ඨම ඵලය වෙනවා වගේම, ශ්‍රේෂ්ඨම දානය වෙනවා ඇත. එසේ නොවී, තෘෂ්ණාවෙන් ඔබ ආහාර ගිලන්පස පරිහරණය කළොත්, ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා.