ජිවිතය කියන්නෙ මිරිඟුවක්මයී.

දැන් වෙලාව සවස පහට පමණ ඇති. සුළඟ නැවතිලා පරිසරයම හරිම නිහඬයි. එ්ත් කුටිය ඇතුලේ නම් හරිම රස්නෙයි. අද රාත‍්‍රියේ වහින්න වගෙයි. සතර මහා ධාතුව හරියට විහිළුවක් වගේ, වරින් වර වෙනස් වී යන්නේ, මනුෂ්‍ය ජීවිතවලට, ඇලීම් සහ ගැටීම් ඇති තරම් ලබාදීලා. සතර මහා ධාතුවේ අනිත්‍ය වන ස්වභාවය හඳුනානොගත් පිංවතා, සංස්කාරයන්ගේ සිරකාරිත්වයට පත්වෙන්නේ, මුකුත්ම නොදන්නා කිරි දරුවෙක් වගේමයි.

සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිමින්, කුටියේ ආසනය මත වාඩිවෙලා, රූපය මුල්කොටගෙන සකස් වෙන පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස බලනකොට, ජීවිතය පෙනෙන්නේ හරියට පාළු කනත්තක් වගේමයි. ඉරි තලා, විසිරී ගිය, හිස් කබල්, ඇටකටු හැම තැනකම විසිරිලා, අතීත රූපස්කන්ධයේ නටබුන් පාලූ කනත්තේ බහිරවයන් සේ බලා සිටිනවා.

වර්තමාන සහ අනාගත පංචඋපාදානස්කන්ධයේ මළකුණු කෙරෙහි චන්දරාගයෙන් බැඳුණ විඤ්ඤාණය නමැති සොහොන්පල්ලා, මේ පාළු කනත්ත පටිච්චසමුප්පන්නව මුර කරන්නේ, මේක මගේ මහගෙදර යැයි සිතාගෙනමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හරියට සොහොන් කොත් හයක් වගේ, පාලූ කනත්තේ ස්ථානගත වෙලා තිබෙනවා. ලේ, මස්, සම්, ඇට, නහර මේ සොහොන් කොත් තුළ මිහිදන් වෙලා, විඤ්ඤාණය නමැති සොහොන් පල්ලාට හරිම අපූරුවට ආරක්ෂාව දෙනවා. පාලූ කනත්තේ සොහොන් කොත් හය මැදිකොටගෙන ඉදිවෙන ඵස්සය නමැති ආදාහනාගාරයේ පිච්චෙන කුණු මස්වලින් හමන තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් පුළුටු ගඳ, වා තලයට නිකුත් වෙද්දී, සංස්කාර නමැති භෂ්මාවශේෂ විඤ්ඤාණය නමැති සොහොන් පල්ලාව නැවත නැවත පෝෂණය කරනවා. අපි ඇසෙන් රූපයක් දකිද්දී, චක්ඛු සම්ඵස්සය නමැති ආදාහනාගාරයේ දොරටුවෙන් ආදාහනාගාරයට තවත් මළකුණක් ඇතුල් කළා වෙනවා. මළමිනිය දැවී ඉතිරි වෙන සංස්කාර නමැති භෂ්මාවශේෂ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති සොහොන්පල්ලාව උදේ, රාත‍්‍රී දෙකේදීම අනුවණින්ම පෝෂණය කරනවා.

පිංවත් ඔබ පාලූ කනත්තට ආදරය කරන්න එපා. කනත්ත අයිති සොහොන් පල්ලන්ට, පේ‍්‍රතයින්ට, මළ යක්ෂයින්ට ජීවිතය නමැති පාළු කනත්ත, ඔබ කමටහනක් කරගන්න. මරණානුස්සතියට තෝතැන්නක් කොටගන්න. නැවත උපතකින් මිදුන, මළකුණක් දරාගත්, බිම් කඩක් බවට පත්කොට ගන්න.

ජීවිතය කියන්නේ කිසිදා ස්ථිර සැපයක් නොලැබෙන මිරිඟුවක්මයි. නමුත් ගෞරවණීය පිංවත, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය කියන්නේ, මැජික්කරුවෙක්මයි. ඔබව ආශ්වාදයෙන් මත්කරන මායාකරුවෙක්මයි. සැපය සොයාගෙන ඔබ දුවන මේ මැරතන් තරගයේ දී, මග දෙපස පේ‍්‍රක්ෂකයින්, ඔබව සිසිල් ජලයෙන් නාවන්නට පුළුවන්. එ් පේ‍්‍රක්ෂක ජනතාව තුළිනුත් ක‍්‍රියාත්මක වෙන්නේ විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේම අනිත්‍ය වූ රංගනයන් බව තේරුම් ගන්න.

අධ්‍යාත්මික පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයන්, බාහිර පංචඋපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයත් ඔබේ තාවකාලික සතුට උදෙසා, කුමන ආකාරයේ මැජික් පෙන්වූවත්, තරගය අවසානයේදී ඔබ ලබන ජයග‍්‍රහණය හෝ පරාජය, මාරයාටම අයිති අනිත්‍ය වූ ධර්මතාවයක් බව නුවණින් තේරුම්ගන්න.

ආත්මීය දෘෂ්ටියේ අකීකරුභවයන්ගෙන් බැහැර වෙන්න. ධර්මයේ සක්කායදිට්ඨිය ජීවිතයට ගන්න එපා. විනය ගරුක පුරවැසියෙක් වෙන්න. විනය ගරුකභාවය නැති සමාජය, විනාශය දෙසටම යන බව තේරුම් ගන්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, වසර දෙදහස් හයසියයකට අධික කාලයක් නිරුපද්‍රිතව ආරක්ෂා වූයේ, මහා සංඝරත්නයේ උතුම් විනයගරුකභාවය නිසාම බව කරුණාවෙන් තේරුම් ගන්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් ප‍්‍රාතිමෝක්ෂ විනය තුළින් වසර 2600ක් නොනැසී ආරක්ෂා වෙද්දී, අපේ මාතෘභූමියේ, 1948 නිදහසෙන් පසුව බලයට පත් වූ කිසිදු රජයකට, අවම වශයෙන් වසර දහයකට වඩා බලය රැුක ගැනීමට නොහැකි වූයේ ද, විනයගරුකභාවයන්ගේම දුර්වලතාවයන් නිසා බව, තේරුම් ගැනීමට නිහතමානී වෙන්න.

කුසගින්නේ සිටියත් උතුම් සංඝ සමාජයේ, අතීත ගුණගරුක, විනයගරුක මහා සංඝරත්නය, ධර්ම විනය ආරක්ෂා කොටගත්තා. එ් උතුම් මහා සංඝරත්නයට, භික්ෂුව හදවතින්ම මේ නිමේශයේදීත් විදර්ශනාත්මකව වන්දනා කරනවා වගේම, ගෞරවණීය මහා සංඝරත්නයේ උතුම් ගුණාත්මකභාවයත්, ගිහි පිංවතුන්ලාගේ ගුණාත්මකභාවයත් අතර තිබෙන පරතරය යනු, පිංවත් ඔබ වන්දනා කරන, සරණ යන උතුම් සංඝරත්නයේ සැබෑම ශක්තිය වෙනවා.