• කැඳ වනාහි ආහාරයක් ද වන බෙහෙතක් ද වන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයකි.
ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳෙන් ද ලැබේ.
• සාගින්න සන්සිඳීම,
• පිපාසාව සන්සිඳීම,
• වාතය අනුලොම් වීම,
• ආමාශය පිරිසිදු වීම,
• නොපැසී ඉතිරි වූ ආහාර පැසීම,
යන අනුසස් පස ද කැඳෙන් ලැබේ.
එම අනුසස් කැඳ වැළඳීමෙන් ලැබෙන අනුසස් ය.
“දස ඉමේ බ්‍රාහ්මණ! ආනිසංසා යාගුයා. යාගුං දෙන්තො ආයුං දෙති. වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති, පටිභාණං දෙති, යාගු පීතා ඛුදං පටිහන්ති, පිපාසං පටිවිනොදෙති, වාතා අනුලොමෙති, වත්ථිං සොධෙති, අමාවසෙසං පාචෙති, ඉමෙ ඛො බ්‍රාහ්මණ දසානිසංසා යාගුයා.”(මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධක)
මෙසේ තථාගතයන් වහන්සේ විසින් ඉහත කී කැද පිදීමේ අනුසස් දසය වදාරා ඇත්තේ ය.
දසානිසංසයක් ඇති බැවින් ශරීරයට ඉතා යහපත් වන කැඳ සුදුසු අවස්ථාවන්හි සිල්වත් ගුණවත් උතුමන්ට පිදීම බොහෝ අනුසස් ලැබෙන පින්කමෙකි.
• -යාගුදායක තෙරුන් වහන්සේ.-
මෙයින් කප් තිස්දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝපකරණ රැගෙන ගමනක් යමින් සිටියදී, ගඟක් ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතිණ.
එහි වෙසෙන භික්ෂූන්ට ද ගඟ ගලා ඇති බැවින් පිඬු පිණිස යා නො හැකි විය.
ඒ මිනිසා පහන් සිතින් තමාගේ සහල් වලින් කැඳක් පිස, ඒ භික්ෂූන්ට පිළිගැන්වී ය.
ඒ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුන් කල කුලගෙයක ඉපිද පැවිදි වීමට හිසකේ කපද්දී ම සව් කෙලෙසුන් නසා රහත් විය.
ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේ ය.
අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයෙහි සංඝයාහට කැඳ දී පඤ්චානිසංසයක් අනුභව කරමි. යාගුදානයේ යහපත් බව ආශ්චර්ය ය. නිරෝග බව, රූප ශෝභාව, වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව, අඩුවක් නැතිව ආහාර පාන ලැබීම, දීර්ඝායුෂ්ක බව, යන මේ පස යාගුදානයේ ආනිසංසයෝ ය.
කල්ප තිස්දහසකට පෙර එකල යම් දානයක් දුනිම් ද ඒ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නො දනිමි. මෙය යාගුදානයේ ඵලය ය.
“යාගුං සංඝස්ස දත්වාන පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, පඤ්චානිසංසෙ අනුභොමි අහො යාගු සුයිට්ඨතා.
අඛ්‍යාධිතා රූපවත ඛිප්පං ධම්මනිසන්තිතා, ලාභිතා අන්නපානස්ස ආයු පඤ්චමකං මම.
තිංස කප්පසහස්සම්හි යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි යාගුදානස්සිදං ඵලං.”
(අපදාන පාළි – අතිපූජ්‍ය රේනුකානේ චන්ද්‍රවිමල මහනායක ස්වාමින්වහන්සේ)
සියල්ලන්ටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!
නමෝ බුද්ධාය..!