ප‍්‍රශ්නය –
පසුගිය මාසයේ ඔබ ශ‍්‍රවණය කරපු සිරස පන්සිල් මළුව වැඩසටහනේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නේ අපේ මේ ශරීරයේ සැකැස්ම පිළිබඳව. අපේ ශරීරය ගොඩනැගී තිබෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන සතර මහා ධාතූන්ගෙන් කියලා ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨානයට අදාල ව කායගතාසතිට අනුරූපව අපේ ශරීරයේ යථාර්ථය පිළිබඳව අපි තව දුරටත් පැහැදිලි කර ගනිමු ස්වාමීන් වහන්ස? අවසරයි ස්වාමීන් වහන්ස මට.
පිළිතුර –
බුදුරජාණන වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ සතර මහා ධාතුවේ ආස්වාදයක් තියෙනවා. මම මේ සතර මහා ධාතුවේ ආස්වාදයක් නෑ කියලා ඔබට කියන්නේ නෑ. මේ පඨවි ධාතුවේ ආස්වාදයක් තියෙනවා මහණෙනි. මේ පඨවි ධාතුව කියන්නේ මේ ශරීරයේ තියෙන්නා වූ තද ස්වභාවය. මේ ශරීරයේ තියෙන්නා වූ තද ස්වභාවයේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසාමයි ඔබ ඔබේ පෙම්වතාට/පෙම්වතියට ඔබේ බිරිඳට/ඔබේ ස්වාමි පුරුෂයාට ඔබේ සුරතල් දරුවාට මුණුබුරාට ඔබ තුරුල් වෙලා මොහොතක් හරි ලබන්නේ පඨවි ධාතුවේ තාවකාලික ආස්වාදයයි. ඒ නිසා මහණෙනි, මේ පඨවි ධාතුවේ ආස්වාදයක් තියෙනවා. මම පඨවි ධාතුවේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් මේ පඨවි ධාතුවේ ආස්වාදය කෙටියි මහණෙනි. මේ පඨවි ධාතුවේ ආස්වාදය කෙටියි. ඒ කෙටි පඨවි ධාතුවේ ආස්වාදය නිසා සත්ත්වයා දීර්ඝ වූ ආදීනවයක් ලබනවා.
දීර්ඝ වූ ආදීනවයක් ලබනවා. කොයි විවාහක යුවලක් වේවා ඒ පඨවි ධාතුවේ ආස්වාදය පවතින තරුණ ජීවිතයේ දී මධ්‍යම ජීවිතයේ දී කොයි සා පින්වතුනි පඨවි ධාතුවේ ආස්වාදයට බැඳිලා තුරුල් වෙලා හිටියත් කවදාක්වත් අවුරුදු 70 ක් 80 ක් ගියාට පස්සේ අපේ ආච්චිලා සීයලා තුරුල්වෙලා ඉන්නේ නෑ. ඇයි? පඨවි ධාතුවේ ආදීනවය. ආස්වාදය ඉවරයි. ආස්වාදය කෙටියි. මහණෙනි ඒ නිසා මේ පඨවි ධාතුවේ ආස්වාදය කෙටියි. ඒ නිසාම දීර්ඝ ආදීනවයක් සත්ත්වයා ලබනවා. ඒ නිසා මහණෙනි, මේ පඨවි ධාතුවේ ආස්වාදයට බැඳෙන්න එපා. පඨවි ධාතුවේ නිස්සරණය කරා යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඒ වගේමයි මහණෙනි, මේ ආපෝ ධාතුවේ ආස්වාදයක් තියෙනවා. මේ ආපෝ ධාතුවේ ආස්වාදයක් නැහැයි කියලා මම කියන්නේ නැහැ. මේ ආපෝ ධාතුවේ ආස්වාදය නිසාමයි මේ තාරුණ්‍යයේ රූපයන්ගේ සුන්දරභාවය මතුකරලා පෙන්වන්නේ. මේ තාරුණ්‍යන්ගේ රූපයේ තියෙන්නා වූ විසිතුරුභාවය මේ ඕජාව මතුකරලා බාහිර සමාජයට පෙන්වන්නේ මේ ආපෝ ධාතුවේ තියෙන්නා වූ ආස්වාදයමයි මහණෙනි. ඒ නිසා මේ ආපෝ ධාතුවේ ආස්වාදයක් නෑ කියලා මං කියන්නේ නැහැ. මේ ආපෝ ධාතුවේ ආස්වාදය කෙටියි. ඒ කෙටි ආපෝ ධාතුවේ ආස්වාදය නිසා දීර්ඝ ආදීනවයක් සකස් වෙනවා. මොකක්ද මේ දීර්ඝ ආදීනවය? තරුණ කාලයේ ආපෝ ධාතුව විසින් මේ ශරීරයේ මස, මේ ශරීරයේ හම අර සුන්දර ඕජාවන්ගෙන් ඕජාමත් කරලා පෙන්වුවත්, ප‍්‍රභාශ්වර කරලා පෙන්නුවත්, දිදුලන ස්වභාවයට පත් කරලා පෙන්නුවත් අන්න ආස්වාදය ගෙවිලා යනවා.
සම රැුලි වැටෙනවා. සම වියළෙනවා. අන්න පින්වතුනි, ආපෝ ධාතුවේ ආදීනත්වය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ආපෝ ධාතුවේ ආස්වාදය කෙටියි. ඒ කෙටි කාලය තමයි තාරුණ්‍යය. තාරුණ්‍යයේ සමේ තියෙන්නා වූ ප‍්‍රභාශ්වර භාවය, ආලෝකමත් භාවය මේ ආපෝ ධාතුවේ ආස්වාදයයි. ඒ කෙටි ආස්වාදයට ඔබ රැුවටුනොත් දීර්ඝ වූ ආදීනවයක් ඔබට ද අත්විඳින්නට වෙනවා. ඒ නිසා මහණෙනි, මේ ආපෝ ධාතුවේ කෙටි භාවය, ආස්වාදයේ කෙටි භාවය දැකලා මේ ආදීනවයේ දිග භාවය දැකලා නිස්සරණය සොයන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වායෝ ධාතුවේ තේජෝ ධාතුෙවේ ආස්වාදයක් තියෙනවා මහණෙනි. මේ ආස්වාදය කෙටි වූ දෙයක්. මේ කෙටි ආස්වාදය නිසා දීර්ඝ වූ ආදීනවයන් සකස් වෙනවා කියලා. එහෙමනම් පින්වතුනි, සතර සතිපට්ඨාන සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා, මේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ හැටියට දකින්න. ඔබ මනසින් දෑස් දෙක පියාගෙන මේ ශරීරයේ තියෙන තද ස්වභාවය වෙනම දකින්න. මේ ශරීරයේ තියෙන ද්‍රව ස්වභාවය වෙනම දකින්න. මේ ශරීරයේ තියෙන වාත ස්වභාවය, මේ ශරීරයේ තියෙන තේජෝ ස්වභාවය වෙනම දකින්න. දැකලා නිරතුරුවම මේ පඨවි ධාතුව කියන්නේ අනිත්‍ය වූ රූපයක්, අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා එයා දකිනවා. එයා ශරීරයේ තියෙන සෑම පඨවි ධාතුවක්ම මනසින් එක ගොඩකට ගන්නවා. මේ ශරීරයේ කෙස්, ලොම්, නිය, සම්, දත්, මස් මේ සෑම දෙයක්ම තද ස්වභාවයේ එක ගොඩකට එයා ගන්නවා. ඊළඟට ශරීරයේ තියෙන ද්‍රව ස්වභාවයේ තියෙනවා ලේ, සෙම්, සොටු, මුත‍්‍රා මේ සෑම ද්‍රව ස්වභාවයක්ම දේවල් එයා තව ගොඩකට ගන්නවා. ඒ වගේම මේ ගොඩවල් දෙක තුළින්ම එයා තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් මතු කරලා දකිනවා.
දකිමින් නිරතුරුවම මේ සතර මහා ධාතුව ජරාවට පත්වෙනවා, විනාශ වෙනවා, කුණුවෙනවා, නරක් වෙනවා, ඕජාව ගලනවා, නිලමැස්සෝ වහ ගන්නවා. මේවා අවසානයේ බාහිර සතර මහා ධාතුවට මුහුවෙනවා එයා නුවණින් දකිනවා. එහෙම දකිද්දි එයා මේ පඨවි ධාතුවට බැඳෙන්නේ නැහැ. එයා දන්නවා පඨවි ධාතුවේ සුන්දර කෙටි ආස්වාදයක් තිබ්බත් මේ පඨවි ධාතුව අනිත්‍ය වූ ධර්මතාවයක්මයි. මේක වයසට යනවා, මේක වයෝවෘද්ධ වෙනවා, මේක මැරෙනවා. මැරුණට පස්සේ මේක කුණු වෙනවා, නරක් වෙනවා, ඕජාව ගලනවා. අන්න එයා පඨවි ධාතුවේ අනිත්‍යභාවය නුවණින් දකිනවා. එයා දකිනවා කොයි සා මේ ආපෝ ධාතුව සුන්දර දෙයක් වුනත් එහි කෙටි ආස්වාදයක් තිබ්බත් මේ ආපෝ ධාතුව අනිත්‍යභාවයට පත්වෙනවා, මේ ලේ නරක් වෙනවා, මේ සෙම් සොටු නරක් වෙනවා.
මේවා විකෘති භාවයට පත්වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකිනවා. එයා තමාගේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකිනවා වගේම බාහිර රූපයත් සතර මහා ධාතුවක් හැටියට දකිනවා. එයා ආත්මීය සංකල්පයෙන් බැහැර වෙනවා. මෙතන සත්ත්වයෙක්, පුද්ගලයෙක් ඉන්නවාය කියලා එයා දකින්නේ නෑ. එයා දක්‍ෂයි මම කියලා දකිද්දි සතර මහා ධාතුවක් කියලා මතුකරලා දකින්න. එයා දක්‍ෂයි තමන්ගේ බිරිඳ සිහිපත් වෙද්දි ඒ බිරිඳව සතර මහා ධාතුවක් හැටියට දකින්න. තමන්ගේ ස්වාමිපුරුෂයා සිහිපත් වෙද්දි තමන්ගේ ස්වාමිපුරුෂයා එයා පඨවි, ආපෝ, තේජෝ, වායෝ ගොඩවල් හතරක් හැටියටයි දැන් දකින්නේ. එයා දැන් පුද්ගල මනෝ භාවයෙන් මිදිලයි ජීවත් වෙන්නේ. එයා තමන්ගේ දරුවා සිහිපත් වෙද්දි ඒ දරුවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ ගොඩවල් හතරක් හැටියට එයා දකිනවා. තමන්ගේ අම්මා තාත්තා සිහිපත් වෙද්දි ඒ අම්මා තාත්තාව පඨවි, ආපෝ, තේජෝ, වායෝ ගොඩක් හැටියට එයා දකිනවා.
ගොඩවල් හතරක්. ඒ නිසාම එයා තුළ අම්මා කෙරෙහි ආත්මීය සංඥාවක් ඇතිවන්නේ නෑ. අම්මා තුළ සත්ත්වයෙක්, පුද්ගලයෙක් ඉන්නවාය කියලා එයා දකින්නේ නෑ. තාත්තා තුළ බිරිඳ තුළ ස්වාමිදියණිය තුළ දරුවා තුළ, මුණුබුරා තුළ එයා සත්ත්වයෙක් පුද්ගලයෙක් දකින්නේ නෑ. මෙතන අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා එයා දකිනවා. ඒ නිසාම එයා රූපයෙන් කෙරෙහි බැඳී යන්නේ නෑ එයා දෑස් දෙක පියාගෙන තමාගේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකිමින් බාහිර රූපයන් සතර මහා ධාතුවක් හැටියට දකිමින් එයා තිරිසන් ලෝකයේ ජීවත්වන බල්ලෙක් දැක්කත්, පූසෙක් දැක්කත්, හරකෙක් දැක්කත් ඒ තිරිසන් සතා තුළිනුත් එයා සතර මහා ධාතුව මතුකරලා දකිනවා. මේ තිරිසන් සතා කියන්නේ සතර මහා ධාතුවක්. ඒ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියලා එයා දකිනවා. මොකද වර්තමාන සමාජයේ තිරිසන් සතුන් උදෙසා බලවත් ආකාරයෙන් බැඳී යනවා. ඒ තිරිසන් සතා කියන්නේත් අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා ඒගොල්ලෝ දකින්නේ නෑ. ඒ තිරිසන් සතාගේ පඨවි ධාතුවේ ආස්වාදය මතුවෙන කොට ඔන්න සතාට ආදරය කරනවා.
එහෙම ආදරය කරලා ඒ ආස්වාදය කෙටියි. ආදීනවය මතුවෙන කොට සතා වයසට යනකොට කාරෙකේ දාගෙන ගිහිල්ලා පාරේ කොහේ හරි අතහැරලා දාලා යනවා. මොකද වුණේ? ආස්වාදයට බැඳුනා. සතර මහා ධාතුවේ ආස්වාදයට බැඳුනා. සුරතල් කාලයේ ඔඩොක්කුවේ තියාගත්න කාලේ අන්න ඒ ආස්වාදයට බැඳිලා කන්න බොන්න දීලා හැදුවා. ආස්වාදය කෙටියි. ආදීනවය එනවා. අන්න තිරිසන් සතා වයසට යනවා. වයසට යද්දි කොහේ හරි පාරේ අතරමං කරලා දාල එනවා. එහෙම නැත්නම් වයසට යද්දි මස් මඩුවට දක්කනවා. ඇයි මේ? මේ සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්නේ නෑ.
ඒ වගේ තමාගේ සතර මහා අනිත්‍ය වශයෙන් දකින්න දෑස් දෙක පියාගෙන මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න. ඔබට අරමුණු වෙන බාහිර රූපයත් සතර මහා ධාතුවක් හැටියට දකින්න. පුද්ගල සංඥාව යන්න එපා. ඒ වගේමයි ඔබ දෑස් දෙක පියාගෙන අතීත සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්න. අතීත පඨවි ධාතුවේ, අතීත ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගේ අනිත්‍යභාවය දකින්න.
ඔබ සක්විති රජ වෙලා ඉපදිච්ච වෙලාවේ ඒ දෙතිස් පුරුෂ මහා ලක්‍ෂණයන්ගෙන් බබලන ඒ සතර මහා ධාතුව කොයිසා සුන්දර සතර මහා ධාතුවක් වෙන්න ඇද්ද? ඔබ ස්ත‍්‍රී රත්නය වෙච්ච වෙලාවේ, ඒ තිබුනා වූ සතර මහා ධාතුව කොයිසා ආස්වාදනීය සතර මහා ධාතුවක් වෙන්න ඇද්ද? ඒ සෑම සතර මහා ධාතුවක්ම අනිත්‍යභාවයට පත්වුණා. ඔබ දිව්‍යතලවල ඉපදුන වෙලාවේ ඔබට රූපය තුළින් ලැබුනා වූ සතර මහා ධාතුව කොයිසා සුන්දර ප‍්‍රභාෂ්වර, ලාලිත්‍යයෙන්, රිද්මයෙන් යුත් සතර මහා ධාතුවක් වෙන්න ඇද්ද? ඒ සතර මහා ධාතුව නිසා ඔබ කොයිසා නම් සක්කාය දිට්ඨීය, ලෝභ, ද්වේශ, මෝහයන් ඇති කර ගන්න ඇද්ද? ඒ සතර මහා ධාතුව මගේ කරගෙන ඒ සතර මහා ධාතුව තුළ මම ඉන්නවාය කියලා දකිමින් අනිත්‍ය වූ සතර මහා ධාතුවක් නිසා ඔබ කොච්චර නම් අකුසල් කර ගන්න ඇද්ද? නමුත් ඒ සෑම සතර මහා ධාතුවක් ම අනිත්‍ය භාවයට පත්වුනා.
උපුටා ගැනීම – සිරස පන්සිල් මළුව 60 වන කොටසින්
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි.