ඔබවහන්සේ ඩිමාන්ඩ් කරනවා නේ ද?

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංක භාවයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරලා, ලබන්නා වූ සත්‍ය අත්දැකීම්, මෙලෙස පිංවත් ඔබේ වීර්යය උදෙසා සටහන් තබන කොට, සමහර පිංවතුන්ලා භික්‍ෂුවට චෝදනා කරන අවස්ථාත් තිබෙනවා. පසුගිය පිංවත් මහත්මයෙක් භික්‍ෂුවට චෝදනාත්මකව කාරණයක් සඳහන් කළා. එම චෝදනාව එම පිංවත් මහත්මයාගේම වචනවලින් භික්‍ෂුව මෙහි සටහන් තබනවා. ඒ මහත්මයාගේ චෝදනාව ඔබවහන්සේ ඩිමාන්ඩ් කරනවා නේද කියලා. ඩිමාන්ඩ් කරනවා කියන වචනයේ අදහස, ඔබවහන්සේ අගේ කරනවා නේද කියලයි. භික්‍ෂුව එම මහත්මයාගෙන් ඇසුවා, ඇයි මහත්තයෝ එහෙම කියන්නේ කියලා. එවිට එම මහත්මයා කියනවා, භික්‍ෂුව සමාජය තුළ සැඟවිලා ජීවත්වෙලා, ඉඳලා හිටලා ජනතාව අතරට පැමිණෙනවාය කියලා. එම පිංවත් මහත්මයා ඉහත කාරණයට කියන්නේ භික්‍ෂුව ඩිමාන්ඩ් කරනවා කියලයි.
මෙය සටහන් තබන භික්‍ෂුව කවදාකවත්, සැඟවිලා ජීවත් වෙලා නැහැ. උපසම්පදා භික්‍ෂුවකට හැංගිලා තනිවම ආහාර හදාගෙන වළඳන්න බැහැ. භික්‍ෂුව සෑම උදෑසනකම, රටේ කොහෝ හෝ ගම්මානයකට, නගරයකට පිණ්ඩපාතයට වඩිනවා. කොතැනක හෝ ආරණ්‍යයක, පන්සලක, කුටියක, ගිහි පිංවතුන්ගේ සිවුපසය ලබමින් වැඩසිටිනවා.

බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයන්ට, මහණෙනි, ජනතාව නොගැවසෙන, විවේකී රුක්ඛ මූලයකට, ශූන්‍යාගාරයකට, ආරණ්‍යයකට වැඩම කොට, ඔබලාගේ ධර්ම මාර්ගය ශක්තිමත් කොටගන්න කියලා, තම ශ‍්‍රාවකයන්ට අනුශාසනා කර තිබෙන්නේ තම ශ‍්‍රාවකයන්ව අගේ කරන්නද?
මහණෙනි, වැසි තුන්මාසය එකම ස්ථානයක් අධිෂ්ඨානය කොට, ගිහි පිංවතුන්ලාගේ පළිබෝධයන්ගෙන් හැකිතාක් බැහැර වී විවේකීව, නොලැබූ ධ්‍යානයක්, නොලැබූ විදර්ශනාමය අවබෝධයක් ලබන්න යැයි බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයන්ට විනය කාරණාවක් පනවා ඇත්තේ තම ශ‍්‍රාවකයන්ව අගේ කරවන්නද?

මහණෙනි, ඔබලා ගමට, නගරයට, උදෑසන පිණ්ඩපාතයට වඩින කොට, වටපිට නොබලා, බිමට හෙළුෑ දෑසින්, ඉර වගේ සඳ වගේ, කොතැනකවත් නොරැඳී, නොඇලී, නොගැටී පිණ්ඩපාතය අවසන් කොට, කුටියට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කොට තිබෙන්නේ, අපිව අගේ කරවන්නද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ගැඹුරු ප‍්‍රපාතයක් දෙස බලන පිංවතා තම කය ප‍්‍රපාතයෙන් බැහැරට මෑත් කොට ගෙන, හිස පමණක් ප‍්‍රපාතය දෙසට යොමු කොට බලන්නේ යම් සේද, ඔබලා ගිහි සමාජය සමග කය මෑත් කොට ගෙන හැසිරෙන්නය කියලා. පිංවත් මහත්තයෝ මේක අපේ උතුම් බුද්ධ වංශයේ භික්‍ෂු ප‍්‍රතිපදාව, වර්තමානයේ ඒ උතුම් බුද්ධ වංශයේ භික්‍ෂු ප‍්‍රතිපදාව යම් පමණකට දුර්වල වෙලා, ස්වාමීන් වහන්සේලා සීමාව ඉක්මවා සමාජගත වෙලා තිබෙන බව ඇත්ත. නමුත් භික්‍ෂුන් වන අප, අපගේ පිය උරුමයෙන් ලද භික්‍ෂු චර්යාවන්, පැවැත්විය යුත්තේ, උතුම් සංඝ සමාජයට පූර්වාදර්ශයක් උදෙසාමයි. ගිහි සමාජයට උතුම් සංඝ සමාජය කෙරෙහි සද්ධාව ගෞරවය ශක්තිමත් කොට දීම උදෙසාමයි.

බුදුරජාණන් වහන්සේ සබ්භාවසුව සූත‍්‍රයේදී දේශනා කරනවා, ආර්ය මාර්ගය පුහුණු කරන ස්වාමීන් වහන්සේලාට මඟහැර යෑමෙන් ප‍්‍රහිනය කළ යුතු ආශ‍්‍රවයන් ගැන, දුරු කිරීමෙන් ප‍්‍රහීනය කළ යුතු ආශ‍්‍රවයන්, වගේම ගිහි සමාජයෙන් මෑත්ව සමථ විදර්ශනාවෙන් ප‍්‍රහිනය කළ යුතු ආශ‍්‍රවයන් ගැන, මේ සෑම ඉගැන්වීමකදීම, බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරන්නේ උතුම් සංඝ සමාජයේ ආදර්ශමත් භාවයයි. එසේ නොමැතිව ස්වාමීන් වහන්සේලා අගය පෙන්වීම නොවේ.

පිංවතුනි, මෙය සටහන් තබන භික්‍ෂුව කුමක් අගය කරන්නද, එසේත් නැත්නම් ඩිමාන්ඩ් කරන්නද? මේ කබ, කඳුළු, ගලන, සුද වසා ගන්න, අන්ධ භාවයට පත්වෙන මේ ඇස අගය කරන්නද? කලාඳුරු සැරව ගලන කන, සොටු ගලන නාසය, කුණුකෙළ ගලන දිව, රෝගී බවින් ගහන, අපිරිසිදු කුණුවෙන, දුර්ගන්ධය හමන, ශරීරයෙන් දිවා රාත‍්‍රි අශුචි, මුත‍්‍රා, දහදිය වැගිරෙන මේ ශරීරය අගේ කරන්නද? අතීතයේ වැඩ සිටියා වූ සැරියුත් මහෝත්තමයන් වහන්සේගේ සොහොයුරෙක් වූ කදිරවිනේ රේවත මහෝත්තමයාණන් වහන්සේ තම මුළු භික්‍ෂු ජීවිතකාලයම, කර්කෂ වනවාසී ජීවිතයක් ගත කළේ සමාජයට අයග පෙන්වන්නටද? උතුම් භික්‍ෂු ප‍්‍රතිපදාවන් ගැන පුංචි හෝ අවබෝධයක් නැති පිංවතුන්ලාව, අධර්මයෙන් සතුටු කරන්න භික්‍ෂුන් වන අපට අවශ්‍ය නැහැ. මෙය සටහන් තබන භික්‍ෂුව. ගිහි ජීවිතයේදී ඇති තරම් සමාජ ආශ‍්‍රය කරපු කෙනෙක්. ඒ සමාජ ආශ‍්‍රයමයි, අසීමාන්තික අත්දැකීම් ගොන්නක් සමගයි. ගිහි සමාජයෙන් බැහැරට පැමිණියේ, භික්‍ෂුව යම් දවසක ගිහි සමාජයෙන් බැහැරව, භික්‍ෂු ජීවිතයට පැමිණියේ අතීතයේ කරපු දෙය නැවත කරන්න නොවේ. මෙතෙක් නොකරපු දෙයක් කරන්නත් නොවේ. කරපු දේවලූත් නොකරපු කෙරෙහි තිබෙන තෘෂ්ණාව, නිරෝධය කිරීම සඳහාමයි.

ඊයේ ඉරිදා දිනයක්. උදෑසන පිණ්ඩපාත මඬුවට හැත්තෑ පහකට වැඩි පිරිසක්, පිණ්ඩපාතය බෙදීමට පැමිණ සිටියා. මෙම පිරිස අතර අනුරාධපුරය, ගල්ගමුව, නුවර, මහියංගණය වැනි ඉතා දුර බැහැර ප‍්‍රදේශවල පිංවතුන්ලා ද උදෑසන හත වෙනකොට පැමිණ සිටියා. ඉතා දුර බැහැර සිට පැමිණ සිටි මේ පිංවතුන්ලාගේ, මහා සංඝරත්නය කෙරෙහි සද්ධාව, ගරුත්වය, කර්මය, කර්මඵල විශ්වාසය දකිත්දී, පිණ්ඩපාත දානය පූජා කාට අවසානයේ සිදු කරන පිං අනුමෝදන් කිරීමේදී භික්‍ෂුව මෙහෙම අනුශාසනාවක් සිදුකළා.

භික්‍ෂුව මේ ඈත ගම්මානයක වස් සමාදන්ව වැඩ සිටින්නේ, නමුත් පිංවත් ඔබලා කෙසේ හෝ තොරතුරු සොයාගෙන, ඈත දුර බැහැර සිට, උදේ පාන්දර එකට දෙකට, තුනට අවදි වෙලා, පිණ්ඩපාත දානය හදාගෙන, උදෑසන හතට පිණ්ඩපාත මඬුවට පැමිණිලා, දානය පූජා කරගනියදී, පසඟ පිහිටුවා වන්දනා කරද්දී, පිංවත් ඔබ තුළ වැඩෙන තෙරුවන් කෙරෙහි සද්ධාව, ගරුත්වය, වීර්යය, මහා සංඝරත්නය අරමුණු කොට ගෙන භික්‍ෂුව කෙරෙහි ඔබලා ඇති කොට ගෙන තිබෙන විශ්වාසය, දකිත්දී, භික්‍ෂුව ඔබේ පිණ්ඩපාත දානය, ඔබලාගේ ගෞරවණීය වන්දනාවන්, එක වචනයකින් හෝ ඔබලාට බොරුවක් කියලා, බොරුවක් කරලා, ගන්නවා නම්, වංචාවක් කරලා ගන්නවා නම්, ශීලයෙන් දුර්වලව සිට පිළිගන්නවා නම්, පිංවත් ඔබලාගේ විශ්වාසයේ අයෝමය ශක්තියට, භික්‍ෂුවගේ හිස සත්කඩට පැළෙනවාමයි කියලා.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, ගිහි ජීවිතයේදී පිප්පලි නමැති තරුණයා හැටියට, උතුම් පැවිදි උපසම්පදාව, බලාපොරොත්තුව, බුදුරජාණන් වහන්සේගේ හමුවට පැමිණි මුල්ම අවස්ථාවේ පිප්පලි තරුණයා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය කෙරෙහි අචල විශ්වාසයෙන් සිදුකළා වූ, ගෞරවණීය වන්දනාව ලබලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ නොකර, මේ පිප්පලිගේ වන්දනාව පිළිගත්තා නම්, මගේ හිස සත්කඩකට පැළෙනවා කියලා. අයෝමය සද්ධාවෙන් ගෞරවයෙන් සිදුකරන වන්දනාවත්, වන්දනාවන් සිදුකරන පිංවතුන්ගේ විශ්වාසයට බොරු කරලා, යමෙක් ලබනවා නම් ඔහුට සමාජයේ වැඩි දවසක් පවතින්න බැහැ පිස්සෙක් වෙනවා ඉහත ධර්මයට අදාළව.

දැන් වේලාව සවස හයත් පසුවෙලා, වැස්ස ටිකක් තුරල් කරලා. පුටුවේ ඇන්ද මත දැල්වෙන ඉටිපන්දම අඩකටක් වැඩිය පිච්චිලා ගිහිල්ලා. නිහඬ බව පමණක් උරුම, විදර්ශනාමය සප්තබොජ්ජංග ධර්මයන්ගෙන් සිතුවිලි සන්නද්ධ වූ මේ සුන්දර රාත‍්‍රියේදී පිංවත් ඔබට මෙය සටහන් තබන භික්‍ෂුව දිව්රා කියනවා, මගේ භික්‍ෂු ජීවිතයේදී භික්‍ෂුව කවදාකවත් බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා, පිංවත් ඔබට බොරුවක්, වංචාවක් කරලා නැහැය කියලා.

රටපුරා ධර්ම දේශනාවන් පවත්වන කාලවලදී, ධර්ම ශ‍්‍රවණයට කැමැති සත්පුරුෂ පිංවතුන්ලා, පැය කිහිපයක්, නොසෙල්වී හිඳගෙන සද්ධර්මය ශ‍්‍රවණය කරලා, ධර්ම දේශනාව අවසානයේදී පැයක් පැය දෙකක් දිග පෝලිමේ ඇවිල්ලා, සමාජයේ ජීවත්වෙන සෑම තරාතිරමක පිංවතුන් පිරිකර පූජා කරලා පසඟ පිහිටුවා වන්දනා කරන්නේ සංඝරත්නය, කෙරෙහි මොන තරම් නම් සද්ධාවකින්ද, ගෞරවයකින්ද, භික්‍ෂුව කෙරෙහි විශ්වාසයකින් ද, සත්පුරුෂ ගිහි පිංවතුන්ලාගේ මෙවැනි සද්ධාවෙන්, ගරුත්වයෙන්, විශ්වාසයෙන් සිිදු කරන වන්දනාවක්, භික්‍ෂුව එම පිංවතුන්ලාට එක වචනයකින් හෝ බොරුවක්, වංචාවක්. කොට ගන්නවා නම්, මෙය සටහන් තබන භික්‍ෂුවගේ හිස සත්කඩකට පැලිලා, මේ වන විට අවසන්. භික්‍ෂුව විකෘතියක් වෙලා අවසන්.

භික්‍ෂුව ධර්ම දේශනාවකට වඩින කොට, සත්පුරුෂ ගිහි පිංවතුන්ලා, ගෞරවණීය ස්වාමීන් වහන්සේලා කාලය, ශ‍්‍රමය, ධනය, වැයකොට, සිදුකොට තිබෙන, සුන්දර, විසිතුරු, මලින්, පාවඩවලින්, උඩුවියනින්, කර තිබෙන පූජාවන් දකිත්දී, පිංවත් ඔබලාට භික්‍ෂුව එක වචනයකින් හෝ බොරුවක් රඟපෑමක් කරලා එම ගෞරවණීය පූජාවන් ලැබුවා නම්, මේ වන විට භික්‍ෂුව පිස්සෙක්, විකෘතියක් වෙලා අවසන්.

භික්‍ෂුවගේ ඇත්ත කථාව පිළිබඳව මීට වඩා ධර්මානුකූලව පිංවත් ඔබට දෙන්න සහතිකයක් භික්‍ෂුවට නැහැ. ගෞරවණීය පිංවත, ලෝකය චෝදනාවන්ටත්, පැසසුම්වලටත් එකසේ ම විවෘතයි. ලෝකයෙන් මිදීම කියන්නේ චෝදනාවකුත්, පැසසුමුත් අනිත්‍ය වූ සංස්කාරයන් බව අවබෝධ කොට ගැනීමයි.