උතුම් ශාස්තෲන් වහම්සේ නමකට ණයකාරයෙක් නම් වෙන්න එපා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌, දේපලක්‌ උදෙසා මගහරිනවානම් එම අනුවණකමේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්‍ෂ ගණනාවක්‌ ගෙවන්නට සිදුවේවි.

පිංවත් ඔබට අයිති නැති දරුවෙක්‌, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌ උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය, අතිදීර්ඝ දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන්වහන්සේ සාරසංඛ කල්ප ලක්‍ෂ ගණනාවක්‌ දස පාරමීධර්ම පිරුවේ පිංවත් ඔබ උදෙසාමයි. ඇස්‌ ගලව ගලවා දන්දුන්නේ, මහා සාගරයේ ජලය පරදවා යන තරමට රුධිරය දන්දුන්නේ, මහ පොළොවේ පස්‌ පරදවන තරමට ශරීර මාංශ දන්දුන්නේ පිංවත් ඔබ උදෙසාමයි. හය අවුරුද්දක්‌ දුෂ්කරක්‍රියා කෙරුවේ ඔබ උදෙසාමයි. නමුත් පිංවත් ඔබට ඇස්‌, මස්‌, ලේ දන්දෙන්න අවශ්‍යම නැහැ. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ තුළ සකස්‌වෙන ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන් පමණක්‌ ඔබ දන්දෙන්න. එවිට අප බෝධිසත්වයාණෝ ඔබ වෙනුවෙන් දන් දුන් ඇස්‌, මස්‌, රුධිරය වෙනුවෙන් ඔබ කෘතගුණ දැක්‌වූවා වෙනවා. ඔබට ලැබුණ මේ උතුම් අවස්‌ථාවේදී එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේනමකට ණයකාරයෙක්‌ නම් වෙන්න එපා.

මාරයා සැඟවී බලා සිටිනවා, ඔබට දරුවාගේ සුරතල් පෙන්වලා, බිරිඳගේ, සැමියාගේ ආදරය පෙන්වලා, මෙවරත් ඔබව බුදුරජාණන් වහන්සේගේ ණයකාරයෙක්‌ කරවන්නට.

බැංකුවට ඔබ ණය වුණොත් දේපල රාජසන්තක කරාවී, බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත් භවයේ සැපයම මාරසන්තක වෙනවා. දුකින් බැහැරට මගපෙන්වූ ඒ උතුම් ශාස්‌තෘන්වරයාණන් වහන්සේට පිංවත් ඔබ නිරතුරුවම ඔබේ ජීවිතය තුළින් අලෝභ, අද්වේශ, අමෝහ සුවඳ කුසුම් පූජාකරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මල් සුවඳ නිරතුරුවම වර්ණනා කළා. ‘මේ ලෝකයේ කිසිම මනුෂ්‍යයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට විඳින්නට තබා සිතන්නවත් බැරි අප්‍රමාණ වූ දුක්‌ කන්දරාවක්‌ සය අවුරුද්දක්‌ පුරා මම දුෂ්කරක්‍රියා කළ කාලයේදී වින්දා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මේ හැම දුක්‌ගැහැටක්‌ම උන්වහන්සේ කැමැත්තෙන්ම දරාගත්තේ පිංවත් ඔබ මේ මොහොතේ ලබන සද්ධර්මයේ සැනසිල්ල ඔබට ලබාදීමටයි. එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේ නමක්‌ වෙනුවෙන් නිරතුරුවම පිංවත් ඔබ තුළ අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිතෙන් මවාගෙන ඒ පවිත්‍ර සිත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන්, ඥානයන්ට නිරතුරුවම ඔබ මනසින් සමීපවෙන්න. එවිට පිංවත් ඔබ තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයෝමය විශ්වාසයක්‌ සකස්‌ වේවී.