උතුම් බුදුගුණයන් නොවන්නට මම අද කොහෙදැයි සිතුවා ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් සරණ ගිය පිංවතෙක්, පිංවතියක්, බහුල වශයෙන් වාසය කළ යුතු විහරණය, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, සිහිකිරීමය කියලා. මෙය සටහන් තබන භික්‍ෂුවට, නිරතුරුවම බුදු ගුණයන් සිහිපත් වෙනවා. අපට කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සතු උතුම් බුදුගුණයන් ඇතිකොට ගන්න බැහැ. බුදුගුණයන්, බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ගුණයන්. භික්‍ෂුවගේ, භික්‍ෂු ජීවිතය සිහිපත් වෙද්දී, භික්‍ෂුවට මතකයට නැෙ`ගන්නේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයන්. ඒ උතුම් බුදුගුණයන් නොවෙන්න, භික්‍ෂුව මේ මොහොතේ කර්මය කර්මඵල නොහඳුනන, මිථ්‍යා දෘෂ්ටික මනුස්සයෙක්. පිංවත් ඔබේ, සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය කොට ගන්නා, ජීවිත දෙස බලන්න, ඔබේ ගෞරවනීය ජීවිතය, බුදුගුණයක ඵලයක්මයි.

බුදුරජාණන් වහන්සේ සතු උතුම් මහා කරුණා ගුණයේ, ශක්තියමයි. අපගේ ජීවිත සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් ආලෝකවත් කළේ, බුදුරජාණන් වහන්සේගේ ශක්තිය විශ්වය තුළ පැතිරිලා තිබෙනවාය කියලා සඳහන් වෙන්නේ. මේ භවාග‍්‍රය තුළ ජීවත්වන සම්මාදිට්ඨියෙන් දිව්‍ය, මනුෂ්‍ය, බ‍්‍රහ්ම, ප‍්‍රජාව මේ බුදුගුණයන්ගේ අසිරිමත් භාවය තම ජීවිතය තුළින් දරා ගැනීම නිසාමය.

අපි උතුම් බුදුගුණයන්ගේ රැකවරණයෙන් බැහැර වන තරමට, උතුම් බුදුගුණයන් විශ්වයෙන් අතුරුදන් වී යනවා. තමා තුළින් තම ධර්මයේ ගුණයන් දරා ගැනීමේ ඕපනයික ගුණයේ ශක්තියයි. උතුම් බුදුගුණයන් ලෝකයම ආරක්‍ෂා කොට තබන්නේ, පරිසරය දෙස බැලූවත්, මනුෂ්‍ය ප‍්‍රජාව, තිරිසන් ප‍්‍රජාව දෙස බැලූවත් මේ සෑම දෙයක් තුළින්ම භික්‍ෂුව දකින්නේ උතුම් බුදුගුණයන්ගේ අසිරිමත් ඵලයක්මයි. පිංවත් ඔබට උතුම් සද්ධර්මය මුණනොගැසී, මිථ්‍යාදෘෂ්ටිකභාවයට පත්වුණා නම්, මේ සතා සිවුපාවා, මනුෂ්‍යයා, පරිසරය, මොන තරම් නම් ලෝභ, ද්වේෂ මෝහයන්ගෙන් විකෘතියක් වෙන්න තිබුණාද? කැලයේ සතා සිවුපාවා යම් තරමකින් හෝ තවමත් නිදැල්ලේ හැසිරෙන්නේ යම් පමණකට හෝ නියමිත කාලවල වැසිවැටී මහ පොළොව කාන්තාරයක් නොවීමේ, භාග්‍යය අපි ලබලා තිබෙන්නේ බුදු ගුණයන් කෙරෙහි අපි දක්වන්නා වූ කෘතවේදීභාවය නිසාමයි.

මනුෂ්‍ය සමාජය තුළ ශීලාචාර සදාචාරාත්මක ධර්මයන් යම් පමණකට හෝ ආරක්‍ෂා වී තිබෙන්නේ, උතුම් බුදුගුණයන් තුළින් සමාජය ලැබූ ශික්‍ෂණය නිසාමය. පිංවත් ඔබගේ දෑසට, සවනට, මනසට, අරමුණු වන සෑම යහපත් සිතුවිල්ලක්ම, බුදුගුණයන් කෙරෙහි විශ්වාසයෙන්, මනුෂ්‍යයා තුළ ඇති වූ ධර්මානුකූල ශික්‍ෂණයේ ඵලයක් ය. පිංවත් ඔබ, ජීවත්වීමේදී අත්දකින සෑම අහිතවත්, අසංවර දෙයක් ම බුදුගුණයන් කෙරෙහි විශ්වාසයෙන් බැහැර වූ, මිථ්‍යාදෘෂ්ටිකභාවයේ ම ඵලයක් ය. භික්‍ෂුව පිංවත් ඔබට, මේ සටහන තබන වේලාවේ, භික්‍ෂුව තුළ පිංවත් ඔබ කෙරෙහි ඇතිවන ආර්ය මෛත‍්‍රියේ සිතුවිලි, උතුම් බුදුගුණය සරණ යෑමෙන් උපන් භික්‍ෂුවගේ ධර්මානුධර්ම ප‍්‍රතිපදාවේ ශක්තියයි.

බුදුගුණයකින් තොරව සම්මාදිට්ඨියෙන් තොර යහපත් දෙයක්, සිල්වත් දෙයක්, මෛත‍්‍රීසහගත දෙයක්, කුසල් ධර්මයක්, සුගතියක් භව නිරෝධයක් භික්‍ෂුව නොදකිමි. භාග්‍යවතුන්වහන්ස, ඔබවහන්සේගේ උතුම් බුදුගුණයත්, සම්මාදිට්ඨියට පත් ප‍්‍රජාව, විශ්වාසයෙන්, ගෞරවයෙන්, ජීවිතවලට එකතු කොට ගන්නා තෙක්ම, බුදුගුණය විශ්වය තුළ ජීවමානව පවතිනු ඇත. කවදා හෝ දවසක උතුම් බුදුගුණයන් මේ විශ්වයෙන් අතුරුදන් කොට දමන්නේ, අජීවී සතර මහා ධාතුව නොව, සජීවී උතුම් බුදුගුණයන් සරණ නොයන අපි විසින්මය. අජීවී විශ්වය තුළ කොතැනකවත්, බුදුගුණයක් නැත. උතුම් සම්මාදිට්ඨියට පත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන පිංවත් ඔබ, ඔබගේ ජීවිත තුළින්මයි, උතුම් බුදුගුණයන් ඊළඟ පරම්පරාවට දායාද කොට දිය යුත්තේ.

භික්‍ෂුව මේ සටහන ලියන මොහොතේ, ආශ්වාස ප‍්‍රශ්වාස කරන වාතය, ආලෝකය ලබන හිරුඑළිය, දෙපා තබාගෙන සිටින මහපොළොව, පිපාසය සංසිඳවන දිය දෝත, කුසගින්න සංසිඳවන පිණ්ඩපාතය නමැති සතර මහා ධාතුව, සාර සංඛ කල්ප ලක්‍ෂ ගණනාවක්, අපට විමුක්ති මාර්ගය මතුකොට දීම උදෙසා, දස පාරමී ධර්මයන් පිරූ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ, පටිච්ච සමුප්පන්න රුධිරයෙන්, කඳුළින්, දහදියෙන්, ශරීර මාංශයෙන් මොන තරම් නම් පෝෂණය වෙලා ඇතිද?. ලොව්තුරා බුුදුරජාණන් වහන්සේ තමන් සතු උතුම් බුදුගුණයන් සම්මා දිට්ඨියට පත් අපගේ ලේ මස්, සම්, ඇට, නහරවැල් තුළට ළං කොට දක්වා තිබුණත්, අපි තවමත් බුදුරජාණන් වහන්සේ, අපිට ගොඩක් ඈතින් තබා තිබෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව, යම් දවසක උතුම් පැවිදි භාවයට පත්වුණාද? භික්‍ෂුව තමන්ගේ පැවිදි ජීවිතය දැක්කේ උතුම් බුදුගුණයන්, ගෞරවයෙන් විශ්වාස කිරීම තුළින් ලැබූ ඵලයක් ලෙසින්මය.