ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවාහ ජීවිත ගතකරන අඹුසැමියන්ට. බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා කියන්නේ ගෙදර නෝනා සහ මහත්මයා අතර තියෙන ප්‍රශ්න පිට අයට කියන්න එපාය කියන කාරණයයි. අපි ජීවත් වන සමාජය තුළ දික්කසාද, අඹුසැමි සමගිය බිඳ වැටීම, විනෝදාංශයක් බවට පත් වූ කාමයේ වරදවා හැසිරීම් ඔඩුදුවමින් පවතින පරිසරයක් තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉහත ධර්මය සමාජයට ගොඩක් වටිනවා. මොනම හේතුවක් නිසාවත් බිරිඳ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ වැරදි පිටස්තර අයට ප්‍රකාශ කිරීම සුදුසු නැහැ.
සිංහල බෞද්ධ කාන්තාවක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන්ට දිවි හිමියෙන් ගරු කරන කෙනෙක්. හේතුඵල ධර්මයන්ට අදාළව ලෝකය දකින්න උත්සාහ ගන්න කෙනෙක්. තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ ස්වාමිදියණිය යම් වරදක් කරනවා නම්, එම වරද නිසා ඔබ දුකට පත් වෙනවා නම් එය ඔබේත් අතීත අකුසල් සංස්කාරයක විපාකයක්. තනි අතකින් අත්පුඩි ගහන්න බැහැ. අත් දෙකක එකතුවයි අත්පොළසන් හඩ කියන්නේ. ස්වාමිපුරුෂයකුට වැරැද්දක් කරන්න දැනීම් සකස් වෙන්නේ නෝනා මහත්මියගේත් අතීත අකුසල් සංස්කාරයන් නිසාමයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියන්නේ අඹුසැමියන් තමන්ගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න තමන් විසින්ම ඉවසීමෙන්, සමගියෙන්, හේතුඵල ධර්මයන් දකිමින් විසදා ගන්න කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉහත ධර්මයට අපි අකීකරු වී පවුල් ජීවිතවල ප්‍රශ්න පිටස්තර පින්වතුන්ට ප්‍රකාශ කළොත් ඒවායේ අතුරු විපාකයන් නිසා ඇතිකොට ගන්නා අකුසල් සංස්කාරයන් අනාගත භව ගමනේ අනාගත විවාහ ජීවිත මහා ගිනි ජාලාවන් බවටම පත්වේවි.
ධර්මානුකූලව අපේ ජීවිත කියන්නේ ප්‍රශ්න පත්රයක්. එම ප්‍රශ්න පත්රයට සාර්ථකව පිළිතුරු ලියන්න තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කොට තිබෙන්නේ. එම නිසා අඹුසැමි ප්‍රශ්න තිබෙන පින්වත් ඔබ ඉවසන්න. ඔබ ඉවසන තෙක් ධර්මය මග බලාගෙන සිටී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරු වූ ඔබට අකුසලය යටපත් කොට කුසලය මතුකොට දීමටය. විවාහ ජීවිත ගතකරන පින්වතුන්ට ඇතිවන මතගැටුම් හේතුවෙන් දෙදෙනා දෙදෙනාට ආඩම්බරකම් පෙන්වමින් අහක බලාගෙන ඉන්නේ නැතුව මමත්වයේ දැඩිභාවය මොහොතකට තුනීකොට ගෙන ගෑස් ලිපේ බත් හැළිය ඉදෙන්නත් ළඟයි. ඉක්මණට සමගි වෙන්න.
උපුටා ගැනීම – ”මහ රහතුන් වැඩි මග ඔස්සේ”, ලිපි පෙළ ඇසුරෙන්