ආහාර පිදීමේ අනුසස්.

අතීත කර්ම බලයෙන් සත්ත්වයා උපදී. පළමුවෙන් උපත ලබා දීමට මිස ඉදිරියට ඒ සත්ත්වයාගේ ජීවිතය පැවැත්වීමට කර්මය සමත් නොවේ.

සත්ත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවත්නේ ආහාරයේ බලයෙනි. ආහාර නො ලද හොත් දිවිය නො පවතී. එබැවින් ජීවිතය ඉදිරියට පැවතීමට උපකාර වන ආහාර දීම ජීවිතය හෙවත් ආයුෂය දීමක් වේ. ආහාර පිදීම ආයුෂ පිදීමක් වේ.

කොතරම් රූප ශෝභාව ඇතියෙකුට වුව ද ආහාර හිඟ වුව හොත් එය නැති වී විරූප වේ. රූපශෝභාව ඇතිවීමට පැවතීමට හොඳ ආහාර උවමනාය. එබැවින් රූපශෝභාව ඇතිවීමට පැවතීමට හේතු වන ආහාර දීම, පිදීම ශරීර වර්ණය දීම, පිදීමක් වේ.

නිරාහාරව ක්ලාන්තව සිටින්නෙකුට අන් කුමක් ඇත ද සැපයක් නැත. සාගින්න නිවා ගැනීමට පමණක් නොව අන් ක්‍රමවලින් සැප ලැබිය හැකි වීමට ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාරය දීම සැපය දීමකි. ආහාරය පිදීම සැපය පිදීමකි.

ආහාර නො ලැබ ගිය හොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහා ගෙන යාමට පමණවත් ශක්තියක් ඉතිරි නොවේ. ශක්තිය ලැබෙන්නේ ආහාරයෙනි. එබැවින් ආහාර දානය ශක්තිය දීමක් වේ. ආහාර පූජාව ශක්තිය පූජාවක් වේ.

ආහාර හිඟව ලේ මස් වියළී ඉන්ද්‍රිය දුබල වුව හොත් ප්‍රඥාව නැති වේ. ප්‍රඥාව ඇති වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාර දානය ආහාර පූජාව ප්‍රඥා දානයක් ප්‍රඥා පූජාවක් වේ.

ආයුෂය, ශරීරවර්ණය, සැපය, ශරීර ශක්තිය, ප්‍රඥාව යන කරුණු පස සත්ත්වයනට ඉතා උසස් කරුණු පසෙකි.

එබැවින් ඒවා ලැබීමට හේතුවන ආහාර දානය ආහාර පූජාව උසස් දානයක් උසස් පූජාවක් වේ. එය උසස් පිනක් වේ.

“ආයුෂය දෙන්නා වූ ශරීර බලය දෙන්නා වූ ශරීර පැහැය දෙන්නා වූ නුවණ දෙන්නා වූ සැප දෙන්නා වූ නුවණැති හෙතෙමේ සැපය ලබන්නේ ය.

ආයුෂය ශරීර ශක්තිය රූප ශෝභාව සැපය ප්‍රඥාව යන මේවා දී යම් යම් තැනක උපදී නම් ඒ ඒ තැන දීර්ඝායු ඇත්තේ ද පිරිවර ඇත්තේ ද වේ”

“ආයුදො බලදො ධීරො වණ්ණදො පටිභාණදො,

සුඛස්ස දාතා මොධාවි සුඛං සො අධිගච්ඡති,

ආයුං දත්වා බලං වණ්ණං සුඛං ච පටිභාණකං,

දීඝායු යසවා හොති යත්ථ යත්ථුපපජ්ජති.

(අංගුත්තර පංචක නිපාත)

• මල්ලිකා දේවි.

සැවැත් නුවර එක් මල්කරුවෙකුට සොළොස් හවුරුදු වියට පැමිණි රූමත් දුවක් වූවා ය.

දිනක් ඕ තලප ගුළි තුනක් පැසෙහි ලා ගෙන තවත් දැරියන් හා එක්ව මල්වත්ත බලා ගියා ය.

එදින සංඝයා පිරිවරා පිඬු පිණිස සැවැත් නුවරට වඩනා බුදුරජාණන් වහන්සේ ඇයට අතරමඟදී හමු වූහ. බුදුරදුනට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමා ගෙන යමින් සිටි තලප ගුළි තුන තථාගතයන් වහන්සේට පිළිගැන්වූවා ය. තථාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්‍රය එලවා පිළිගත් සේක.

ඕ උන්වහන්සේගේ පා වැඳ බුද්ධාලම්බණ ප්‍රීතියෙන් තථාගතයන් වහන්සේ දෙස බලා සිටියා ය. එකල්හි තථාගතයන් වහන්සේ ඇය දෙස බලා සිනා පහළ කළ සේක.

බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිසුන් මෙන් අකාරණයෙන් සිනා පහළ නො කරන සේක.

එබැවින් අනඳ තෙරණුවෝ සිනා පහළ කිරීමේ කරුණ තථාගතයන් වහන්සේ ගෙන් විචාළහ. “ආනන්දය! මේ කුමරිය තලප පූජා කිරීමේ පිනෙන් අද ම කොසොල් රජුගේ අගමෙහෙසිය වන්නීය” යි තථාගතයන් වහන්සේ වදාළහ.

කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නා ය. එදිනම කොසොල් රජ අජාසත් රජු හා යුද කොට පැරදී අසකු පිටින් පලායන්නේ උයන සමීපයේ දී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේ ය.

කුමරිකාව සෙසු දැරියන් සේ බිය වී පලා නොගොස් නො බා රජු ඉදිරියට ගොස් අසුගේ රැහැන අල්ලා ගත්තා ය.

රජ අසු පිට හිඳම සැමියකු ඇති නැති බව විචාරා සැමියකු නැති බව දැන අසු පිටින් බැස ඇගේ උකුලෙහි හිස තබා මඳ වේලාවක් හිඳ විඩා සන්සිඳවා ගෙන ඇය ද අසු පිට නංවා බලකාය හා නගරයට පිවිස ඇය ඇගේ නිවසෙහි රඳවා රජ මැදුරට පිවිස සවස් කාලයේ රථයක් යවා…

මහත් සත්කාරයෙන් සම්මානයෙන් ඇය ගෙන්වා රුවන් රැසක සිටුවා අභිෂේක කරවා අග මෙහෙසිය කර ගත්තේ ය. ඕ රජුට අතිශයින් ප්‍රිය වූවා ය.

(ජාතකට්ඨකථා සත්තකනිපාතයෙන්)

– අතිපූජ්‍ය රේනුකානේ චන්ද්‍රවිමල මහනායක ස්වාමින්වහන්සේ –

සියල්ලන්ටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!

නමෝ බුද්ධාය..!