ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් මිනිස් ලොව ඕපපාතිකව උපත ලබයි.
අම්බපාලී කියන්නෙත් එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත පියෙක් නැත. ඇය විශාලා මහනුවර අභයරාජ කුමාරයාගේ අඹ උයනේ අවුරුදු 16ක සුන්දර තරුණියක් ලෙස ඕපපාතිකව පහළ වුණි.. (ඕපපාතික උපතක් යනු මාපියන් නොමැතිව කර්මාණුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි)
ඇය එක් ජීවිතයකදී පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය පූජා කර “මව්කුසේ සිටීම හෝ මව්කුසින් බිහිවීම බොහෝ දුක සහිත දෙයකි. ඒ නිසා මම උපදින සෑම භවයකදීම මවුකුසක ඉපදීමක් නොලැබේවා” කියා ප්‍රාර්ථනා කළාය. පසේ බුදුරජාණන් වහන්සේ එදා ඇයට ආශිර්වාද කළ සේක. එදින පටන් ඇය සෑම ආත්මයකම කර්මාණුරූපව ඕපපාතිකව (මාපියන් නැතිව) පහළ වුණි.
ඇය ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේගේ සහෝදරියක්ව ඉපිද උන්වහන්සේ වෙතින් ධර්මය අසා ප්‍රසාද සිතින් යුතුව මහදන් දී කුසල් කොට “මනා රූප සම්පත්තියක් ලැබේවා” යි ප්‍රාර්ථනා කළාය.
එයින් අනතුරුව සසර බොහෝ කාලයක් පින්දහම් පුරා එයින් දෙව් මිනිස් සම්පත් අනුභව කොට සිඛී නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ බ්‍රාහ්මණ කුලයක ඉපිද වැඩිවියට පත්වූ කල්හි බුදු සසුනෙහි පැවිදිව උපසම්පදා වී ශික්ෂාකාමීව වාසය කළාය.
දිනක් චෛත්‍යය මළුව ඇමද තිබියදි එක් රහත් භික්ෂුණියකට සෑ මළුවේදී කිවිසුමක් ගියේය. එයට කිපුණු සිතින් රහත් මෙහෙණියට “වෛශ්‍යාවක් මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නී ය” යැ යි ආක්‍රෝෂ කළාය. ඒ පවින් ඇයට නිරයේ මහත් වූ දුක් විඳින්ට ද සිදු විය. එදා සිට ඉපදුන බොහෝ මිනිස් ආත්මවලදී ඇය සසරේ කළ කර්ම විපාකයට අනුව ස්ත්‍රියක් වී ඉපිද ගණිකා වෘත්තියෙහි ම නියැලෙන්නට සිදුවිය. නපුරු වූ විෂක් අනුභව කළාක් මෙන් ඒ පාපයෙන් ගැලවී ගත නො හැකිව අවසන් ආත්ම භාවයේදීත් ගණිකාවක්ව ම වූවා ය.
ඇය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බඹසරව වාසය කළාය. ඒ පිනෙන් දෙව්ලොව ඉපිද බොහෝ දිව්‍ය සැප විදීය.
ඇය අඹ ගසක් මුල ඉපදුනු නිසා අම්බපාලි නම ලැබුණු අතර, පසුව බිම්බිසාර රජතුමාට ඇය ලබාදුන් අතර රජු ඇය හදාවඩා ගත්තේය. අම්බපාලියගේ දුටුවන් වශී කරවන මනා රුව සහ මිහිරි කටහඬට වශී වුන එනුවර වැසියන් රජවරුන් කුමාරවරුන් ඇයව සරණ පාවා ගැනීමට පොර කෑහ. මේ තත්ත්වය විසඳා ගැනීමට නොහැකි රජතුමා (ඇගේ පූර්ව කර්මානුරූපවම) එනුවර සියලු දෙනාට සාධාරණව සියළු රජ දරුවන්ට, සිටුවරුන්ට පාරිභෝගයට නගරයේ පොදු වස්තුවක් (ගණිකාවක්) බවට පත් කළේ ය. මසුරන් දහසක්, දස දහසක්, ලක්ෂයක් ගෙවා එක් රැයක් අම්බපාලිය සමග ගතකිරීමට රජ ඇමති කුමාරවරු පෙලගැසී සිටියෝය.
පසු කාලයකදී ඇය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී බණ අසා මහ දන් දී සිල්වත් මහෝපාසිකාවක් බවට පත්වූවාය. බුදුරජාණන් වහන්සේට වැඩ වසන ලෙස අඹ උයනෙහි රමණීය මහා විහාරයක් ද කරවා පූජා කළා ය.
බිම්බිසාර රජුට දාව තමාගේ කුස උපන්, බුදු සසුනෙහි පැහැදී පැවිදිව රහත් ඵලයට පත්ව සිටි විමල කොණඩඤ්ඤ තෙරුන් වහන්සේගෙන් ධර්මය අසා තමා ගත කළ ජීවිතය ගැන කළකිරී, පෙර සසර කරන ලද කුසල් ඇති බැවින් වහා ධර්ම ඥානය ලබාගත් අම්බපාලිය, තමා සතු ධනය දැසි දස්සන් අතර බෙදා දී මන්දිරයද සඟ සතුකොට පූජා කොට භික්ෂුණි අරමකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා ගෙන භික්ෂුණි ජීවිතය ප්‍රතිපත්තිගරුකව වාසය කළ ඇය කාය ගතාසති භාවනාව වඩා රූප මදය තුනී කොට අප්‍රමාදව විදසුන් වඩා උතුම් වු අරහත්ඵලයට පත් වූවාය.
අම්බපාලී ථෙරීඅපදානය ඇසුරින් 👇