අපේ ශරීරයේ යථා ස්වාභාවය.

අපේ ස්වාමීන් වහන්ස, සතර මහා ධාතූන්ගෙන් ගොඩනැගුණු අපේ මේ ශරීරය දිහා තව තවත් ගැඹුරින් බලන විදිය අපට පහදා දෙන්න ස්වාමීන් වහන්ස

අපි තිරිසන් ලෝක වලට වැටුන වෙලාවේ අපි ලැබුවා වූ ඒ සතර මහා ධාතුව, අපිි පේ‍්‍රත ලෝක වලට, අසුර ලෝක වලට, නිරයන්ට වැටුන වෙලාවේ අපි ලැබුවා වූ ඒ අතීත පටිච්චසමුප්පන්න සතර මහා ධාතුව පින්වතුනි මහ පොළවට පස් වෙලා ගියා. මහ පොළවට පස් වෙලා ගියා. අධ්‍යාත්මික පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට මුහු වුනා. ඔබ මේ ලස්සනයි කියලා ආරක්‍ෂා කරන මේ සම්, මස්, ඇට, නහර පින්වතුනි, මහ පොළවට පස් වෙලා ගියා.

අන්න සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිනවා. එයා දැන් තමාගේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින නිසා බාහිර රූපයන් සතර මහා ධාතුවක් හැටියට දකින නිසා අතීත පටිච්චසමුප්පන්නව පහළ වූ රූපයන් සතර මහා ධාතුවක් හැටියට දකින නිසා මේ සෑම සතර මහා ධාතුවක්ම අනිත්‍ය වශයෙන් දකින නිසා අනාගත සතර මහා ධාතුවකට එයා බැඳෙන්නේ නෑ. අනාගත පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවකින් යුත් රූපයකට එයා බැඳෙන්නේ නෑ. මම ඊළඟ ජීවිතයේ මනුස්සයෙක් වේවා කියලා හිතුනොත් ඒ මනුස්ස ජීවිතය අනිත්‍ය වූ සතර මහා ධාතුවක් හැටියට එයා දකිනවා. මම ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙනවා කියලා හිතුවොත් ඒ දිව්‍ය ජීවිතය අනිත්‍ය වූ සතර මහා ධාතුවක් හැටියට එයා දකිනවා. මම ඊළඟ ජීවිතයේ රූපාවචර අරූපාවචර බ‍්‍රහ්මයෙක් වෙනවාය කියලා හිතුවෛාත් ඒ බ‍්‍රහ්ම ජීවිතය එයා අනිත්‍ය වූ සතර මහා ධාතුවක් හැටියට දකිනවා. ඒ සතර මහා ධාතුවේ තාවකාලික කෙටි ආස්වාදයන්ට එයා රැුවටෙන්නේ නෑ. මොකද එයා සතර මහා ධාතුව කෙළෙස් තුනී වෙන ආකාරයෙන් දැක්ක කෙනෙක්. ඒ සතර මහා ධාතුව සිහිය වැඩෙන ආකාරයෙන් එයා දැක්ක කෙනෙක්. සතර සතිපට්ඨාන ධර්මයන්ට කායානුපස්සනාවට අදාළව.

මෙන්න මේ ආකාරයට සතර සතිපට්ඨාන සූත‍්‍රයේ දී සතර මහා ධාතු දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ රූපය තුළින් ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත‍්‍රයේ දී දේශනා කරනවා මේ ජීවිතය මරණානුස්සතියක් හැටියට දකින්න කියලා. මේ ජීවිතය මරණානුස්සතියක් හැටියට දකින්න. මේ කොයි කෙනෙකුත් පින්වතුනි, කවදා හරි දවසක මිය පරලොව යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශ්වාසය ඉහලට අරගෙන මේ ආශ්වාසය පහතට හෙළන මොහොතේ අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා නිරතුරුවම මරණය ජීවිතයේ කොටසක් හැටියට දකින්න කියලා. මොකද වර්තමාන සමාජයේ අපි මරණය ජීවිතයෙන් ඈතට දානවා. මරණය ජීවිතය කිට්ටුවට ගන්න ඒ අය බයයි. මරණය ජීවිතයෙන් ඈතට දානවා. මරණය ජීවිතයෙන් ඈතට දාන්න, ඈතට දාන්න එම පින්වතුන්ලා ධර්මයෙන් තව තව, තව තව ඈතට යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතයේ කිට්ටුවට ගන්න. මරණය ජීවිතයේ කිට්ටුවටම ඔබ ගත්තා කියන්නේ මේ ආශ්වාසය ඉහලට අරගෙන මේ ආශ්වාසය පහලට එද්දි මරණය සිද්ධ වුනා කියන තැනයි. මරණය ජීවිතයේ කිට්ටුවට ගත්ත තැන ඔබ ධර්මයට කිට්ටු වෙනවා. ඔබ මරණය ඈතට දාන්න දාන්න ඔබ ධර්මයෙන් ඈතින් ඈතට යනවා. වර්තමාන සමාජය මරණය ගැන හිතන්න බයයි. මරණය ගැන දකින්න බයයි. මරණානුස්සතිය කියද්දි පින්වතුනි, කන් දෙක වහ ගන්න පින්වතුන්ලා අපේ බෞද්ධ සමාජයේ ඉන්නවා. ඒගොල්ලන්ට මරණය ගැටළුවක්, ප‍්‍රශ්නයක්, බියක් ඇයි ධර්මයෙන් ඈතට ගිහිල්ලා. මරණය ජීවිතය ළඟට ගත්ත කෙනා ධර්මය ජීවිතය ළඟට ගත්ත කෙනෙක් බවට පත්වෙනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ මරණානුස්සතියේදී දේශනා කරනවා ඔබ දෑස් දෙක පියාගෙන ඔබ මැරිලා ඉන්නවා නුවණින් දකින්න කියලා. ඔබ මරණයට පත්වෙලා ඉන්නවා නුවණින් දකින්න කියලා. ඒ මරණයට පත්වෙලා ඉන්න මොහොතේ ඔබේ දේහය ඔසවාගෙන ගිහිල්ලා සුදු රෙදි කඩක් ඔතලා අර කැලෑවට, සුසාන භූමියට දානවා නුවණින් දකින්න කියනවා. ඔබේ මළකඳ අමු සොහොනට දානවා නුවණින් දකින්න කියනවා. ඔබ මිය ගිහිල්ලා දවසක් දෙකක් තුනක් යද්දි ඒ දේහය ඉදිමිලා, නිල්පැහැ ගැන්විලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මොකක්ද මේ ඉදිමෙන්නේ? මොකක්ද මේ නිල්පැහැ ගැන්වෙන්නේ? ඔබ මේ මොහොතේ සුන්දරයි, ප‍්‍රභාෂ්වරයි, ලස්සනයි මේකට දාස් ගණන් වටින ඇඳුම් අන්දවනවා, ලක්‍ෂ ගණන් වටින ආභරණ පළඳවනවා. මේකට දෙන්න තියෙන සැප සම්පත් සියල්ලම දෙනවා. රූපලාවණ්‍ය කරන්න ලක්‍ෂ ගාණක් වියදම් කරනවා. මේ රූපය තුළ මම ඉන්නවායි කියලා දකිමින් මේ රූපය ආස්වාදයක් කොටගත්තත් මේ රූපය මැරිලා දවසක් දෙකක් තුනක් යද්දි ඉදිමිලා, නිල්පැහැ ගැන්වෙනවා.

මේ ලෝකයේ මේ මොහොතේ ඉන්න සුන්දරම නාට්‍යාංගනාව හෙට මැරුණත් ඒ දේහයත් දවසකින් දෙකකින් ඉදිමිලා නිල්පැහැ ගැන්වෙනවා. මේ ලෝකයේ ජීවත්වෙන සුන්දරම පංචකළ්‍යාණිය හෙට දවසේ මිය ගියත් දින දෙකක් තුනක් යනකොට ඒ දේහය ඉදිමිලා, නිල්පැහැ ගැන්වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තෙන් පලා යන්න එපා. යථාර්ථයෙන් පලා යන්න එපා. ජීවිතයෙන් පලා යන්න එපා. ධර්මයෙන් පලා යන්න එපා. බුදුරජාණන් වහන්සේ ඔබට මේ කියන්නේ යථාර්ථයයි, ඇත්තයි, ධර්මයයි. බොරුවක් නෙවේ. බුදුරජාණන් වහන්සේ ඔබට බොරු පාරවල් පෙන්වපු උත්තමයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඔබට යම් ධර්මයක් දේශනා කළා නම් ඒ ජීවිතයේ ඇත්තයි, සත්‍යයයි, යථාර්ථයමයි. ඒ නිසා ඔබ මේ මොහොතේ කොච්චර සුන්දර තරුණයෙක් වෙන්න පුළුවන්, තරුණියක් වෙන්න පුළුවන්, සුන්දර මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්. රූපය නිත්‍ය වශයෙන් අරගෙන මේ රූපය මගේ කරගෙන මේ රූපය පෝෂණය කරන්න, මේ රූපය ලස්සන කරන්න, මේ රූපය හැඩවැඩ කරන්න, මේ රූපය ප‍්‍රභාශ්වර කරන්න මේකේ ලාලිත්‍යය රිද්මය මතු කරලා දකින්න දාස් ගණන් ලක්‍ෂ ගණන් වියදම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කෙසේ කෙනෙක් වුනත් දෑස්දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇත්ත මොහොතක් හිතන්න. ඔය බොරුවෙන් බැහැර වෙලා, ඔය මිත්‍යාවෙන් බැහැර වෙලා, ඔය මෝහයෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ලෝක ධර්මය මොහොතක් හිතන්න. දෑස් දෙක පියාගෙන දකින්න මේ මොහොතේ කොච්චර සුන්දර ජීවිතයක් මම ගතකළත් තව පැයකින් මං මියගියොත්, දවසක් දෙකක් යද්දි මේ දේහය ඉදිමෙනවා, මේක ඊට පස්සේ නිල්පැහැ ගැන්වෙනවා, ඇස් ඉදිමෙනවා, කන් ඉදිමෙනවා, තොල් දෙක ඉදිමෙනවා, ශරීරය නෙරා එනවා, බඩ නෙරා එනවා, මේක නිල්පැහැ ගැන්වෙනවා.

පින්වතුනි, කෙනෙක් මැරුණාට පස්සේ ඔබ හිතන්න කෙනෙක් කැලේ අතරමං වෙලා මැරෙනවා මොකක් හරි අනතුරකින්. ඒ කැලේ අතරමං වෙලා මැරෙණ පුද්ගලයාගේ එහෙම නැත්නම් කැලේ අප‍්‍රමාණ සතුන් මැරෙනවා. මං වනවාසීව ජීවත් වෙද්දි දැකලා තියෙනවා කැලේ සතෙක් මැරිලා හිටියොත් ඒ සතාගේ මුලින්ම පණුවෝ මතු වෙන්නේ පින්වතුනි මේ ඇස්වලින්. ඒ වගේම ලිංගික ප‍්‍රදේශයෙන්. සතාගේ මුලින්ම පණුවෝ මතුවෙන්නේ ඔන්න ඔය ප‍්‍රදේශ දෙකෙන්. බලන්න ඒ සතා කාමයේ ආස්වාදයන් වැඩියෙන්ම අත්විඳින ඉන්ද්‍රියන් දෙක මොකක්ද? මේ ලිංගික ප‍්‍රදේශයයි ඇස් දෙකයි. මේ දෙකෙන්මයි සත්ත්වයා වැඩිපුර කාමයේ ආස්වාදයන් අත්විඳින්නේ. බලන්න හේතුඵල ධර්මයන්. මේ සතුන් මැරිලා දවසක් දෙකක් යද්දි පින්වතුනි, මුලින්ම පණුවො මතුවෙන්නේ ඇස් වලිනුයි, ලිංගික ප‍්‍රදේශයෙනුයි. හේතුඵල ධර්මයන්. ඒ නිසා ඔබ දෑස්දෙක පියාගෙන මොහොතක් දකින්න ඔබ කොයිසා සුන්දර කෙනෙක් වුනත් ප‍්‍රශ්නයක් නෑ.

බුදුරජාණන් වහන්සේට වඩා සුන්දර කෙනෙක් මේ ලෝක ධාතුවේ හිටියේ නෑ. ඒ වගේමයි යශොධරා උත්තමාවිය තරම් සුන්දර කාන්තාවක් මේ ලෝක ධාතුවේ හිටියේ නෑ. එවන් සුන්දර කාන්තාව සුන්දර උත්තමයො මේ ධර්මතාවය නුවණින් දැක්කා. මේ ධර්මතාවය නුවණින් දැක්කා. මේ ධර්මතාවය නුවණින් කොහොමද දැක්කේ? මේ කොයි සා සුන්දර ජීවිතයක් ලැබුවත් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබලන ජීවිතයක් ලැබුවත් මේ ජීවිතය හෙට දවසේ මිය ගියොත් මේ ශරීරය දවසක් දෙකක් යද්දි ඉදිමෙනවා, නිල්පැහැ ගැන්වෙනවා. අන්න එයා දෑස් දෙක පියාගෙන මරණානුස්සතිය දකිනවා. මරණානුස්සතිය දකිමින් එයා දකිනවා දවසක් දෙකක් තුනක් හතරක් යද්දි මේ නිල්පැහැ වෙලා ඉදිමිලා තියෙන මේ ශරීරය මෙන්න පින්වතුනි ඕජාව ගලන්න පටන් ගන්නවා. ඇසෙන් ඕජාව ගලනවා, කනෙන් ඕජාව ගලනවා, නාසයෙන් ඕජාව ගලනවා, කටින් ඕජාව ගලනවා, නාභියෙන් ඕජාව ගලනවා, ලිංගික ප‍්‍රදේශයෙන් ඕජාව ගලනවා. මොකක්ද මේ ඕජාව කියන්නේ? ඔබ මගේ කරගෙන අපේ කරගෙන මේ පෝෂණය කලා වූ ශරීරයෙන්මයි මේ ඕජාව ගලනනේ මේ ශරීරයෙන්මයි. ඔබ පවුඩර් දාලා, සුවඳ විලවුන් දාලා, ආභරණ පළඳලා ලස්සන ලස්සන ඇඳුම් අන්දලා රූපලාවණ්‍ය උදෙසා දාස් ගාණක් දසදහස් ගණන් වියදම් කරපු ඔබේ සුන්දර ශරීරයෙන්මයි මේ ඕජාව මතුවෙලා එන්නේ. මේ ඕජාව පෙරේතයෙක් ගෙනල්ලා දැම්මා නෙමේ, මේ ඕජාව දෙවියෙක් ගෙනල්ල දැම්ම නෙමේ. මේ ඕජාව අමනුෂ්‍යයෙක් ගෙනල්ල දැම්ම නෙවේ. මේ ඕජාව මතුවුනේ ඔබේ ඔය සුන්දර වූ රූපයෙන්මයි. ඔය සුන්දර රූපය තුළමයි මේ ඕජාව සැඟවිලා තිබුනේ. මේ සුන්දර රූපය තුළමයි මේ ඕජාව නිෂ්පාදනය වුනේ. අන්න පින්වතුනි, මැරිලා දින 4 ක් 5 ක් වෙනකොට ඇසෙන් ඕජාව ගලනවා, නාසයෙන් ඕජාව ගලනවා, කනෙන්, දිවෙන් ඕජාව ගලනවා. නාභියෙන්, ලිංගික ප‍්‍රදේශයෙන්ගෙන් ඕජාව ගලනවා. ඒ ඕජාව ගලද්දි නිලමැස්සෝ වහනවා. දැන් ඔබේ දේහය අයිති නිලමැස්සන්ට. මෙච්චර කාලයක් ඔබේ රූපය අයිති වුනේ කාටද? ඔබේ ස්වාමිපුරුෂයාට, ඔබේ බිරිඳට, ඔබේ පෙම්වතාට, ඔබේ පෙම්වතියට, ඔබේ දුවට, ඔබේ පුතාට, ඔබේ මුණුබුරාට, මිණිපිරීට, අම්මට, තාත්තාට. ඒ අය තළු මරමරා ඔබේ රූපය අත්වින්ඳා. තළු මරමරා ඔබේ රූපය අත්වින්ඳේ ඇයි? ඔබේ රූපයේ පඨවි ධාතුවේ ආස්වාදය, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ, ආපෝ ධාතුවේ ආස්වාදයට බැඳිලා. නමුත්, පින්වතුනි මළකඳේ තේජෝ ධාතුව නැහැ. දැන් මේක මළකඳක්. මළකඳෙන් තේජෝ ධාතුව බැහැර වෙලා. මළකඳෙන් තේජෝ ධාතුව බැහැර වෙද්දි මොකද වෙන්නේ?

ඔබ ගෙදර පරිප්පු ව්‍යංජනයක් හදන්න. පරිප්පු ව්‍යංජනය හදලා ?ට ආහාරයට ගන්න. නමුත් පරිප්පු ව්‍යංජනයේ ඉතුරු වෙලා තියෙනවා. ඔබ මොකද කරන්නේ? ඒක රත් කරනවා. රත් කරලා උදේට පාවිච්චියට ගන්නවා. නමුත් ඔබට රත් කරන්න අමතක වුනොත් මොකද වෙන්නෙ? උදේට පරිප්පු ව්‍යංජනය පිළුණු වෙලා. ඇයි? තේජෝ ධාතුව බැහැර වුනා. එහෙනම් මේ ශරීරයෙන් තේජෝ ධාතුව බැහැර වෙනවා. මරණයට පත්වෙලා මළකඳක් බවට පත්වුනාම තේජෝ ධාතුව බැහැර වෙච්ච තැන පරිප්පු ව්‍යංජනය යම්සේද පිළුණු වෙන්නෙ අන්න අර මරණය පිළුණු භාවයට පත්වෙනවා. ඒකෙ ඕජාව ගලනවා, නරක් වෙනවා, කුණු වෙනවා. මේ කුණු වෙන්නේ මොකක්ද? ඔබ මගේ කියලා සැරසුවා වූ ඔබේ සුන්දර රූපයමයි. ඔබ මගේ කියලා සැරසුවා වූ ඔබේ මේ සුන්දර ලේ, මස්, සම්, ඇට, නහර මේවාමයි. අන්න පින්වතුනි, තේජෝ ධාතුව බැහැර වෙච්ච තැන දැන් කවුද ඔබේ රූපයේ අයිතිකාරයෝ බවට පත්වෙන්නේ? කබරයෝ, නිලමැස්සෝ, නරි, බල්ලෝ අන්න ඔබේ රූපයේ හිමිකාරයෝ බවට පත්වුනා.

කොයිතරම් නම් පිළිකුල් සහගත ද කියා ඔබට සිතුනත් එයයි ඔබේත් මගේත් ජීවිත වල සත්‍ය කථාව.

උපුටා ගැනීම – සිරස පන්සිල් මළුව 60 වන කොටසින්