පුතේ ඕගොල්ලෝ දන්නවා බුදු හාමුදුරුවන්ගේ කාලේ රජවරු රජකම්, සිටුවරු සිටුකම් අතහැරලා, මහා දානපතියෝ ඒ සියළුම ධනය අතහැරලා ආවා මේ උතුම් සද්ධර්මය වෙනුවෙන්. මහා කප්පින මහරහතන් වහන්සේගේ ගිහි කාලේ ගැන ඇහැවුවහම හරි පුදුමයි. යොදුන් ගණනක් විශාල මහා රාජ්‍යයක රජ කෙනෙක්. උයනට යමින් ඉන්න අතරමඟ “බුදු හාමුදුරුවෝ ලෝකේ පහල වුනා, ධර්මය ලෝකේ පහල වුනා, සංඝ රත්නය ලෝකේ පහල වුනා” කියන වචනේ විතරයි ඇහුනේ ආපහු මාලිගාව ගැන දෙවරක් හැරෙන්නේ නැතුව එහෙමම ඇවිල්ල බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුනා. ඒ මොකක් නිසාද? මේ ලෝකේ හැම දේකටම වඩා ‘නොමැරීම’, ‘අජරාමර වීම’ කියන එක උතුම් නිසා.
මේ ලෝකේ තියෙන නිලතල වලින් වඩාත් ප්‍රබල වටිනා නිලතලයක් තමයි රජකම. උදාහරණයකට අපි කියමු යම් රජ කෙනෙක්ට දරුණු රෝගයක් හැදෙනවා. ඉන්න වෙද්‍යවරු ගෙනල්ලා අහනවා මේකට ප්‍රතිකර්මයක් කරන්න. හැම වෙද්‍යවරයෙක්ම කියනවා “රජතුමනි ඔබගේ රෝගය සුව කල නොහැකියි. ඒකාන්තයෙන් ඔබ වහන්සේ මේ රෝගයෙන් කළුරිය කරනවා” කියලා.
ඔය අතර එක්තරා තව වෙද මහත්මයෙක් ඇවිල්ලා කියනවා, “රජතුමනි ඔබතුමාව මේ රෝගයෙන් සුවකළ නොහැකියි. ඔබතුමා රෝගයෙන් කළුරිය කරනවා. හැබැයි එක දෙයක් ඉතුරු වෙලා තියනවා. මේ ඔක්කොම අතහැරලා අහවල් කැලෙට ගිහින් අහවල් කොළ ජාතිය කමින් හිටියොත් මේ රෝගයට ඔරොත්තු දෙනවා ජීවත්වෙන්න පුළුවන්” කිව්වොත් මේ රජ්ජුරුවෝ තමන්ගේ අඹු දරුවෝ, දේපල වස්තුව නෑදා හිත මිත්‍රයෝ ඔක්කොම අතහැරලා කැලේට යන්නේ නැති වෙයිද?යනවා. ගිහිල්ලා කොළ කකා ඉඳීවි. ඇයි ඒ නොමැරීම ඒ තරම් වටිනා නිසා.
හොඳට මතක තියාගන්න ඒත් නොමැරී ඉන්න බැහැ, මරණය කල් දාගන්න එක රජකමට වඩා වටී නම් නොමැරී ඉන්න පුළුවන් ධර්මයක් හමුවේ අතහරින්න බැරි දෙයක් ලෝකේ තියෙනවාද කියන ප්‍රශ්නයක් එනවා. එතකොට එදා මහා කප්පින මහරහතන් වහන්සේ, උපතිස්ස (සැරියුත් මහරහතන් වහන්සේ), කෝලිත (මුගලන් මහරහතන් වහන්සේ) ආදී ඒ මහොත්තමයන් වහන්සේලා ඔය ඔක්කොමලා ඒ බව දැනගෙන හිටියා.
~~ අනුරුද්ධ කුමාරයාගේ කතාව ~~
මේ ශාසනේ හතරවෙනි මහරහතන් වහන්සේ හැටියට අසු මහා ශ්‍රාවකයන්ගෙන් නම් දරන්නේ ‘අනුරුද්ධ මහරහතන් වහන්සේ’. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගිහි කාලයේ දී ‘නැතැයි’ කියන වචනය අහලා නැහැ. එච්චරට පින්වන්තයි. සසරේදී පින් කරලා නිවන් දකින තාක් මට ‘නැතෙයි’ කියන වචනය අහන්න නොලැබේවා කියල ප්‍රර්ථනා කරලා තියෙනවා.
පොඩි කාලේ දවසක් ළමයි එක්ක ඔය පොඩි පොඩි සුදූ සෙල්ලම් කරනවා හැබැයි ඔට්ටු තියන්නේ කැවුම් වලට. ඔක්කොම රජ පවුල්වල සිටු පවුල්වල ළමයි එක්ක තමයි සෙල්ලම් කරන්නේ. අනුරුද්ධ කුමාරයා කියන්නේ මහානාම ශාක්‍යයාගේ මල්ලි. කැවුම් වලට සෙල්ලම් කර කර ඉන්නකොට අනුරුද්ධ කුමාරයාගේ කැවුම් ඔක්කොම ටික පරාද වෙනවා. ඉතින් අම්මට ගිහින් කිව්වා, “අම්මේ මම කැවුම් ටික පරාදයි. මට තව කැවුම් ටිකක් දෙන්න කියලා”. අනේ පුතේ කැවුම් නැහැනේ කැවුම් ඉවරයිනේ කිවුවා.
එතකොට අනුරුද්ධ කුමාරයා අහනවා, “නැහැ, කියන්නේ මොකක්ද අම්මේ”? අම්මට ඕනේ වුනා මෙයාට ‘නැහැ’ කියන එක හඟවන්න. ඉතින් අම්මා හිස් පිඟානක් අරගෙන කූඩයකින් වහලා දුන්නා මෙන්න මේකට තමයි පුතේ නැහැ කියන්නේ කියලා. (කූඩය ඇරලා බැලුවහම නැහැ කියන්නේ මොකක්ද කියන එක තේරෙනවනේ එතකොට). දෙවියෝ මේක දැක්කා අනන්ත සංසාරේ මහා පින් කරපු පින් කඳක් අනුරුද්ධ කුමාරයා කියන්නේ. මෙයාට ‘නැහැ’ කියන වචනේ තේරුනොත් අපේ හිස පවා හත්කඩකට පැලෙයි කියල දෙවියෝ දිව්‍යමය කැවුම් මැව්වා.
මේ කුමාරයා කූඩේ ඇරලා බලනකොට කැවුම් ගොඩක් තියෙනවා. කාලා බලනකොට පුදුම රහයි ඒවා. මේ කුමාරයා හිතුවා ‘නැති කැවුම්’ කියන්නේ මේවාට කියලා. කැවුම් ටික අරගෙන ගිහිල්ලා සෙල්ලම් කළා, ඒ කැවුම් ටිකත් පරාදයි. ඉතින් මේ කුමාරයා ආයේ අම්මා ගාවට ගිහිල්ලා කියනවා අම්මේ මට වෙන මොකුත් එපා “නැති කැවුම්” ඕනේ කියලා.
ඊටපස්සේ මේ අම්මා කල්පනා කෙරුවා මගේ පුතා හරිම පින්වන්තයි. අම්මා වෙනදා වගේ කැවුම් උයන්න මහන්සි වෙන්නේ නැහැ, අම්මා මොකද කරන්නේ හිස් පිඟානක් කූඩයකින් වහලා දෙන එක විතරයි කරන්නේ. ඉතින් ඒ විදිහටයි ඒ රජ කුමාරවරු හැදුනේ.
නමුත් මේ ධර්මය අභියසදී ඒ ඔක්කොම අතහැරලා අමු සොහොනේ මිනියක් ඔතලා දාල තිබු රෙදි කඩක් ඇඳගෙන මැසි මදුරු අව් සුළං සහිත කැලේක ගහක් යටට වෙලා ඉන්න තරම් හිත හදාගත්තා නම් අජරාමර බව සඳහා පුතේ අපිට අතහරින්න තියෙන්නේ මොනවද කියලා හිතල බලන්න. ඒ මහෝත්තමයන් වහන්සේලාට තිබුණු වස්තු සම්පත්ති දිහා බැලුවහම අද මේ ලෝකේ රජ කෙනෙක් හිටියත් හිඟන්නෙක් ගණයට වැටෙනවා.
~~ සත්පුරුෂ අධිෂ්ඨානයක් ~~
අනන්ත ජාති සංසාරේ වින්ද මහා දුක් කඳ සිහි කරලා ඒ සියළුම දුකෙන් අතමිදෙන්න පුළුවන් අජරාමර බව ලැබෙන මේ උතුම් සද්ධර්මයේ වටිනාකමත් සිහි කරලා, “මේ ධර්මය කොහොම හරි අවබෝධ කරගෙන මේ ජීවිතයෙන්ම සසර දුකෙන් එතෙර වෙලා අනික් අයටත් මේ සද්ධර්මයේ මාර්ගය කියලා දෙනවා, සතර අපායේ වැටිලා දුක් විඳින අහිංසක ලෝකයා ගලවගන්න සද්ධර්මය ලෝකය පවත්වන්නත් මම උපකාර වෙනවා” කියන එකට හැම කෙනාම අධිෂ්ඨාන කරගන්න ඕනේ.
පුතේ, සත්පුරුෂයෙක් හැටියට අපිට කරන්න පුළුවන් එකම දෙය ඒකයි. ගොඩාක් දෙනා පුතේ මෙතරම ඉපදිලා මෙතෙරම මැරෙන අය. සසර පරතෙරක් හොයන්නේ බොහොම ටික දෙනයි. කාල බීලා ජීවත්වෙලා මරණයට පත්වෙන එක තමයි මේ ලෝකේ හැමකෙනාගේම ජීවිතයේ චරිතයේ හැටි.
ඉදිරියෙන් යන අය ජරාමරණයට පත්වෙනවා තමන්ගේ ඇස් දෙකෙන්ම පෙනෙනවා. ඒත් කෙනා කෙනාට හිතෙන්නේ අනික් කෙනා මැරුණාට මම නම් මැරෙන්නේ නැහැ කියනවා වගේ තැනකිනුයි ජීවිතය පවතින්නේ. අනික් කෙනා ලෙඩ වුනාට මම ලෙඩ වෙන්නේ නැහැ වගේ තැනකින් තමයි ජීවිතය පවතින්නේ. වචන කියනවා ‘මැරෙනවා අපි, ලෙඩවෙනවා අපි’ නමුත් අපේ ජීවිත පැවැත්ම වෙලා තියෙන්නේ එහෙම වෙන්නේ නැහැ වගේ.
~~ජීවිතයක යථාර්ථය ~~
අවුරුදු පනහකින් හැටකින් ඒකාන්තයෙන්ම මේ සියල්ල අහිමි වෙනවා නම්, මේ නෑදෑයෝ එදාට නෑදැයෝ නෙමෙයි නම්, මේ වස්තුව එදාට වස්තුව නෙමෙයි නම්, එයා දන්නවා අදත් ඒ දේවල් මට අයිති නැති පැවැත්මක් කියලා. එයා දන්නවා මේ කිසිම දෙයකින් ජරාමරණ දුක නැති කරන්න බැහැ කියලා. ඒ සත්පුරුෂයාගේ මනස වලක්වන්න මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම දෙයක් සමත්වෙන්නේ නැහැ. එබඳු කෙනාටයි පුතේ මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ.
බුදු හාමුදුරුවෝ ලෝකේ පහල වුනේ නැහැ හැමදෙනාම වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහලවෙලා යම් ධර්මයක් දේශනා කළහම සත්පුරුෂ මනසක් හදාගෙන ඊට ඇහුම්කන් දීලා වීරිය කරලා සසරෙන් එතෙරවෙන පාරගවේශී මනසක් ඇති සත්පුරුෂයෝ ලෝකේ ඉන්නවා අන්න ඒ අය සඳහායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහල වෙන්නේ. මේ ධර්මය ගොඩාක් ගැඹුරුයි.
එක්තරා රහතන් වහන්සේ නමක් දේශනා කරනවා,
‘‘දුප්පබ්බජ්ජං වෙ දුරධිවාසා ගෙහා
ධම්මො ගම්භීරො දුරධිගමා භොගා
කිච්ඡා වුත්ති නො ඉතරීතරෙනෙව
යුත්තං චින්තෙතුං සතතමනිච්චත’’න්ති.
පැවිද්ද ලෙහෙසි නැහැ පැවිද්දත් හරිම අමාරුයි. ගිහි ගෙදරක ජීවත්වෙනවා කියන එකත් ලෙහෙසි නැහැ. පැවිදි වුනත් ධර්මය අවබෝධ කරගන්න පහසු නැහැ හරිම ගැඹුරුයි ධර්මයත්. ගිහි ගෙදර ඉන්න අයෙකුටත් භෝග හොයා ගන්නවා කියන එක ලෙහෙසි නැහැ. බොහොම මහන්සියෙන් තමයි ජීවිතය ජීවත් කරවන්න භෝග හොයාගන්න වෙන්නේ. ලැබෙන දෙයින් සතුටුවෙලා ජීවත්වෙනවා කියන එකත් පහසු නැහැ. ඒ නිසා නිතරම ‘අනිත්‍ය යි’ කියන ධර්මතාවය සිහිකිරීම සුදුසුයි කියනවා.
ඉතින් මම මතක් කලේ පුතේ, ‘මරන්න මස් කඩේට ගෙනියන හරක් ගාලක් පස්සේ නිකන් ගිය හරකෙක්ටත් මැරෙන්න උනාලු’. ඒ වගේ මේ ලෝකයා තමන් යන්නේ කොහෙද කියන එක දන්නේ නැතුව මේ ජීවිතය ටිකෙන් ටික ටිකෙන් ටික අමාරුවෙන් වෙහෙස මහන්සියෙන් ජීවිතය ජීවත් කර කර පවත්වමින් දක්කාගෙන යන්නේ ‘ජරාමරණ නැමති පෝරකයට’. ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපිත් ජරාමරණයට ගහගෙන යන ලෝකයට අනුව යනවා නම් ඒකාන්තයෙන් අපි ලබපු මනුස්ස ජීවිතයෙන් වැඩක් ගත්තා කියන ගණයට යන්නේ නැහැ.
එක ජීවිතයක අපිට පුළුවන් නම් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ සියළුම දුක් සහගත සසරෙන් අපිට මිදෙන්න පුළුවන්. මම මේ ටික මතක් කළේ භවභෝග සම්පත් අතහරින්න දෙවරක් හිතන්න එපා කියන එකත් ඒකට නිදසුනක් වශයෙන් අතීතයේ මහෝත්තමයන් වහන්සේලාගේ ජීවිත කථා තුලින් වචනයෙන් නෙමෙයි ක්‍රියාව තුලින්ම අපිට පාඩම් කියලා දීල තියෙනවා.
ගිහි ජීවිතයේ භවභෝග අතහරින්න දෙවරක් හිතන්නේ නැහැ වගේම මොන තරම් කටුක වුනත් අපහසු වුනත් අරමුණට පහසු නැති වුනත් ටිකෙන් ටික ටිකෙන් ටික හරි මේ ධර්මය තේරුම් කරගන්න වෙහෙසෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ. මේ මුළු ජීවිත කාලෙම වියදම් කරලා හරි මරණාසන්න මොහොතේදී හරි නිවන් දකින්න පුළුවන් නම්, නිවන් මාවතට හෝ එන්න පුළුවන්කම ලැබුනත් ඒත් වහා නිවන් දැක්කා සීග්‍රයෙන් නිවන් දැක්කා වගේ වෙනවා. මොකද මේ සසර එච්චරට දිග නිසා.
බුදු හාමුදුරුවෝ පෙන්නුවේ මේ දීර්ඝ සංසාරේ තමන්ට ඇඟ ලේ කිරි කරලා පොවපු ආදරණීය අම්මා මළ දුකට, පියා මළ දුකට, සහෝදරයා සහෝදරී, ඥාති හිතෙෂි අය මැරුණ දුකට අඬපු කඳුළු එකතු කලොත් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ අපි හැම කෙනෙක්ම එච්චර සසර දුක් වින්ද අය. අද අම්මා තාත්තා මැරෙනකොට දුකක් ඇතිවෙනවා නම් මේ ඇහෙන් කඳුලක් ගලාගෙන යනවා නම් ඒ සතර මහා සාගරයක එක ජල බිඳුවක් විතරයි.
~~ සැබෑම සත්පුරුෂකම ~~
අපිට පුළුවන් නම් ඒ මව් පියා මළ දුක එන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන ඒ අවබෝධය තුලින් දුක් නොඑන මනසක් හදාගන්න, මට අම්මා වෙච්ච අම්මටත්, මට තාත්තා වෙච්ච තාත්තාටත්, සහෝදරයා සහෝදරී, ඥාති වෙච්ච ඒ අයටත් පුළුවන් වුනොත් ඒ බණ පදය මට උගන්වන්න ඒ අහිංසක ජීවිත වලට මට පුළුවන් වුනොත් රැකවරණයක් වෙන්න පුතේ ඒක තමයි සත්පුරුෂයෙක් හැටියට කරන්න පුළුවන් ලොකුම සත්පුරුෂකම.
අවුරුදු සීයක් ජීවත්වෙන මනුස්සයෙකුට නොයෙක් විදිහේ රස මසව් වලින් යුක්ත එක කෑම වේලක් දුන්නා කියලා ඒ මනුස්සයාගේම මුළු ජීවිතයටම යමක් කළා වෙනවද? අවුරුදු සීයක් ජීවත්වෙන කෙනෙකුට ආරාධනා කරලා දවල් කෑම වේලක් හෝ රාත්‍රී කෑම වේලක් දුන්නොතේ ඒ මනුස්සයාගේ ජීවිත කාලෙටම රැකවරණයක් දුන්න වෙන්නේ නැහැ නේද? ඒ වගේ ‘අතිදීර්ඝ සංසාරෙට සාපේක්ෂව මේ ලබපු ජීවිතය එක කෑම වේලක්’ වගේ.
මේ ජීවිතේ උපරිම සතුටුවෙන විදිහට මට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඒ අයව මේ ජීවිතය පුරාවටම බලාගත්තත් මේ අවුරුදු පනහ හැට කාලයේදී, එතනින් පස්සේ ඉපදුනහම ඒ ජීවිතයට පිහිටක් කරන්න මට බැහැ. මගේ ජීවිතයට පිහිටක් වෙන්න එයාලටත් බැහැ. නමුත් මට පුළුවන් නම් සදාතනික විමුක්තිය ඇතිවෙන ධර්මය කියලා දෙන්න. අවුරුදු සියයක් ජීවත්වෙන මිනිහෙක්ට ඒ අවුරුදු සීයක ජීවිතයටම පිහිටක් රැකවරණයක් ලබා දුන්න පුතෙක් වෙනවා.
මේ ටික මතක් කලේ පැවිදි වෙච්ච පැවිදිවෙන්න ඉන්න හැම කෙනෙක්ම යම් තීරණයක් ගත්තා නම් ‘ලාභයන් අතර උතුම්ම ලාභයක් කොට දරන සේක්වා, මේක අලාභයක් කොට නොහිතන සේක්වා’! ලෝකේ දිහා බලනකොට ආශ්වාදයකින් පෙනෙනවා. මනුස්සයෝ සතුටු වෙනවා, විනෝද වෙනවා, සින්දු කියනවා, නටනවා හරි සතුටෙන් ඉන්නවා
~~ ආශ්වාදය ටිකයි ආදීනවය බහුලයි ~~
වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ඒකයි මතක් කරන්නේ “ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ”. ලිපේ ගිනි මොලවනකන් වතුර හැලියේ හරි සතුටින් තමයි කකුළුවා දඟලන්නේ, නටන්නේ, ක්‍රීඩා කරන්නේ. නමුත් ගින්දර ඇවිලිලා වතුර රත්වෙනකොට තමයි දුක දැනෙන්නේ. ඔය නටන, හිනාවෙන, කෑගහන, පාටි දාන ලෝකෙට පුතේ මවු මළ දුක උරුමවෙන දවසක් එනවා. පියා මළ දුක ටිකෙන් ටික ඒ අයටත් ලංවෙමින් පවතින්නේ. සහෝදරයා සහෝදරි ඥාති හිතෙෂි වෙච්ච අය මළ දුක තාම ආවේ නැහැ, ටික ටික ළඟාවෙමිනුයි තියෙන්නේ. ජරා ජීරණ බවට පත්වෙනකම, මොහොතෙන් මොහොත මරණයට ලංවෙමිනුයි පවතින්නේ, එතෙක් සතුටු වෙනවා, දුකට පත්වුන දවසට දුක් වෙනවා.
ඒ විතරක් නෙමෙයි බඩගින්නට කන්න සෙම සොටු ටිකක්වත් නැති කල්ප ගණනක් දුක් විඳින්න වෙන ප්‍රේත ලෝකේ ටිකෙන් ටික ළඟට එමිනුයි පවතින්නේ. යොදුන් ගණන් පැතිර පවතින අවීචි මහා නරකයේ ගිනි දැල් ටිකෙන් ටික ළඟට පැමිණේමිනුයි පවතින්නේ. එතනට පත්වෙන මාර්ගයේ තාම යමින් ඉන්න නිසා තාම ඒ තැනට පත් නොවුනකම නිසයි තාම මේ ආශ්වාදය.
~~මේ ශාසනයට ඒම මට යහපතක්ම වුනා ~~
අපිට පුළුවන් නම් කල් ඇතුව ඒක තේරුම් ගන්න අන්න එයාට පුළුවන් බේරෙන්න. ගොඩක් දෙනෙකුට බේරෙන්න පුළුවන් වෙලාවේදී සිහි නුවණ එන්නේ නැහැ. තමන්ට බේරෙන්න බැරි තැනට පත්වුනහමයි සිහි නුවණ එන්නේ නමුත් එතකොට අවස්ථාව අතහැරිලා. බුදු හාමුදුරුවන්ගේ කාලේ මහරහතන් වහන්සේලා මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තම ඒ මුඛයන්ගෙන් පිට වෙච්ච ප්‍රීති වාක්‍ය වලට තමයි පුතේ උදාන, ථේර ගාථා, ථේරී ගාථා කියලා කියන්නේ.
ඒ ථේර ගාථා බලන්නකෝ හොඳට පේනවා. “ස්වාගතං වත මෙ ආසි” ඒකාන්තයෙන්ම මට මේ ශාසනයට ඒම මට යහපතක්ම වුනා, අයපතක් නම් නෙමෙයි. ශාසනයට ආපු මේ ගමන ඒකාන්තයෙන්ම මනා වූ ගමනක්මයි කියලා හැම කෙනෙක්ම ප්‍රකාශ කරන්නේ ඒ මට්ටමට එන්න පුළුවන්.
~~අවංක බලාපොරොත්තුවක් ~~
මට එක දෙයක් ඕගොල්ලොන්ට කියන්න පුළුවන් මගේ පෞද්ගලික ජීවිතයේ අඩුපාඩු තියෙන්න පුළුවන් පුතේ. නමුත් මම මේ කථා කරන ධර්මය ඒකාන්තයෙන්ම මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. ත්‍රිපිටකය බලලා බලලා බොහොම වෙහෙස මහන්සි වෙලා ඇතිකරගත්ත උත්තරයක්, පිටකය තුලම තියෙන අර්ථයක් මම කියලා දෙන්නේ. ඒකාන්තයෙන් ජීවිතයේ අවසාන මොහොත වෙනකොට හරි ජීවිතයට සැනසිල්ලක් ඒකාන්තයෙන්ම ලැබෙනවාමයි, ලබාගන්න පුළුවන්මයි. ඒ සඳහා මම ඇප වෙනවා ඔගොල්ලොන්ට.
ඔගොල්ලොන්ගේ පැත්තෙන් තියෙන ටික කළොත් ධර්මය පැත්තෙන් පුතේ මගෙන් කවදාවත් ඕගොල්ලොන්ට අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට යම් තාක් දුරකට එන්න පුළුවන් වුනා නම් ඒ තාක් දුර මම එක්ක එනවා. පුළුවන් නම් මම මේ කියන දේ අභිබවා ගිහිල්ලා එක වචනයක් හරි මට කියලා දෙන්න පුළුවන් බවට පත්වෙන්න මගේ හැමදාම අවංක බලාපොරොත්තුව ඒක.
මට පුළුවන් නම්, ඔයාලට පුළුවන් නම්, පුතේ අවුරුදු දහස් ගණනක් පැවත ආ වර්තමානයේ දියවෙමින් පවතින අහිංසක ලෝකයාගේ සසර දුක් ගිනි නිවෙන සද්ධර්මය තව මොහොතක් හරි ලෝකේ පවත්වන්න පුළුවන් නම් මගේ බුදු හාමුදුරුවන්ගේ ශාසනය පවතින වැටට මට කර දෙන්න පුළුවන් නම් මගේ කර මතින් තව එක මොහොතක් හරි සම්බුද්ධ ශාසනය ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් පුතේ ඒ අපේ ජීවිතය තරම් වාසනාවන්ත ජීවිතයක් නැහැ.
~~ තුනුරුවන් කෙරෙහි සැබෑ ආදරය ~~
තුනුරුවන්ට ආදරෙයි කියලා කියන්නේ බුදු ගුණ කියනකොට ඇස් වලින් කඳුළු වැටෙන එකට නෙමෙයි. ක්‍රියාව තුලින් කරලා තියෙනවා නම් එක මොහොතක් හරි බුදු හාමුදුරුවන්ගේ ශාසනය තමන්ගේ කර මතින් ඉස්සරහට මොහොතක් හරි ඔසවලා තියේ නම් ඒ ජීවිතය ලෝකේ හරි වටිනවා.පැවිදි වෙච්ච, පැවිදි වෙන්න බලාගෙන ඉන්න ඔගොල්ලොන්ගේ අතින් ඒ යුතුකම කෙරනවා පුතේ. කොහොම හරි පැවිද්ද නෙමෙයි ජරමරණය අනුව ගහගෙන යන ලෝකේ අජරාමර බව හිතේ දරාගෙන පවතින මේ ජීවිතයම හරි වටිනවා පුතේ. එබඳු කෙනාටයි මේ ශාසනය කවදා හරි මොහොතක් හරි ලෝකේ පවත්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ වාසනාව ඕගොල්ලෝ හැම කෙනෙක්ට තියෙනවා කියලා මතක් කරනවා.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2017.04.08 දින භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සිදුකල දේශනාවක් ඇසුරෙන් පිටපත් කිරීමකි.