සැවැත්නුවර එක් පවුලක පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් සත්දෙනෙක්ද සිටියාහුය. ඒ දාහතරදෙනාම වැඩිවයසට පත්ව ගෙදරම නැවතී සිට සුවසේ තමන් කැමති පරිදි ජීවත්වූහ. කලකට පසු ඔවුන්ගේ පියා මිය ගියේය. මහා උපාසිකාව සැමියා මියගිය පසුත් ධනසම්පත් අත්නොහැර තමන් අතම රඳවාගෙන සිටියාය.
ඉන්පසු දරුවෝ මව අමතා, මෑණියනි, අපේ පියා මියගිය පසු ඔබට මේ ධනයෙන් වැඩක් නැත. එය අප අතර බෙදා දුනහොත් ඔබ පෝෂණය කරන්ට අපට බැරිද? ඈ ඔවුන්ගේ කතාව අසාත් නිහඬවම සිටියාය. නැවතනැවතත් දරුවන් මේ ඉල්ලීම කරන නිසා ඈ මොවුන් මා රැකබලා ගන්නවා ඇතියි සිතා, සියලු ධනසම්පත් දෙකොටසකට බෙදා ගෑණු පිරිමි දෙපක්ෂයට දුන්නාය. ඉන්පසු කීප දිනකින් ඈ වැඩිමහල් පුතාගේ ගෙට ගියාය.
පුතාගේ බිරිඳ දෙටුපුතායයි කියා දෙකොටසක් දුන්නාක් මෙන් මේ ගෙදරටම එන්නීයයි කීවාය. අනිත් පුතුන්ගේ භාර්යාවෝත් ඒ ලෙසින්ම කීවාහුය. දෙටු දියණිය ආදිකොට ඇති දුවරුන්ගේ ගෙවල්වලිනුදු ලැබුණේ ඒ කථාවමය. ඈ මෙසේ අවමානයට ලක්වී මොවුන් ළඟ සිටීමෙන් ඇති ප්‍රයෝජනයක් නැත. භික්‍ෂුණීන්ගේ නිවාසයට ගොස් පැවිදි වන්නෙමියි සිතා එහි ගොස් පැවිද්ද ඉල්ලා සිටියාය. භික්‍ෂුණීහු ඈ පැවිදි කළාහුය. ඈ උපසම්පදාවද ලබා බහුපුත්තික තෙරණිය නමින් හඳුනා ගන්නාලදි.
ඈ මහලුවී පැවිදිවූ නිසා, අප්‍රමාදීව විසීම යෙහෙකියි සිතා භික්‍ෂුණීන් ළඟට ගොස් වත්පිළිවෙත් කරමින් මුළු රෑ මහණදම් පුරන්නෙමියි යට ප්‍රාසාදයෙහි එක් කණුවක් අතින් අල්ලාගෙන ඒ වටා කරකැවෙමින් සිටියාය. සක්මන් කරද්දීත් අඳුරු තැනකදී මගේ හිස ගසක හෝ වෙන තැනක හෝ ඇනෙන්නට හැකියයි සිතා ඒ ගසම අතින් අල්ලාගෙන ඒ වටා කරකැවෙමින් කැරකෙන ගමන්ම භාවනාකරමින් මහණදම් පුරයි. බුදුන් දෙසූ ධර්මයම කරන්නෙමියි ධර්මය ගැන මෙනෙහිකරමින් ධර්මය සිහිකරමින් මහණදම් පුරයි.
ශාස්තෘන්වහන්සේ ගන්ධකුටියෙහි හිඳින ගමන්ම ආලෝකයක් විහිදුවා සම්මුඛයෙහි සිටින්නාක් මෙන් වී, ඈ සමග කතා කරමින් බහුපුත්‍රිකාවෙනි, මා දෙසූ දහම සිහි නොකරන්නාගේ ධර්මය නොදකින්නාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා, මා දෙසූ දහම දකින්නාගේ මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් සේ ගාථාව ප්‍රකාශ කළහ:
——————————————————————————
යො ච වස්සසතං ජීවෙ, අපස්සං ධම්මමුත්තමං;
එකාහං ජීවිතං සෙය්‍යො, පස්සතො ධම්මමුත්තමං.
උතුම්වූ (නවලොකොත්තර) ධර්මය (නුවණැසින්) නොදක්නාවූ යම් පුද්ගලයෙකු අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා උතුම් (නවලොකොත්තර) ධර්මය නුවණැසින් දක්නා පුද්ගලයාගේ එක් දවසක් ජීවත්වීම උතුම්ය.
——————————————————————————
ගාථා කෙළවර බහුපුත්තික තෙරණිය පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාය.
#පන්සිය_පනස්_ජාතක_කතා_වස්තුව